Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

ඉන්දියාවම වසඟයට ගත් මලයාලම් Thriller චිත්‍රපටය

$
0
0

සාමාන්‍යයෙන් මලයාලමෙන් Thriller කැටගරියට අයිති වෙන සිනමාපට නිපද වෙන්නෙම හරි අඩුවෙන්. නමුත් පසුගිය වසරක දෙකක ‍කාලයක ඉඳන් ඔවුන් ත්‍රිලර් කැටගරියට වැඩි අවධානයක් යොමු කරපු බව රසිකයින් අතරේ ප්‍රසිද්ධ මතයක්. මලයාලමේ  ඒ මෑතකාලීන ත්‍රිලර් රැල්ලේ මුල්ම අවධියට අයත් චිත්‍රපටයක් තමයි Anjaam Pathiraa (2020). මේ චිත්‍රපටය සිනමාශාලාවලට නිකුත් වෙන්නේ පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා. අධ්‍යක්ෂණය කරන්නේ Aadu වගේ ටොප් කොමඩි කරපු Midhun Manuel Thomas විසින්. ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණු Kunchacko Boban විසින් රඟ දක්වන්නේ අන්වර් හුසේන් නැමැති අපරාධ විශ්ලේෂකයාගේ චරිතය.

Anjaam Pathiraa සිනමාපටයත් සුපුරුදු විදිහටම “පොලීසිය සහ මිනීමරුවා” කියන ගණුදෙනුව නියෝජනය කළත් ඇතැම් සුවිශේෂී කාරණා කිහිපයක් නිසා ඊටම වෙනස් වූ අනන්‍යතාවයක් ගොඩ නඟා ගෙන තිබෙනවා. ඒ නිසාම Storyline සහ Plot පිළිබඳව වැඩි විස්තර කිරීමකින් තොරව චිත්‍රපටයේ ධනාත්මක සහ ඍණාත්මක ලක්ෂණ පිළබඳව විමසා බැලීම නරඹන්නාට වඩා වැදගත් වේවි කියල අපි විශ්වාස කරනවා.

චිත්‍රපටයේ පළමු භාගයේදී එකදිගට සිදුවන ඝාතන රැල්ලත්, ඒ ඝාතන හමුවේ නිරුත්තර වන පොලීසියත් ප්‍රේක්ෂකයාට දක්නට ලැබෙනවා. ඒ අතරේදී තමයි අපරාධ විශ්ලේෂක Dr. Anwar Hussain කතාවට සම්බන්ධ වන්නේ. මිතුරු පොලිස් පරීක්ෂක ACP Anil Madhavan හරහා ඔහු පොලිසියට සමගාමීව මේ අපරාධ පිළිබඳව සොයා බලනවා. මුල් භාගය තුළ පොලිස් විමර්ශනවල අසමත්වීම් රාශියක් දක්නට ලැබීම සහ Anwarගේ  පරීක්ෂණ ක්‍රමක්‍රමයෙන් සාර්ථකත්වයට පත්වීම ගැන අධ්‍යක්ෂකවරයා විමසිලිමත් වී තිබෙන බව පැහැදිලියි. සාමාන්‍යයෙන් මේ ශානරයේ සිනමාපට බොහොමයක මූලිකත්වයක් දෙන්නේ පොලීසිය සහ පොලීසියේ සාම්ප්‍රදායික නියෝජනය වන “යහපතට”. යහපත ජය ගැනීම වෙනුවෙන් චිත්‍රපටයේ පළමු අර්ධයේ ඉඳන්ම පියවරෙන් පියවර තිරපිටපත ගොඩ නැංවීමක් තමයි ඒවායේ බෙහෙවින්ම දක්නට ලැබෙන්නේ. නමුත් Anjaam Pathiraa සිනමාපටයේ මූලිකත්වය දෙන්නේ Serial Killerගේ චරිතයට වීමත් මෙහි තිබෙන විශේෂත්වයක්. ඝාතකයාගේ චරිතය හොඳින් ගොඩනැංවීම චිත්‍රපටයේ පළමු අර්ධයේදී සිදු වෙනවා.

මිනීමරන්නේ ඇයි? පොලීසියම ඉලක්ක වෙන්නේ ඇයි?

