
සටහන : ශර්ලි සමරසිංහ
විෂම භාග සිනමා කෘතිය තිරය මත දිගහැරෙන්නේ රටහුණු කුරකින් එහි නම අපූරුවට ලියැවෙමිනි.
යායට හැඩවුනු කුඹුරු යායක කිසියම් දෝමනස්සයක් මනසට ඒත්තු ගන්වමින් සිනමා අධ්‍යක්ෂකවරයා මේ වියමන් කරන්නේ ලාංකේය දේහය තුළ ඔජ වඩන මානව චිත්ත සංථානයේ හෘද ස්පන්දනය නොවන්නේ ද ? ලෙයින් මසින් මසැසින් වැඩුණු නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු වටා ගෙතෙන විෂම භාග සිනමා කෘතිය ලාංකේය සිනමා කෙතේ සරුඵල නෙලනු වස් අස්වැද්දූ වප්මගුල් උළෙලක අසිරිය විඳීමකි. අධ්‍යක්ෂකවරයා මෙම සිනමා කෘතිය තුළ දෘශ්‍යමාන වන අදිසි හස්තය ලෙසින් ප්‍රේක්ෂක ජන මනසට විටින් විට ඉඟි කරයි. ලාංකේය සමාජ සන්දර්භය තුළ මානුෂවාදී සමාජ විඥානයකින් ඌන සංවර්ධිත රටක වාසනාව සහ අවාසනාව අතර දෝලනය වන මනුෂ්‍ය වර්ගයාට හිමි ජීවිත ඉංගිතීන් මනා සංයමයකින් එන්නත් කරන විෂම භාග සිනමා කෘතිය කලාත්මක පරිසමාප්ත කින් යුක්ත හෘද සංවේදී ආඛ්‍යානයකි. ලලිත් රත්නායක සිය සිනමා කෘතිය තිර රචනයකට ගොඩනැගීමේදී රූපමය භාෂාව ව්‍යක්තව පිරිද්දීම සිනමා කෘතිය තුළ ආරම්භයේ සිට අවසානය දක්වා විශිෂ්ඨ නිමැවුමකින් සිදුකරයි.
ලෝකයේ නන්විධ ජන සමාජයන්ට පොදු අත්දැකීමක් බවට ඒත්තු යන අධ්‍යාපන රටාව හා එහි නිමග්න දරු පරපුර දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ වින්දිතයකු වීම කිසිදා විවෘතව සාකච්ඡා නොකළ යථාර්ථයක් තේමා කර ගැනීමකි.එය කිසියම් ආකාරයක මානව වර්ගයාගේ ජීවන පැවැත්මේ හැරවුමට ඉඟි පහල කරයි. විෂම භාග සිනමා කෘතිය ආසියානු ජන මූල සංස්කෘතියට වඩාත් ළඟින් යන සන්දර්භයකින් හා සංස්කෘතික වටපිටාවකින් නිර්මාණය වුවත් විශ්ව සාධාරණ තේමාවක් ගොනු කර ගැනීම නිසා සමස්ත මානව සංහතියේම හෘද ස්පන්දනයට නතුවන සමාන බවක් මොනවට මතු කරයි.
