Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

අලුත් වසරේ ඇරඹුමට අලුත් ප්‍රාර්ථනාවන්

$
0
0

දින 365ක් ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදාවෙලා. මේක අලුත් අවුරුද්දක් විතරක්ම නෙමෙයි. අලුත් දශකයක ආරම්භයක්. හැමදෙනා තුළම අලුත් බලාපොරොත්තු, අලුත් සැළසුම්, අලුත් ඉලක්ක බොහොමයක් තියෙනවා. ඒ සියල්ල අතරේ පොදුවේ රටක්, සමාජයක් විදිහටත් මේ උදාවුනු  අලුත් අවුරුද්ද සහ ඇරඹුණු අලුත් දශකයේ අලුත් ගමනකට සැරසෙන්නේ කොහොමද..? අලුත් අවුරුද්ද අපි බාරගන්න ඕනේ මොනවිදිහටද කියන දේ ගැන කලා ක්ෂේත්‍රයෙන් හිතවතුන් කිහිප දෙනෙකුගෙන් අපි විමසීමක් කළා.

ගායන සහ රංගන ශිල්පිනි කවින්ද්‍යා අදිකාරී

සාමාන්‍යෙන් මම ලොකුවට ප්ලෑන් හදාගෙන දේවල් කරන කෙනෙක් නෙමෙයි. එන එන විදිහට එදිනෙදා කටයුතු කරන කෙනෙක්. හැබැයි 2020 වෙනුවෙන් පොඩි ප්ලෑන් එකක් නම් තියනවා. ඒ තමයි මගේ අලුත් සින්දු දෙකක් රිලීස් කරන එක. අවුරුදු 4කට පස්සෙයි මම අලුත් ගීතයක් කරේ. ඉතින් ඒක මේ අවුරුද්දේ රිලීස් කරන්න මම මේ වෙද්දී දේවල් ලැහැස්ති කරමින් ඉන්නවා. ඊට අමතරව අම්මගේ එරන්දතී කලායතනයේ කටයුතු සම්පුර්ණයෙන්ම පාලනය වෙන්නෙ මගේ යටතේයි. ඉතින් ඒ වැඩකටයුතුත් තව හොඳට කරන එක තමයි මගේ පෞද්ගලික ජිවිතේ තියෙන බලාපොරොත්තු. පොදුවේ ගත්තහම මට කියන්න තියෙන්නේ 2020 කියන්නේ ඉලක්කමෙන් පවා වෙනස් අවුරුද්දක්. සහ මම හිතන්නේ විශේෂ අවුරුද්දක්. මේ සියවසේ තුන්වැනි දශකය. ඉතිං අපි වෙනස්වන, අලුත්වන ලෝකෙට යන්නේ කොහොමද මොනවද ගෙනියන්නේ කියන එකත් අපි හැමෝම තමන්ගෙන්ම අහගන්නත් ඕනේ. කලා ක්ෂේත්‍රය ගත්තහම මට පේනවා අපේ අම්මිලගේ කාලේ තිබුණු එකමුතුකම, සමගිය, දැන් හරිම අඩුයි. අම්මිලගේ කාලේ හැමෝම එකට එකතු වෙලා වැඩ කරා. එකිනෙකාට උදවු කරගත්තා. අදටත් ඒ අය අතරේ ඒ බැඳීම තියෙනවා. ඒගොල්ලෝ එකතු වෙලා ඒ පරණ දේවල්, අත්දැකීම් කතා කරනවා අහන්නත් ආසයි. ඒත් අපේ පරම්පරාවට මේක මිස් වෙලා කියලයි මට හිතෙන්නෙ. විශේෂයෙන් අම්මිලට ස්මාට් ඩිවයිස් සහ සෝෂල් මිඩියා තිබ්බේ නැහැනෙ. ඉතිං ඒගොල්ලො අතරේ මානුෂික බැඳීම් හුඟක් තදට තිබුනා. හැබැයි අපේ කාලේ Facebook, Instagram, Viber, Whats app මේ ඔක්කොම තිබුනත් එකිනෙකාට උදවු කරගැනීම, සහෝගය, බැඳීම අඩුවෙලා කියල මට හිතෙනවා. කලා ක්ෂේත්‍රයේ කියල මම කිවුවේ ඒක මගේ විෂය නිසා. නමුත් සමාජයක් විදිහටමත් අපේ පරම්පරාවේ මේ අර්බුධයේ ඉන්නව කියල මට හිතෙනවා. ඉතිං මෙන්න මේ ගැන මේ අලුත් අවුරුද්දේ අපි ටිකක් හිතුවොත් හොඳයි කියල මට හිතෙනවා. මනුස්සකම් මානුෂිය බැඳීම් වලට මුල්තැන දෙන එකිනෙකාට උදවු උපකාර කරගන්න තරුණ පරම්පරාවක් නිර්මාණය කරමු කියල මම හැමෝටම යෝජනා කරනවා. අලුත් අවුරුද්දේ අපි අපෙන්ම මේ වැඩේ පටන් ගනිමු.