මේ කිසිම හේතුවක් කිසිවෙකුත් දන්නේ නැහැ. ඝාතනයක් වෙන සෑම අවස්ථාවකදිම පොලීසිය සහ අන්වර්ට වඩා පියවරක් ඉදිරියෙන් තමයි ඝාතකයා ඉන්නේ. ඝාතන ඇතුලේ හිස්තැන් වුණු Puzzling Clues රාශියකට පිළිතුරු තවමත් ලැබී නැහැ. මේ කාරණා නිසාම, ඝාතකයාටත් ලොකු වටිනාකමක් ලබා දීමට ඩිරෙක්ටර් වෙහෙසනවදෝ කියන ප්‍රශ්නයත් ප්‍රේක්ෂකයාට ඇතිවන්න පිළිවන්. දෙවන අර්ධය ගෙවෙන්නේ තරමක් දුරට සාර්ථක වුණු පොලිස් පරීක්ෂණත් සමඟයි. සයිකෝ සයිමන්, කොකේන් ශමීර් වැනි චරිත සිනමාපටයට සම්බන්ධ වන ආකාරය තුළින් පොලිස් උපකල්පන පවා වැරදී යන ආකාරය හොඳින් පෙන්වීමට සමත්. Sreenath Bhasi රංගනයෙන් දායක වන හැකර්වරයාගේ චරිතයේ උදව් ඇතිව පොලිස් පරීක්ෂණ දිගින් දිගටම සිදු වුණත් නිශ්චිත අවසානයක් පිළිබඳ සේයාවක්වත් නැහැ.

සුලු සුලු වැරදි සහ පැටලලි සහගත අවස්ථා තිබුණත් සමස්ථයක් වශයෙන් හොඳින් ගලාගෙන ආ කතාවේ පළවෙනිම weak point එක සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේදියි. පොලිස් පරීක්ෂකවරුන්ගේ දක්ෂතාවය වෙනුවට “අහම්බය”ට මූලිකත්වය දෙනවා. වෙනත් ලෙසකට පැහැදිලි කළොත්, අධ්‍යක්ෂකවරයා විසින් වාසනාව නැමැති සංකල්පයෙන් චිත්‍රපටය අවසාන කරන්න උත්සහ දරනවා. මොකද ප්‍රේක්ෂකයින් විදිහට අපිට පේන්න තියෙනවා, ප්‍රතිමාවේ තිබෙන මූර්ති ශිල්පියාගේ සලකුණු ලැබෙන්නේ වාසනාව මත මිසක් අන්වර්ගේ දක්ෂතාවය මත නොවන බව. වාසනාව තුළින් සොයාගත් සලකුණු මත ඝාතකයා සොයාගෙන යන ගමන අවසානයේදී අධ්‍යක්ෂකවරයා අතින් අවසාන සහ විශාලම වැරැද්ද සිදු වෙනවා. නැවතත් අහම්බය.

සිනමාපටයේ climax එකට වෙන් කරපු සහ මුලු කතාවෙම Turning Point එක වුණු දාම ඝාතකයාව සොයා ගැනීම සිදුවන්නෙත් අහම්බයක් මතින්. මාස ගණනක් සාක්ෂි එකතු කරමින් දැඩි පරිශ්‍රයක් දරමින් සිදු කරපු පරීක්ෂණයේ වටිනාකම අඩු තක්සේරුවකට ලක්වීමෙන් ප්‍රේක්ෂකයා කළකිරීමට පත්වන බව බොහෝ විචාර වල සඳහන්ව තිබුනා. නීතියේ දෙවඟනගේ ප්‍රතිමා සාදපු සුදාකර්ගේ දියණිය මේ මිනීමරුවාව අහම්බයෙන් මේ නොදකින්නට අන්වර් ඇතුළු පොලීසියට මෙහි අවසානයක් දැකගන්න ලැබෙන්නෙත් නැහැ. මෙතරම් දැවැන්ත Investigation Thriller සිනමාපටයක අවසානය එවැනි දුර්වල සිදුවීමකට ලඝු  කිරීම ගැන ප්‍රේක්ෂකයකු ලෙස  සතුටු වෙන්නට බැහැ.

