
2019 වසරේ වැඩිම විචාරක ආකර්ෂණයක් දිනාගත් දකුණු ඉන්දීය චිත්‍රපට ලැයිස්තුවේ මුල්තැනක් ගන්න R.Parthipenගේ Oththa Seruppu Size 7 දමිළ චිත්‍රපටය සමත් වුනා. මෙහි අධ්‍යක්ෂණය, තිර පිටපත රචනය වගේම නිෂ්පාදනය සිදු කළෙත් R.Parthipen විසින්ම වීම විශේෂත්වයක්. ඒ වගේම Oththa Seruppu Size 7 චිත්‍රපටයේ රඟපාන එකම රංගන ශිල්පියා වන්නෙත් ඔහුමයි. මේ හේතුන් නිසා චිත්‍රපටය Digital Release කිරීමෙන් අනතුරුව මේ වටා විශාල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වුනා. කලකට පසු නැවතත් රසිකයින් අතරේ කතාබහට ලක්වන චරිතයක් බවට පත් වීමට Parthipenට හැකියාව ලැබුනා. කොහොම නමුත් Oththa Seruppu Size 7 දමිළ සිනමාපටය හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරන්නට යන බවකුත් පහුගිය දිනවල උතුරු ඉන්දියාවෙන් වාර්තා වුනා. ඒ ජනප්‍රිය බොලිවුඩ් නළු Abhishek Bachchanව යොදා ගනිමින්.
සිව් වරක්ම ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ විශිෂ්ටතමයෙකු වන Parthipen, තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ගණනාවකම හිමිකරුවෙක්. ඔහු තමන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය සිදු කරන්නේ 1989 තරම් ඈතකදී. ඒ වගේම තමන්ගේ පළවෙනි අධ්‍යක්ෂණයටම හොඳම දමිළ චිත්‍රපටයට හිමි ජාතික සම්මානය ලබා ගන්නත් ඔහුට හැකියාව ලැබුනා. එතැන් පටන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස සාර්ථක ගමනක් පැමිණි ඔහු 1997දි හොඳම නළුවාට හිමි තමිල්නාඩු ප්‍රාන්තීය සම්මානය ලබා ගන්නේ Bharathi Kannamma චිත්‍රපටය වෙනුවෙන්. මෙතරම් දක්ෂයෙකු වුණත් R.Parthipen ගැන මෑතකාලීනව රසිකයින් කතාබහ කළේ බොහොම අඩුවෙන්. හැබැයි Oththa Seruppu Size 7 චිත්‍රපටියත් සමඟ නැවත ඔහු ගැන කතාබහක්ඉ ඇතිව තිබුනා.
ඉන්දියානු සිනමාවේ Bigg Boss Amithabh Bachchanගේ පුත්‍රයා වන Abishek Bachchan මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන බවට තොරතුරු වාර්තා වනවා. මේ චිත්‍රපටය වගේම චරිතයත් යම් අභියෝගාත්මක ස්වරූපයක් ගන්නා නිසා අභිෂේක්ගේ වෙනස්ම රංගනයක් දැකගත හැකිවේවි කියල ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වනවා. මුල් නිර්මාණය වගේම මෙයත් අධ්‍යක්ෂණය කරන්නට යන්නේ R.Parthipen විසින්මයි. පසුගියදා චෙන්නායි හිදී මෙහි ගිවිසුම්ගත වීම සිදු කර තිබෙනවා. කෙසේ නමුත්, අභිෂේක්ගේ රංගනයට පෙර මේ චරිතය සඳහා Nawazuddin Siddiquiව තෝරාගෙන තිබුණත් යම් යම් හේතූන් කිහිපයක් නිසා ඔහු එයින් ඉවත් වී තිබෙනවා. මුල් සිනමාපටයේ තාක්ෂණික ශිල්පීන් පිරිස මේ නිර්මාණයටත් එක්වන බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. මුල් දමිළ නිර්මාණයේ සංස්කරණ කටයුතු සිදු කළ R.Sudharsan සහ කැමරා අධ්‍යක්ෂක Ramji යන දෙදෙනාම පාර්තිපන් සමඟ මේ හින්දි ප්‍රතිනිර්මාණයටත් එකතු වන බවයි ඔවුන් වාර්තා කරන්නේ. සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් 2022 වර්ෂය මැද භාගයේදී Direct OTT Platform එකක් ඔස්සේ මේ සිනමාපටය මුදා හරින්නටත් ඔවුන් සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
67වන ජාතික සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ ඇගයුමක් ඇතුළු ජාතික සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ Oththa Seruppu Size 7ට Abhishek Bachchan සාධාරණයක් ඉටු කරාවිද? මුල් චිත්‍රපටය සේම විශිෂ්ට නිර්මාණයක් බිහි කරන්නට අධ්‍යක්ෂක Parthipen සමත් වේද? ඒවාට පිළිතුරු සපයන්න තවමත් කල් වැඩියි…

Parthiban to direct Abhishek Bachchan in Oththa Seruppu remake