Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

දේශීය කතානාද සිනමාව වසර 72ක් සපුරයි

$
0
0

දේශීය සිනමාවේ ඉතිහාසය පිලිබඳ තොරතුරු කියවෙන අන්දමට එහි විවිධ කඩඉම් හමු වනවා. විශේෂයෙන් මේ පිළිබඳව ලියවුනු පොත්පත් බොහොමයක් පාහේ වාර්තා කොට තිබෙන්නේ “සිංහල චිත්‍රපට” පමණක් වීම ගැටළුවක් බව සිනමා විචාරක අජිත් ගලප්පත්ති වරක් ප්‍රකාශ කොට තිබුනා. “මෙරට ජාතික චිත්‍රපට නාමාවලියක් නොමැති වීම බරපතල අඩුවක්” ලෙස ඔහු එහිදී පවසා තිබුනා. ඊට මසකට පමණ පසු නව චිත්‍රපට නාමාවලියක් සම්පාදනය කොට ප්‍රකාශයට පත්කිරීමට ඔහු කටයුතු කළා.

එම නාමාවලියට අනුව මෙරට නිහඬ යුගයේ සිනමාව සහ කතානාද සිනමාව ලෙස ප්‍රධාන කඩඉම් දෙකක් ඉතිහාසයේදී හමුවෙයි. ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට යොමු කෙරුණු නිහඬ  යුගයේ සිනමාව සලකා බැලීමේදී, 1925 වසරේ නිර්මාණය වී ඇති “රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා” චිත්‍රපටය පළමුව හමුවන නිර්මාණය බව සැලකේ. එය විදෙස් රටවල ප්‍රදර්ශනය කෙරුණු බව ඉතිහාසයේ සඳහන් වෙයි. ගුප්ත විසින් අධ්‍යක්ෂණය කළ මෙය ටී. ඒ. ජී. නුර්බායි විසින් නිෂ්පාදනය කොට ඇතැයි සඳහන් වේ. 1936 මැයි 19 වැනිදා තිරගත වූ “පළිගැනීම” චිත්‍රපටය ඉතිහාසයේ වාර්තා වන දෙවැනි නිහඬ යුගයේ චිත්‍රපටය ලෙස සැලකේ. ඩබ්. දොන් එඩ්වඩ් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඔහු විසින්ම කලම්බු මූවි ක්ලබ් වෙනුවෙන් නිෂ්පාදනය කෙරිණ.

ඉන් අනතුරුව එළඹෙන්නේ “කතාන්ද සිනමාව”යි. 1947 ජනවාරි 21 වැනිදා තිරගත වුන “කඩවුණු පොරොන්දුව” මෙරට කතානාද සිනමාවේ පළමු සිනමාපටය ලෙස සැලකේ. ජ්‍යෝතිෂ් සිංහ විසින් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටය චිත්‍රකලා මූවිටෝන් වෙනුවෙන් එස්.එම්.නායගම් විසින් නිෂ්පාදනය කොට තිබිණ. ඒ අනුව දේශීය කතානාද සිනමාව 1947 ජනවාරි 21 වැනිදා ආරම්භ වූ බව සැලකේ. ඒ අනුව දේශීය කතානාද සිනමාව වසර 72ක් සම්පුර්ණ කොට තිබේ.

මුලාශ්‍රය : ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට නාමාවලිය විමසුම – අජිත් ගලප්පත්ති

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>