
80 දශකයේ අවසන් වසර කිහිපය ශ්‍රී ලංකාව දේශපාලනිකව අර්බුධයකට ලක්වූ කාලයක්. මෙරට දෙවැනි තරුණ නැගිටීම සිදුවන්නේ මේ කාලයේ. තරුණ පිරිස පවතින ආණ්ඩුවේ පාලන ක්‍රමවේදයට එරෙහිව අරගලයක් අරඹනවා වගේම රාජ්‍ය මර්ධනයත් මේ තරුණ කණ්ඩායම් මත ක්‍රියාත්මක වීම ඇරඹෙනවා. මේ දෙපිරිස අතර දරුණු ගැටුම් ඇවිලී යාමෙන් විශාල ජන සංහාරයක් සිදුවනවා. මේ කාලයේ බොහෝ මව්වරුන්ට තම දරුවන් අහිමි වනවා. එක්කෝ මියගොස් සිටින ආකාරය දකින්න ලැබෙනවා. එහෙමත් නැත්තන් ඒ දරුවන් “අතුරුදන් වූවන්” බවට පත්වනවා. තමන්ගේ දරුවාට සිදුවුනේ කුමක්දැයි සොයමින් රටපුරා ඇවිදපු මව්වරුන් දහස් ගණනක් ඒ කාලයේ ජීවත් වුනා. බබානෝනා කියන්නෙත් එවැන්නියක්.
තමන්ගේ එකම පුතා ඉගෙනීමට දක්ෂ තරුණයෙක්. දරුවාගේ ඉගෙනීම සහ අනාගතය ගැන සිහින දකින බබානෝනා තමන්ගේ වෘත්තීය වුනු “රෙදි සේදීම” වැඩි උනන්දුවකින් යුතුව කරනවා. නමුත් ඇගේ සිහින පුස්සක් බවට පත්වන්නේ එක අඳුරු දවසක ඇගේ පුතා නාඳුනන පිරිසක් විසින් බලෙන් රැගෙන යාම නිසා. සිදුවුනේ කුමක්දැයි බබානෝනාට අදහසක් තිබුනේ නැහැ. ඇය තමන්ගේ දරුවා සොයමින් වෙහෙසෙනවා. අවසානයේ නීතිය ඉදිරියට ගොස් යුක්තිය ඉල්ලා සිටින්නට බබානෝනා කටයුතු කරනවා.
තමන්ගේ පුතා පැහැරගෙන ගියදා පැමිණි එක හමුදා නිලධාරියෙක් ඇයට හොඳින් මතකයි. ඈ ඔහුව හඳුනා ගන්නවා. නඩුවට යන බබානෝනාට මේ හමුදා නිලධාරියාගේ ගැබිණි බිරිඳ හමුවන්නේ උසාවි බිමේදියි. බබානෝනාට තමන්ගේ දරුවා වෙනුවෙන් යුක්තිය ඉටුවෙයිද..? පැහැරගැනීමට සම්බන්ධ හමුදා නිලධාරියාට කුමක් සිදුවේද..? තම පුතා අදාළ දේශපාලනික අරගලයට සම්බන්ධ කරගත් පාර්ශවයට බබානෝනා කෙලෙස ප්‍රතිචාර දක්වයිද..? හමුදා නිළධාරියාගේ ගැබිණි බිරිඳගේ අනාගතය කෙබඳු වේද..? මේ සියලු ගැටළු විසඳා ගැනීමට තවත් දින 10ක් පමණ බලා සිටීමට ඔබට සිදුවනවා.
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටයෙනුයි මේ බබානෝනා සහ පිරිස ඔබට හමුවන්නේ. 88/89 වකවානුවේ දේශපාලනික අරගලයේ වින්දිතයන් වුනු සිවිල් සමාජයේ ඛේදවාචකය සිනමා සිත්තමක් ලෙසින් ගෙන ඒමට විසාකේස කටයුතු කොට තිබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පිනි නීටා ප්‍රනාන්දු මෙහි “බබානෝනා” ලෙස රංගනයෙන් දායක වනවා. ප්‍රංශයේ පැවති NICE International Film Festivalහිදී “හොඳම නිළිය” ලෙස සම්මාන ලබා ගැනීමට නීටා ප්‍රනාන්දු සමත් වුනා. හමුදා නිළධාරියා ලෙස මයුර කාංචන, ඔහුගේ බිරිඳ ලෙස නදී කම්මැල්ලවීර, නීතිඥ වරයා ලෙස ජගත් මනුවර්ණ, බබානෝනාගේ ඥාති පුත්‍රයා ලෙස සේවියර් කණිෂ්ක, බබානෝනාගේ අතුරුදන්වූ පුත්‍රයා ලෙස රන්දික ගුණතිලක, ඔහුගේ ගුරුවරයා ලෙස ගයාන් ලක්රුවන්, ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.
දිමුතු කාලිංග දහනායක කැමරාකරණයෙන්, සිතුම් සමරජීව සංස්කරණයෙන්, කුමාර කරව්දෙනිය කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණයෙන්, චින්තක ජයකොඩි සංගීත නිර්මාණයෙන් දායක වූ පාංශු චිත්‍රපටයේ තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය විසාකේස චන්ද්‍රසේකරම්ගෙන්. අගෝස්තු 21 වැනිදා සිට දිවයින පුරා “පාංශු” තිරගත කෙරෙනවා.
මෙරට දේශපාලන ඉතිහාසයේ සිදුවූ දෙවැනි තරුණ නැගිටීම සහ ඒ ආශ්‍රයෙන් සිදුවුනු ජන සංහාරයක අඳුරු පැතිකඩක් යළි සිහිපත් කරවන බබානෝනාගේ කතාව විඳින්න 21 වැනිදා සිට ඔබට ලඟම සිනමාහලට ගොඩවන ලෙස ප්‍රේක්ෂකයින්ට ඇරියුම් කෙරෙනවා.