රංගන ශිල්පී/තිර පිටපත් රචක හරිත් වාසල

අලුත් අවුරුද්දක් කියන්නෙම අලුතින් හිතන්න අවස්ථාවක්නෙ. හුඟක් දේවල් භාහිරින් අලුත් වෙනවා වගේම අපි අභ්‍යන්තරයෙනුත් වෙනස් වෙන්න ඕන කියල මම හිතනවා. ඒ වෙනස් වීම වඩා හොඳ හෙටදවසක් වෙනුවෙන් වෙන්නත් ඕනෙ. විශේෂයෙන් පෞද්ගලිකව තමන්ගෙ වගේම සමාජයේම යහපත වෙනුවෙනුත්. මම විශ්වාස කරන දෙයක් තමයි අපිට ජීවිතයේ සතුටින් ඉන්න ලේසිම ක්‍රමය අන් අයව සතුටින් තියන්න උත්සාහ කිරීම කියන එක.ඒ වෙනුවෙන් අපි කරන කැපවීම ලොකුද පොඩිද අදාල නෑ.ඒක පාර අයිනේ බඩගින්නේ ඉන්න බලු පැටියෙකුට බඩ පිරෙන්න කැම ටිකක් දීම වගේ පුංචි දෙයක් වෙන්න පුලුවන්.හැබැයි එයින් ලැබෙන ජීවිතාස්වාදය කොතරම්දැයි කියන්නටත් බැරිතරම්. ඔබ අන් අයව සතුටින් තැබීමට උත්සාහ කරන්න ඉබේම සතුට ඔබ කරා පැමිණේවි.

රංගන ශිල්පී සාරංග දිසාසේකර

මිනිස්සු විදිහට වගේම සමාජයක් විදිහටත් පිබිදීමක් දකින්න තියෙන කාලයක් මේක. විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව වෙනස් වෙමින් යන බවක් පෙන්න තියෙනවා. ආකල්ප සංවර්ධනය පැත්තෙන් ගත්තත් නිර්මාණශිලිත්වය පැත්තෙන් ගත්තත් පිබිදීමක් දකින්න තියෙනවා. ඉතිං මේ අලුත් අවුරුද්දේ අලුත්වන, වෙනස්වන ලෝකයක් වඩා හොඳ සමාජයක් වෙනුවෙන් වඩා යහපත් රටක් වෙනුවෙන් අපි හැමෝම තම තමන්ගේ යුතුකම් කොටස හරියාකාරව ඉටුකරන්න හිතට ගනිමු. අදින් පටන් ගන්න වසර තුළ අලුත් විදිහට හිතන්නත්, අලුත් වැඩ කරන්නත් හිතට ගත්තොත් අවුරුද්දම සුබ වේවි. විශේෂයෙන් ආකල්ප අතින් වෙනස් වෙන අතරම අපි අපේ යුතුකම් කොටස නිවැරදිව ඉටු කරන්න හිතට ගමු කියන ඉල්ලීම කරන්න ඕනෙ.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>