
තරුණ කාලේ දැඩි ඇමෙරිකන් විරෝධියෙක්ව හිටපු තරුණයෙක් අන්තිමට මුළු ලෝකයම වෙනස් කරන්න තරම් තැනකට ඇවිත් ඉන්දැද්දි ඇමෙරිකාවෙම න්‍යාය පත්‍රයකට පටන් ගන්න යුද්ධයක ගොදුරක් වෙලා ජීවිතෙන් සමුගන්නවා. ඒකත් ඇමෙරිකන් ආණ්ඩුවේ නොසැලකිල්ල සහ ඇතැම්වට වුවමනාව මත වෙන්නත් පුළුවන්.
සර්ජියෝ වියෙරා ඩි මෙලෝ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා, 2003 වසරෙදි බැග්ඩෑඩ් නුවරදී මිය යනවා. වයස අවුරුදු 21 දී එක්සත් ජාතින් හා එක්වන බ්‍රසීල ජාතික සර්ජියෝ සංවිධානයට සේවය කරන වසර 34ක කාලයේදි ඉරාකයට අනුයුක්ත කිරීමට පෙර නැගෙනහිර පකිස්ථානය (බංග්ලාදේශය), සයිප්‍රසය, බොස්නියාව, ලෙබනනය, කාම්බෝජියාව, කොසෝවෝ දකුණු ඇමෙරිකාව සහ නැගෙනහිර තිමෝරයේ මෙහෙයුම්වලට එක් වෙනවා.
වසර 24ක සිවිල් යුද්ධයකින් පසු නැගෙනහිර තිමෝරයට, ඉන්දුනිසීයාවෙන් නිදහස ලබාගැනීමේ ප්‍රමුඛතම මෙහෙවර කරන්නෙත් සර්ජියෝයි. ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යය වෙන ඉන්දුනීසියාවෙන් කෑල්ලක් කඩා ගැනීම ගැන ඔසාමා බින් ලාඩ්න්ගේ වෛරය කෙලින්ම සර්ජියෝට සහ එක්සත් ජාතින්ට එල්ලවෙනවා.
එවකට එක්සත් ජාතින්ගේ මහ ලේකම් කොෆි අන්නන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට සැලකුවත් සර්ජියෝයි. තිමෝර මෙහයුමෙන් පස්සේ එක්සත් ජාතින්ගෙ රැකියාවට සමුදීමට තීරණය කරලා තිබුණා කියලයි සර්ජියෝගේ සමීපතමයෝ කියන්නේ. ඒත්, එවකට එක්සත් ජනපද ජනාධිපති බුෂ් ජූනියර්ගේ ඉල්ලීමක් අනුව සර්ජියෝ ඉරාකයට යනවා. මාස හතරකට. බුෂ් ප්‍රමුඛ ඇමෙරිකාව කරන්නේ සර්ජියෝගේ ජනප්‍රියත්වය සහ දක්ෂතාවයෙන් ඉරාක ආක්‍රමණයේ කළු පැල්ලම් වහගන්න. ඒත් සර්ජියෝගේ අරමුණ වෙනස්. ඉරාකයට යන සරජියෝ උත්සාහ කරන්නේ ඉරාකය හඳුනාගෙන ඉතා ඉක්මනින් ආපහු සදාම්ගෙන් හිස් වුනු ඉරාකයට අලුත් පාලනයක් ලබා දෙන්න. ඇමරිකන් හමුදාව ඉරාකයෙන් අයින් කරගන්න.
ඒත් සර්ජියෝගේ සැලසුම් සියල්ල ව්‍යර්ත කරමින් අල් කයිඩා සංවිධානය බැග්ඩෑඩ් නුවර එ.ජා. මෙහෙයුම් කාර්යාලය පවත්වාගෙන ගිය හෝටලයට බෝම්බ ලොරියක් එවනවා. හරියටම සර්ජියෝගේ කාර්යාලය යටදිම බෝම්බය පුපුරවනවා. සර්ජියෝ බෝම්බය නිසා කඩා වැටෙන ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවෙනවා. පැය කිහිපයකට පස්සේ අභ්‍යන්තර ලේගැලීම් හේතුවෙන් සරජියෝ සුන්බුන් අතර සිරවී සිටියදිම මියයනවා. ලෝකයේ හොඳම හමුදාව විදිහට තමන්ම නම් කරන ඇමෙරිකන් හමුදාවට සර්ජියෝ ගලවාගන්න තියෙන එකම උපකරණය කාන්තා හෑන්ඩ් බෑග් එකක් සහ ලනුවක්. සර්ජියෝව බේරගන්න ඉදිරිපත්වෙන්නෙත් අහම්බයකින් සර්ජියෝව දකින සෙබළු දෙන්නෙක්.
සර්ජියොගේ මරණයත් එක්ක එක්සත් ජාතින් ඉරාකයෙන් ඉවත් වෙනවා. ඇමරිකන් හමුදාව ඉරාකයේ මර්ධනය තවත් දැඩි කරනවා. සිවිල් යුද්ධය දිගට ඇදෙනවා. සර්ජියෝගේ මරණයත් එක්ක එක්සත් ජාතින්ගේ සංවිධානයේ අවගමනයද සළකුණු වෙනවා.
චිත්‍රපටියේ සරජියෝගේ චරිතය රඟපාන්නේ Netflix රසිකයන්ට ආගන්තුක නොවන වැග්නර් මෝරා. නාර්කෝස් කතාමාලවේ පැබ්ලෝ එස්කොබාර්. ඉතාම අසීරු චරිතයක් වුනත් වැග්නර්, සර්ජියෝගේ චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරනවා. කතාවේ ගලායෑමත් විශිෂ්ටයි. සර්ජියොගේ ප්‍රේම වෘතාන්තයත් කතාවට වෙනම කලර් එකක් එකතු කරනවා. Netflix හැමදාම කරනවා වගේ තමන්ගේ ප්‍රොපගැන්ඩා වැඩ චිත්‍රපටිය ඇතුලට ගෙනත් තිබුනත්, මේක පොලිටිකල්, ඩ්‍රාමා චිත්‍රපටිවලට කැමති කෙනෙකුට නිර්දේශ කරන්න හැකි හොඳ චිත්‍රපටියක්.
– වරුණ සුදන්ත හේරත් –