නමුත් එතනින් එහාට නැවතත් හොඳින් කතාවේ ගලා යෑමක් දැකගන්න පුලුවන්. Serial Killer Flashback සිද්ධි දක්නට ලැබෙනවා.  මෙසේ පොලිස් නිලධාරීන්ව මැරුවේ ඇයි? හේතුව කුමක්ද? මොකක්ද මේ කතාන්දරේ?මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සමඟින් Backstory එක හොඳින් ගලාගෙන යනවා. අවසානයේදී ප්‍රේක්ෂකයා නොහිතපු කාරණයක් සමඟිනුයි සිනමාපටය අවසාන වන්නේ. ඝාතක බෙන්ජමින්ගේ සහෝදරිය මිය ගිය බවට සිතුණත් ඇයගේ කතාන්දරයේ වර්ථමාන පරිච්ඡේදය ඔබට දකින්න පුලුවන්. නමුත් ඇගේ පළිගැනීම සිදු කරන ආකාරය සහ ඒම අවස්ථාවේදී අන්වර්ගේ අභව්‍ය හැසිරීම නැවතත් නරඹන්නන්ව අසතුටු කරනවා.

සමස්ථයක් වශයෙන් සිනමාපටය ගැන Positive Feedback එකක්ත තමයි අවසානයේදී කිවයුතු වන්නෙ. කාලයකට පස්සේ සිනමාශාලා වල  මිනිස්සු පැක් වෙන සිනමාපටයක් කේරළයෙන් ආවේ Anjaam Pathiraa චිත්‍රපටයත් එක්කයි. සුළු චරිතවල ඇතැම් රඟපෑම් ගැන ප්‍රශංසනීය මතයක් නොමැති වුවත්, බොහෝ උපප්‍රධාන චරිත ගැළපෙනම ශිල්පීන් වෙතට ලැබී ඇති නිසා පෞද්ගලික සතුටකුත් තිබෙනවා. විශේෂයෙන්ම Kunchacko  විසින් තමන්ගේ ප්‍රධාන චරිතය ගැළපෙන ආකාරයටම ගොදනගානෙන තිබෙන බව පැහැදිළියි. Suspenseful Moments පවා නරඹන්නන්ට හොඳින් ග්‍රහණය වුණා. අනවශ්‍ය sub stories නොමැති නිසා මුල සිට අවසානය දක්වාම මූලික කතාවට අවධානය යොමු වනවා වගේම කතා කිහිපයක් එකක් මත එකක් ගොඩනැංවීමක් දකින්නත් නැහැ. ඒ වගේම චිත්‍රපටයේ Background Music ගැන නම් වෙනම කතා කළ යුතුයි. ඒ තරමටම හොඳින් සහ දක්ෂ විදිහට සංගීත අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව සිදුව තිබෙන බව බොහෝ දෙනා සඳහන් කරන කාරණයක්.

අවසානයේදී මේ කරුණු කාරණා සියල්ලමත් එක්ක, නිෂ්පාදකයින් පවා නොහිතපු මට්ටමේ සාර්ථකත්වයක් ලබාගැනීමට චිත්‍රපටයට හැකිවුනා.  කෝටි 200ක පිරිවැයකින් හදපු සුපර්ස්ටාර් රැජිනිගේ Darbar යන්තමට කෝටි 250ක් උපයා ගනිද්දී  ඒකත් එක්ක මරු තුරුළේ Clash වුණු කෝටි හතරක තරම් අඩු පිරිවැයක මලයාලම් චිත්‍රපටියක් අන්තිමේදී කෝටි 50කට ආසන්න ආදායමක් වාර්තා කරලා තිබුණා. බොහෝ ආදායම් වාර්තා අලුත් කරමින් ප්‍රාන්තීය මලයාලම් චිත්‍රපටයක් ඉන්දියාව පුරාම ලොකු කතාබහක් ඇති කරන්න සමත් වුණා. ඒ හේතු නිසාම මේ වන විට චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයක් පවා නිර්මාණය වෙමින් තිබෙනවා. මලයාලම් භාෂාවෙන් මෙහි දෙවන කොටසක් නිර්මාණය වෙන බවට තහවුරු කරලත් අවසානයි.

ඔබට තවමත් මෙම සිනමා අත්දැකීම විඳගන්නට නොහැකි වුණාද? නම මතක තියාගන්න, Anjaam Pathiraa හෙවත් පස්වන මධ්‍යම රාත්‍රිය. නිදිවර්ජිත Thriller අත්දැකීමක් වෙනුවෙන් ඔබට පාර කියාවි. Cinema lk අපි, ඔබට දෙන රෙකමදාරුව එයයි. අන්තර්ජාල බාගත කිරීමකින් හෝ SunNxt වෙබ් අඩවිය හරහා ඔබටත් බොහොම පහසුවෙන් මෙය නරඹන්නට හැකියාව තිබෙනවා.

–  කවිනු වීරක්කොඩි  –

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>