Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ජාත්‍යන්තර සම්මාන ලද සිනමාපට ද්විත්වයක් ඇතුළුව සිනමා සිත්තම් 06 ක් හෙට සිට දෙරණ ‘Cinema of Tomorrow’ තරඟ බිමේ

$
0
0

සම්මාන උළෙල පවත්වන වර්ෂයට පෙර වර්ෂයේදී මෙරට තුල නිළ වශයෙන් තිරගත වූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ඇගයීමේ මූලික පරමාර්ථය සහිතව දෙරණ රූපවාහිනී ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘දෙරණ සිනමා සම්මාන උළෙල’ මෙවරත් හයවන වරට එළඹෙන මැයි මස 26 දින සවස 6.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු මේවන විට සුදානම්ව පවතී. මෙහිදී පෙර වර්ෂයන්හිදී මෙන්ම මෙවරත්, මෙරට මෙතෙක් නිළ වශයෙන් තිරගත නොවුනු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ඇගයීමේ අරමුණින් උළෙලට ඇතුලත්වන ‘හෙට දවසේ සිනමාව’ (Cinema of Tomorrow) නම් අංශය, හෙට සහ අනිද්දා යන දෙදින පුරා (01-සෙනසුරාදා/ 02- ඉරිදා) ජාතික චිත්‍රපටි සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී සිනමා ශාලාවේදී ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ නවතම සිනමාපට 06 ක් මහජනතාව උදෙසා නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.

පසුගිය වර්ෂයේදී ‘Cinema of Tomorrow’ අංශයේ තරඟකාරීත්වය කුළුදුල් සිනමා නිර්මාණයන් උදෙසා පමණක් විවෘත වුවද, මෙවර එහි තරඟකාරීත්වය නවක සිනමා නිර්මාණකරුවන්ගේ කුළුදුල් නිර්මාණයන්ට අමතරව ඔවුන්ගේ දෙවැනි සිනමා නිර්මාණය කෙරෙහිද බලපැවත්වීම සුවිශේෂීත්වයකි. ඒ අනුව නුවන් ජයතිලක, බුද්ධි වික්‍රමාරච්චි සහ කෞශල්‍ය පතිරණ යන අධ්‍යක්ෂවරුන් තිදෙනා සිය කුළුදුල් සිනමා නිර්මාණයන් සමගත්, සුමති සිවමෝහන්, විසාකේස චන්ද්‍රසේකරම් සහ චින්තන ධර්මදාස යන තිදෙනා සිය දෙවැනි සිනමා නිර්මාණ සමගත් ‘Cinema of Tomorrow’ අංශය නියෝජනය කරනු ලැබේ. මෙහිදී එකී සිනමාපට හය අතුරින් නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ සහ සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ යන සිනමාපට දිවිත්වය අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මාන ලද සිනමා නිර්මාණයන්වීම කැපීපෙනේ.

දෙරණ සිනමා සම්මාන උළෙලේ පිරිනමන සියළුම සම්මාන අතුරින් උළෙලේ වැඩිම වටිනාකමකින් යුතු ත්‍යාගය සෑම වසරකදීම ‘Cinema of Tomorrow’ අංශය යටතේ තිරගත වන ‘විශිෂ්ටතම සිනමාපටය’ වෙනුවෙන් පිරිනැමීම විශේෂත්වයක් වන අතර, ඒ නිසාවෙන් උළෙලේ ඉහළම ජනතා අවධානයක් දිනා ගන්න අංශයක් බවට මෙම අංශය පත්වේ. ඒ අනුව මෙවර මෙකී අංශයේ තිරගත වන ‘විශිෂ්ටතම සිනමාපටය’ (Best Picture-‘Cinema of Tomorrow’) වෙනුවෙන් හිමිවන ත්‍යාගයේ මුල්‍යමය වටිනාකම ලක්ෂ 50 ක් (මිලියන 05) වන අතර, එය එදා මෙදා තුර දේශීය සිනමා සම්මාන උළෙලකදී ජයග්‍රාහී සිනමාපටයක් වෙනුවෙන් පිරිනමන වැඩිම මුල්‍යමය වටිනාකමකින් යුතු තිළිණය වේ.

ප්‍රදර්ශන කාල සටහන
මැයි 19 (සෙනසුරාද)-
 උදෑසන 10.30 ට- නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ (The Wind Beneath Us)
ලන්ඩන් ආසියාතික සිනමා උළෙල, වර්ල්ඩ්ෆෙස්ට් හූස්ටන් අන්තර්ජාතික ස්වාධීන සිනමා උළෙල, මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙල, ටොරොන්ටෝ ජගත් අන්තර්ජාතික සිනමා උළෙල සහ මෙත්‍රිකමන්තේ කොර්තෝ ත්‍රේබාසෙලේගේ සිනමා උළෙල යනාදී ජාත්‍යන්තර උළෙලයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලද ‘සුළඟ අප රැගෙන යාවි’ සිනමාපටය, 2016 හූස්ටන් උළෙලේදී තඹ රෙමී සම්මානයෙන්ද (Bronze Remi Award), 2016 මෙත්‍රිකමන්තේ කොර්තෝ උළෙලේදී හොඳම වෘත්තාන්ත සිනමාපටයට හිමි සම්මානයෙන්ද (Best Feature Film) පිදුම් ලැබීමට සමත් විය. ළමා සිනමා ශානරයට අයත් ‘සුළඟ අප රැගෙන යාවි’ සිනමාපටය සුදම් කටුකිතුල , ප්‍රවීන් කටුකිතුල , සේමිණි හෙන්නායක , අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල්, විමල් කුමාර ද කොස්තා, දයාදේව එදිරිසිංහ, ලංකා බණ්ඩාරනායක යන අයගේ රංගනයෙන් හැඩවෙන අතර , කැමරාව මෙහෙයවීම ස්ට්‍රයිනර් මැක්ලේන් ඇඩම්ස්ගෙනි.

