Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

පුතාගේ ආදර කතාව, ඒ අම්මා බාරගත්තේ කොහොමද..?

$
0
0

ආදරයට වර්ණ, ජාති, ආගම්, කුල, බේද කිසිවක් අදාළ වන්නේ නැහැ. ඒ සියල්ලට ඔබ්බෙන් මිනිස් සිතේ ඇතිවන බැඳීමක් ආදරය විදිහට හඳුන්වනවා. පොදු සමාජ පිළිගනිම ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ආදරයෙන් බැඳීම වුනත් ඉන් ඔබ්බට මානුෂිය සම්බන්ධතා පවතින බවත්, ඒවා ඉතා සාමාන්‍ය බවත් දියුණු ලෝකය මේ වනවිට පිළිගෙන අවසන්. නමුත් තවමත් සමහර රටවල් වගේම මිනිස්සුත් මේ තත්වයන් සාමාන්‍ය ලෙස බාරගැනීමට සුදානම් නැහැ. පෙරදිග “සංස්කෘතික” සමාජයන් මේ අතර ප්‍රමුඛයි. මේ කතාව අපට ඇහෙන්නේ ඉන්දියාවෙන්. Kartik ප්‍රියමනාප තරුණයෙක්. උගත් බුද්ධිමත් තරුණයෙක්. නිවසෙන් පිටව ඔහු නගරයේ පදිංචිව ඉන්නේ ඔහුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහායි. ඔහුගේ පියා Damodar ඉතාම සාම්ප්‍රදායික ඉන්දීය පිරිමියෙක්. සිය බිරිඳ නිවසේ සියලු කටයුතු සිදුකළ යුතුයැයි විශ්වාස කරන ඔහු ඒවායේ යම් අඩුවක් දුටු ගමන් අමුත්තන් ඉදිරියේ වුව ඈට දොස් පවරනවා. ඔහු සිය පුතු වෙනුවෙන් අනුගමනය කරන්නෙත් ඉතා දැඩි පිළිවෙතක්. ඔහුට අවශ්‍ය අයුරින් පුතු ජිවත් විය යුතු යැයිද, පුතුගේ ජිවිතයේ තීන්දු තීරණ ඔහුට අවශ්‍ය පරිදි ගතයුතු යැයිද ඔහු විශ්වාස කරනවා.

නිවසින් බැහැරව නගරයේ ජිවත් වන Kartikට ඔහුගේම ආදර කතාවක් තියෙනවා. නමුත් ඒක ටිකක් වෙනස් ආදර කතාවක්. ඔහු ආදරය කරන්නේ Aman නම් තරුණයෙකුට. ඔවුන් දෙදෙනා එක්ව සාමකාමීත්වය අපරාධ වරදක් ලෙස හඳුන්වා ඇති නිතිය වෙනස් කිරීම සඳහාත් ක්‍රියාකාරිව කටයුතු කරමින් සිටිනවා. නිවාඩුවකට සිය මව්පියන් වෙත යන Kartik හට විවාහයට තරුණියක් යෝජනා කෙරෙනවා. ඔහු ඇයව විවාහ කරගත යුතු බවට ඔහුගේ පියා දැඩිව බලපෑම් කරනවා. අවසානයේ තමන් තවත් තරුණයෙකුට ආදරය කරන බව ඔහු සිය මවට පවසනවා.

තම පුතුගේ “අමුතු” ආදර කතාවට මේ මව එකඟ වනවාද? ඇය එය බාරගන්නේ කෙසේද..? ඔහුගේ පියා ඉන්පසු හැසිරෙන්නේ කෙසේද..? පවුල තුළ ඔහුට හිමිවන ඉරණම කුමක්ද? මේ සියල්ල දැන් තිරගත වීම් අරඹා ඇති evening shadows චිත්‍රපටයෙන් දැනගත හැකියි. Saagar Gupta සහ Sridhar Rangayan එක්ව තිරරචනය සිදුකළ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Sridhar Rangayan විසින්. චිත්‍රපටයට අපූරු අලංකාරයක් එක්කිරීමට එහි කැමරාවට හැකිවී තිබෙන බව බොහෝදෙනා පවසනවා. කැමරා අධ්‍යක්ෂණය Subhransu විසින් සිදුකොට තිබෙනවා. Kartik ලෙස Devnash Doshi මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. Mona Ambegaonkar චිත්‍රපටයේ මව වන වසුදාගේ චරිතයට පණ පොවනවා. පියා ලෙස Ananth Narayan Mahadevan, අමන් ලෙස Arpit Chaudhary සහ Sarita ලෙස Yamini Singh චිත්‍රපටයේ චරිත රංගනයට දායක වනවා. Abhay Kulkarni, Veena Nair, Disha Thakur ඇතුළු පිරිසක් මෙහි සෙසු චරිත නිරුපණයට දායක වනවා.

චිත්‍රපටය පිලිබඳ යහපත් ප්‍රතිචාර රැසක් මේ වනවිටත් ලැබී තිබෙන බව අන්තර්ජාලය වාර්තා කරනවා. නිර්මාණය පිළිබඳවත් එහි රංගනය පිළිබඳවත්, ඉතා හොඳ ප්‍රතිචාර සිනමා විචාරකයින්ගෙන් ලැබී තිබීම විශේෂිතයි. චිත්‍රපටයේ අන්තර්ගතය සම්බන්ධව ඉතා හොඳ සංවාද ගොඩනැගෙමින් පවතින බව ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් වාර්තා කොට තිබුනා. සාමකාමී පුද්ගලයින් විවෘතව කටයුතු කිරීම වගේම අනික් සියල්ලෝම තම රාමු වලින් එලියට පැමිණීම කළ යුතු බව චිත්‍රපටය හරහා අපුරුවට ගොඩනගා ඇති බවයි විචාරක අදහස් අතර මතුව තිබුනේ.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>