විටක ඉන්දියානු සිනමා ප්රාඥයකු වන සත්‍යජිත් රායි නිර්මාණය කළ ඹපු ත්‍රිත්වය මනස තුළ ඇඳී යන අයුරින්ම විෂම භාග සිනමා කෘතිය ව්‍යක්ත වූ රූප සමෝධානයකින්, රූප සත්කාරයකින්, රූප සංස්කරණයකින්, අවශ්‍ය ලය රඳවා තබා ගනී. සංගීතය, සමග අධ්යක්ෂවරයාගේ රංග රීතිය මනාව කුළුගන්වන නිර්මාණයක් බව පැවසීම යුක්ති යුක්ත වෙයි. අග නගරයෙන් බැහැර ගම්මානයක කුටුම්භයක් හරහා ගොඩනැගෙන කතා ප්‍රවෘත්තිය ප්රස්තුත සිද්ධි මාලාවකට සූක්ෂමව වියමන් කරන තිර රචනය ප්‍රේක්ෂක මනස් චිත්‍රයට ළංවන අපූර්වත්වය එක් කරයි. නිවුන් පිරිමි දරුවන් දෙදෙනා හරහා විෂම වූ මනෝමූලික චෛතසිකයන් විදාරණය කිරීම එක්තරා ආකාරයක රචකයෙකු මනසින් දුටු කිසිදා නොවූ විරූ සංකල්ප රූපයක් ජනනය කිරීමක් නොවන්නේදැයි අපට හැඟෙයි. සියල්ල සමාන වූ කළ ලෝකය විවිධත්වයක් හෝ සෞන්දර්යාත්මක නොවන බව අප අසා ඇත්තෙමු. විවිධත්වය තුළ පවත්නා විචිත්රත්වය නොවන්නේද ලොවෙහි පැවැත්ම ? ඒ ලොවෙහි පැවැත්මට දියුණු යැයි සම්මත ලෝකය ඉඩ නොදෙන්නේ නම් ඒ සමාජය සාධාරණ වන්නේ දැයි සිනමාකරු අපෙන් අසයි. ඉන්දියානු සිනමාවට අමිර් ඛාන් නම් සුප්‍රකට සිනමා නළුවා නිෂ්පාදනය කළ තාරේ සමීන් පර් සිනමා කෘතිය ඉන්දියානු ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ විශිෂ්ට සිනමා කෘතියකි. එහිදී දරුවකුගේ මනස පිළිබඳව ගුරුවරයකු හරහා කියවා ගැනීම අපි ප්‍රේක්ෂකාගාරයේ සිට අත්වින්දෙමු. විෂම භාග සිනමා කෘතිය එවන් වූ ගුරු පරපුරක ගේ සහ වැඩිහිටි ලෝකයටත් මුළුමහත් සමාජයටත් දරුවකු හරහා අපූරු පාඩමක් ලෙසින් ඒත්තු ගන්වයි.
සිනමා කෘතිය අපට මගහැර නොහැකි සිනමා අත්දැකීමක්ව ඇත්තෙ ජීවිතය පිළිබඳව ආදරය පිළිබදව ගැඹුරු හදවතක් අපට ඇති බව පෙන්වාදෙන්නට සමත් කෘතියක් බැවින් යැයි මා යෝජනා කරමි. විටක දෑසට කඳුළක් මතුවන හදවතට ගැඹුරු හුස්මක් මතුකරන විටෙක පපුව කඩා වැටෙන තරමට සියුම් ස්පර්ශයන් එක්වුනු රූප පඨිතයක් අඳුරු සිනමා ශාලාව තුළ අපව නැවත නැවත ජීවත් කරවයි.