 සවස 2.30 ට- බුද්ධි වික්‍රමාරච්චිගේ ‘තරු අතර’ (Among the Stars)
ශේෂාද්‍ර ප්‍රියසාද්, රොෂාන් රවීන්ද්‍ර, පුබුදු චතුරංග, දිල්හානි ඒකනායක, පාලිත සිල්වා සහ සහන් රංවල යන ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් ‘තරු අතර’ සිනමාපටය හැඩවෙන අතර, කැමරාව මෙහෙයවීම ස්ට්‍රයිනර් මැක්ලේන් ඇඩම්ස්ගෙනි.

 සවස 6.30 ට – චින්තන ධර්මදාසගේ ‘ඇවිලෙනසුලුයි’ (Inflammable)
මෙරට සිනමාශාල තුල නිළ වශයෙන් තිරගත නොවුනු ආදරයේ අංශු මාත්‍රයක් (How I Wonder What You are) නම් වූ සිනමාපටයේ සම අධ්‍යක්ෂණයෙන් සිනමා අධ්‍යක්ෂණයට අවතීර්ණ වුනු චින්තන ධර්මදාසගේ දෙවැනි සිනමා නිර්මාණය ‘ඇවිලෙනසුලුයි’ වන අතර , මෙය සමනලී ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ සහ ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනයෙන්ද, පාලිත පෙරේරාගේ කැමරාකරණයෙන්ද හැඩවේ.

මැයි 20 (ඉරිදා)-
 උදෑසන 10.30 ට – සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ (Sons & Fathers)
ශ්‍රී ලාංකේය දමිළ සිනමා අධ්‍යක්ෂකවරියක විසින් තැනු පළමු සිංහල භාෂිත දීර්ඝ වෘත්තාන්ත ලෙසින් ඉතිහාසයට එක්ව ඇති ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය, බිම්සරා ප්‍රේමරත්න, නිරංජනී ශන්මුගරාජා, එස්.ඒ. විනෝද්, රනිල් ජිතේන්ද්‍ර‍, අමාවස්‍යා සිරිසේන, ඇන්තනි සුරේන්ද්‍ර‍, උපුල් ශාන්ත සන්නස්ගල සහ මෛත්‍රී රාජේෂ්කුමාර්ගේ රංගනයෙන් හැඩවෙන අතර, කැමරාව මෙහෙයවීම සුනිල් පෙරේරාගෙනි. යාපනය අන්තර්ජාතික සිනමා උළෙල, ඉන්දියානු ජගත් සිනමා උළෙල සහ නවදිල්ලි අයි.ඒ.ඩබ්ලිව්.ආර්.ටී ආසියාතික කාන්තා සිනමා උළෙල යනාදී ජාත්‍යන්තර උළෙලයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලද ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය, 2018 ඉන්දියානු ජගත් සිනමා උළෙලේදී හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ජූරි සම්මානයෙන් (Jury Award for Best Film- Feature) පිදුම් ලැබීමට සමත් විය.

 සවස 2.30 ට- කෞශල්‍ය පතිරණගේ ‘ඉක්කා’ (Ikka)
කලණ ගුණසේකර, කසුනි කාවින්දි , උදාර අබේසුන්දර, ජයලත් මනෝරත්න, දසුන් පතිරණ, අකාෂ් තියාගලිංගම්, සේනක ටයිටස්, ප්‍රියන්ත සිරිකුමාර, සංජීව දිසානායක සහ විජිත බණ්ඩාර යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවෙන ‘ඉක්කා’ සිනමාපටයේ කැමරාව මෙහෙයවීම චාර්ල්ස් නිරෝෂන්ගෙනි.

 සවස 6.30 ට – විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘පාංශු’ (Paangshu)
දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියූ සයපෙති කුසුම (Frangipani) සිනමාපටය තුලින් සිනමා අධ්‍යක්ෂණයට අවතීර්ණ වුනු විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවැනි සිනමා නිර්මාණය ‘පාංශු’ වන අතර, එය නීටා ප්‍රනාන්දු, ජගත් මනුවර්ණ, නදී කම්මැල්වීර, මයුර කාංචන හා ගයාන් ලක්රුවන් යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවේ. මෙහි කැමරාව මෙහෙයවීම දිමුතු කාලිංගගෙනි.

 

සටහන – උදිත ලක්මාල් කහඳවආරච්චි

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>