
උපුටා ගැනීමකි. සටහන : ඉසුරු චාමර සෝමවීරගෙන්
***********************************************************
“මං මට අදාල කෙනෙක්, මං මහජනයාගෙන් කැමැත්ත ඉල්ලන කෙනෙක් නෙමෙයි.” මෙහෙම කියන්නෙ හිංදි සිනමා නිළියක්. ඇය කංගනා රනවුත්. ඇය මම කැමතිම හින්දි නිළියො දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් කෙනා කල්කි කෝච්ලින්.කංගනා ගැන ලියන්න හිතුවෙ සිනමා තිරයෙන් එළියෙ ඇය සටන් කාරියක් නිසා. රංගන ශිල්පිනියක් හැටියට නැතුව නිළියක් හැටියට ඇයව හැඳින්නුවෙත් හේතු ඇතිව. ඇයත් ඒ ගැන සවිඥ්ඥානික බව ඇයම කියනවා. ඇගේ කතාවත් චිත්‍රපටියක් වගේ. හිමාචල් ප්‍රදේශ්වල පොඩි නගරයක මධ්‍යම පාංතික පවුලක ඉපදුනු ඇයට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් ඉන්නවා. ඇයට වයස පහේදි ඇගේ තාත්තා බෝනික්කෙක් තෑගි දෙද්දි, ඇගේ සහෝදරයට සෙල්ලම් තුවක්කුවක් තෑගි දෙනවා. පුංචි කංගනා මේ සිද්ධියට විරෝධය පළ කරනවා. දෙමව්පියන්ගෙ උවමනාවට වෛද්‍යවරියක් වෙන්න හිතාගෙන ඒ සඳහා ඉගෙනගන්න ඇය වයස දාසයෙදි ඉගෙනීම නවත්තලා ගෙදරින් යන්න තීරනය කරන්නෙ තමන් කැමති වෘත්තියක් හොයාගෙන. ඇගේ දෙමව්පියො කොච්චර විරුද්ධ වුනත් ඇය යනවා. ඇය සිහින හඹායන්නියක්. දිල්ලියට යන ඇය මෝස්තර නිරූපන ඒජන්සියක් හරහා මෝස්තර නිරූපනය පටන්ගත්තත් ටික දවසකින්ම ඇයට ඒක එපා වෙනවා. නාට්‍ය කණ්ඩායමට බැඳෙන කංගනා වේදිකා රංගනය ඉගෙන ගන්නවා. ඈ ඒකට ආසා වෙනවා. වේදිකාවෙ ගැහැනු චරිත කරමින් ඉන්න අතරෙ ඇගේ සහය රංගන ශිල්පියෙක් ආවෙ නැති දවසක ඇය ඔහු විසින් කරමින් හිටිය පිරිමි චරිතයත් කරනවා. ඇය ඇගේ පවුලෙන් එවන මුදල් ප්‍රතික්ෂේප කරමින් ලාබ කුලී කාමර වල ජීවත් වෙන්න ගන්නවා. ලාබෙට ගන්න පුළුවන් පාන් සහ අච්චාරු විතරක් කමින් හිටි දවසුත් තිබුණු බව ඇය කියනවා.
චිත්‍රපට නිලියක් වෙන්න හිතාගෙන බොම්බායට යන ඇය තිර පරීක්ෂණ ගණනාවකින් අසමත් වෙනවා. “මට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා එදා හැමෝම හිනාවුණා” කියන ඇය අද ඉතාම සුන්දර විධියට ඉංග්‍රීසි භාෂාව හසුරවනවා. මුලින් තොරගත්තු නිළිය ප්‍රතික්ෂේප කරපු චරිතයක් අහම්බෙන් ලැබුණ ඇය ඒ හරහා සැබෑ නිලියකගෙ ආගමනය සටහන් කරනවා. ඒ “ගැන්ග්ස්ටර්” චිත්‍රපටියෙන්. ජාතික සිනමා සම්මාන තුනක් සහ, ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් මේ වෙද්දි දිනාගෙන ඉන්න කංගනා ඉතා අඩු වියදමකි කරපු “ක්වීන් – 2014” චිත්‍රපටියෙන් හින්දි සිනමාව හොල්ලනවා. ඇය අතිශය පැහැපත්, සුරූපී නිළියක් නෙමෙයි. සමේ පැහැය, භාෂාව, පංතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය වගේ දේ හරහා මිනිසුන්ට වෙනස්කොට සැලකීම ඈ දිගින් දිගට ප්‍රශ්න කරන්නෙ තමන්වම උදාහරනයට ගනිමිනුයි. සමහරු ඈව පිස්සු ගෑනියක් හැටියට හඳුන්වද්දි ඈ හිනාවෙනවා. “People say you have got balls, why can’t you say I have got a vagina” ඇගේ ප්‍රකාශය හරහා ඇය භාෂාවේ අවිඥ්ඥානික පුරුෂෝත්තම වාදය ප්‍රශ්න කරන්නෙ හාස්‍යකින්. සිනමාවේ පවුල් වාදය සහ ඥාති සංග්‍රහය ගැන කරන් ජොහාර් වගේ දැවැන්ත නිෂ්පාදකයින්ගෙන් ප්‍රශ්න කරන්නෙ සුන්දර රිදී තිරයේ අසුන්දර තැන් පෙන්වමින්. නිළියන්ට වඩා නළුවන් වැඩිපුර ගෙවීම් ලැබීමත් ඇය නැවත නැවත ප්‍රශ්න කරනවා. අහිංසක, යටත්වෙන සුළු සුන්දර ආශාවේ වස්තුව නිරූපනයෙන් එළියට ගිහින් කංගනා ගේම ඉල්ලන එක ගොඩක් තැන් වලදි ඇගේ උමතුවක් හැටියට අවමානයට ලක්වෙනවා. ඒක උමතුවක් නම් ඒ උමතුව මේ මොහොත විසින් ඉල්ලා සිටින්නක්. මට පිස්සු ආසාවක් තියෙනවා අරුන්දතී රෝයි ගැන හදන චිත්‍රපටියක අරුන්දතී රෝයිගෙ චරිතය කංගනා කරනවා බලන්න, ඒ ආසාවෙ තාර්කික බවක් නැතත් මං ආස ගෑනු දෙන්නෙක් එක්කෙනෙක් වෙන මොහොතක් වේවි ඒක. ඒත් කවුරුත් එහෙම චිත්‍රපටියක් හදන එකක් නැහැ. කංගනා දිගටම ගේම ඉල්ලන්න. ඔයා වෙනුවෙන්ම නෙමේ හැමෝම වෙනුවෙන්.
සටහන : ඉසුරු චාමර සෝමවීර