සිදුවීම් ගලා යාමේදී සිනමා කෘතියට අත්‍යන්තයෙන්ම සමීප රංගන ශිල්පීන් තෝරාගැනීම අතිශයින්ම සාර්ථක බව අතිශයෝක්තියක් නොවේ. හේමසිරි ලියනගේ සිනමා කෘතිය තුළ සිය රංගන ධාරිතාව දශමයක හෝ අඩුවැඩි නොකරමින් රංගනය යෙදීමත්, ඊට නොදෙවෙනිව ඔහුගේ දියණිය ලෙස රංගනයේ යෙදෙන විශිෂ්ට රංග වේදිනියක වන කෞෂල්‍යා ප්‍රනාන්දු තබන සනිටුහන කිසිදා අමතක නොවන්නකි. ප්‍රියන්ත සිරිකුමාර සිය චරිතය රංගනයේ යෙදෙනවාට වඩා එහි ජීවත්වන බව නොකියාම බැරිය. ගුරුවරිය ලෙස නිලක්ෂි රත්නායක මැනවින් රංගනයෙහි යෙදේ. අනෙක් චරිතය නම් ජැක්සන් ඇන්තනී නම් ප්‍රතිභාන්විත රංගන ශිල්පියායි. මෙහි ප්‍රතිවීර චරිතයක් වන එනම් දුෂ්ටයාගේ චරිතය නිරූපණය කිරීම අධ්‍යක්ෂකවරයා ඔහු දමනය කර ඇති ආකාරය අති විශිෂ්ටය. සිනමා කෘතිය පුරා ආකර්ෂණය වැඩියම දිනාගන්නා පංසිළු වික්‍රමරත්න සහ පංකජ වික්‍රමරත්න පුතුන් දෙදෙනා අධ්‍යක්ෂකවරයාගේ ඇහිපිල්ලම් යට රැඳී සිටීම කිසිවකුටත් මගහැරේ යයි නොසිතමි. විෂම භාග සිනමා කෘතිය මේ මොහොතේ ජන සමාජය තුළ පවත්නා රික්තකයක අවශ්‍යතාවක් හඬනගා කියන ආත්ම භාෂණයකි. අධ්‍යක්ෂකවරයා පවා කිසියම් දවසක තම ජීවන අත්දැකීම් පැසතුළ සඟවා සිටි භාවයක විශෝදන ය කිරීමක් දැයි විටෙක හැඟෙයි.
සිනමා කෘතියෙහි ගණන් හැදීමට දක්ෂ කොලූගැටයා මෙන්ම ගණන් හදන්නට අදක්ෂ ගීත ගායනයෙන් සියල්ලන්ම වශීකරණ කරන ඒ අපූරු කොලූගැටයා මොන තරම් හදවත සංවේදී මනුෂ්‍ය ප්‍රාණියෙක් ද? පරිසරය කුරුලු නදට පවා අතිසංවේදී ඔහුගේ ළමා මනස සිය පියා වෙනුවෙන් මව වෙනුවෙන් හා අවසානයේ තමා ආදරය කරන තමන්ට අහිමිවන සීයා වෙනුවෙන් ලතෙත් වෙන අයුරු සංවේදී වෙයි.. සිය සීයා ජීවිතය අතහැර ගොස් ඇති බව දැනගන්නා කොලූගැටයා සීයාගේ බුලත් හෙප්පුවේ බාගෙට කැපූ පුවක් ගෙඩිය ගෙන සුදු රෙදි කඩක ඔතා බුදු පහන අසල රඳවා තබා තැබිම සමස්තයම සංකේතාත්මකව හකුලා තැබීමකි.
විෂම භාග අපට පෙන්වන ජීවන දහම පාරිසරික වාදී මානව වාදී තිරසර ප්රඥප්තීන් ද කැටිව යටි පෙළක් ලෙස මතුව එයි. ළමා චිත්‍රපටයක් ලෙස ළමුන්ට අතිශයින්ම ගෝචර විෂම භාග සිනමා කෘතිය අත්‍යන්තයෙන්ම වැඩිහිටි සමාජයට අනිවාර්යෙන්ම නැරඹීමට නිර්දේශ කළ යුතු සිනමා කෘතියක් යයි මට හැඟෙයි. එතෙක් මෙතෙක් ලාංකේය සිනමාවේ පරිසමාප්තියට නැගුණු මෙවැනි සිනමා කෘතියක් අපට හමුවන්නේ ඉතාමත් කලාතුරකිනි. තවත් සියවසකටත් පසුවත් විෂම භාග සිනමා කෘතිය පිළිබඳව එතෙර මෙතර සිනමා ප්‍රේක්ෂක ජනහදවත් හදවතින් වැළඳ ගන්නා බව නොඅනුමානය.
ෂර්ලි සමරසිංහ