Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

පොදු රාජ්‍ය මණ්ඩලයීය සිනමා උළෙල

$
0
0

නොවැම්බර් මස 12 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නිමිති කොට ගෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සිනමා උළෙලක් නොවැම්බර් මස 05 සිට 12 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. එය සංවිධානය කරනු ලබන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමාජ වැඩ සටහන් පිළිබඳ අනුකමිටුව, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය සහ ජාතික චිත්‍රපට සංස්ථාවයි. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 17 ක් මෙම උළෙල සඳහා සහභාගිවේ. ඕස්ට්‍රේලියාව, බාමාස්, බංග්ලා දේශය, ඉන්දියාව, කෙන්යාව, ලෙසෝතෝ, මැලේසියාව, මාල දිවයින, නවසීලන්තය, පාකිස්ථානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, එක්සත් රාජධානිය සහ සැම්බියාව එම රටවල් වේ. නොවැම්බර් මස 05 වැනිදා පස්වරු 5.00 ට සිනමා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර එය ආරාධිතයන්ට පමණක් සීමා වේ. සමාරම්භක චිත්‍රපටය වන්නේ ප්‍රියංකර විතානාච්චි අධ්‍යක්ෂණය කරන ලද ‘සැමීගේ කතාව’ය. මෙම සමාරම්භක උළෙලේ ආරාධිතයන්ට පමණක් සීමා වන බැවින් එම චිත්‍රපටය නැවත වරක් නොවැම්බර් මස 12 වැනිදා තිරගත කෙරේ.

නොවැම්බර් මස 06 සිට 12 දක්වා දිනකට දර්ශන වාර දෙකක් පස්වරු 3.30 ට සහ 6.30 ට පැවැත්වෙන අතර එය ප්‍රවේශ පත්‍ර අලෙවියකින් තොරව මහජනතාව සඳහා විවෘතය.

ඕස්ට්‍රේලියාව නියෝජනය කරන්නේ කැත්‍රිනා මැකැන්සිගේ ‘සැටලයිට් බෝයි’ (Satellite Boy) කෘතියයි. එය මෙම වසරේ බර්ලින් සිනමා උළෙලේදී විශේෂ ගෞරව සඳහනක් ලබා ගන්නා ලදී. බහමාස් ඉදිරිපත් කර ඇති ‘වුමනිෂ් වේස්’ (Womanish Ways) දීර්ඝ වාර්තා චිත්‍රපටය මරියා ගොවාන් හා මේරියන් බෙතෙල් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර වාර්තා සිනමා උත්සව රැසක තිරගතව ඇත. එය 2013 වර්ෂයේ ඉන්දුනීසියාවේ පැවැති සාමය හා සමානාත්මතාවය පිළිබඳ වාර්තා චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලබා ඇත. බංග්ලා දේශය නියෝජනය කරන්නේ සංගීතාත්මක චිත්‍රපටයක් වන ‘ගේතු පුත්‍රෝ කොමෝලා’(Ghetu Putro Komola). හුමායුන් අහමඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටය සිනමා උත්සව රාශියකටම සහභාගි වී ඇති අතර 2013 වර්ෂයේ නේපාලයේ පැවැති මානව හිමිකම් පිළිබඳ තුන්වන අන්තර් ජාතික සිනමා උළෙලේ දී හොඳම සිනමා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර විය.

ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇත්තේ සත්‍යජිත් රායි ගේ ‘සොනාර් කෙල්ල’ (Sonar Kella) චිත්‍රපටයයි. විශිෂ්ට ළමා චිත්‍රපටයක් වශයෙන් සැලකෙන එය 1975 දී ටෙහෙරානයේ පැවැති 10 වන ළමා හා තරුණ සිනමා උළෙලේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය දිනා ඇති අතර, ඉන්දියානු ජනාධිපතිගේ රිදී පදක්කම ද, බටහිර බෙංගාල රජය මඟින් හොඳම චිත්‍රපටයට හා අධ්‍යක්ෂට හිමි සම්මානය ද 1974 දී දිනා ඇත. කෙන්යාව විසින් ඉදිරිපත් කර ඇති ‘නි සිසි’ (Ni Sisi)  නික් රෙඩිංග් ගේ අධ්‍යක්ෂණයකි. එය ඩර්බන් හා සන්සිබාර් සිනමා උත්සවයන්හි තිරගත වී ඇති අතර සන්සිබාර් උළෙලේදී සිග්නිස් සම්මානය දිනා ගන්නා ලදී. මැලේසියාව නියෝජනය කරන්නේ ඩේන් ඉස්කන්දාර් සායිඩ් ගේ ‘බුනෝහාන්’ (Bunohan) චිත්‍රපටයයි. එය ජගත් සිනමා උත්සව රාශියකටම සහභාගි වී ඇති අතර 2011 වර්ෂයේදී තායිපේ ගෝල්ඩන් හෝස් සිනමා උළෙලේදී හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනැමෙන නෙට්පැක් සම්මානය ද, ඉන්දුනීසියාවේ නෙට්පැක් – ජොග්ජා ආසියාතික සිනමා උළෙලේදී ස්වර්ණ සම්මානය ද, 2011 දී 25 වන මැලේසියානු සිනමා උළෙලේදී සම්මාන අටක් දිනා ඇත. මාල දිවයින විසින් ඉදිරිපත් කර ඇත්තේ ‘ඉන්සාෆ්’ (Insaff) නමැති යුසුෆ් සෆීයු විසින් අධ්‍යක්ෂණය කරන ලද කෘතියයි.

නිකී කරෝ අධ්‍යක්ෂණය කරන ලද ‘වේල් රයිඩර්’  (Whale Rider) නවසීලන්තය නියෝජනය කරයි. 2002 හා 2003 වර්ෂයන් හි ජගත් සිනමා උත්සව රාශියකම තිරගත වූ මෙම චිත්‍රපටයට 2003 සන්ඩාන්ස් සිනමා උළෙලේ ප්‍රේක්ෂක සම්මානය ද, රොටර්ඩෑම් සිනමා උළෙලේ කැනෑල් ප්ලස් සම්මානය ද, 2002 ටොරොන්ටෝ සිනමා උළෙලේ ප්‍රේක්ෂක සම්මානය ද, චිකාගෝ සිනමා උළෙලේ විචාරක සම්මානය ද ලබා ගෙන ඇත. පාකිස්ථානය විසින් ඉදිරිපත් කර ඇත්තේ මෙහ්රීන් ජබාර් අධ්‍යක්ෂණය කළ ‘රාම්චාන්ද් පකිස්ථානි’ (Ramchand Pakistani) චිත්‍රපටයයි. එය 2009 ෆ‍්‍රීබු සිනමා උළෙලේ ප්‍රේක්ෂක සම්මානය ද, එම උළෙලේදීම සාමයික ජූරියේ ගෞරව සඳහන ද, 2008 නවදිල්ලියේ ඔසියාන් සිනමා උළෙලේ දී ජගත් සිනමා විචාරකයන්ගේ සම්මේලනය මඟින් පිරිනමන ලද ෆිප්රෙස්කි සම්මානය ද දිනාගෙන ඇත. සිංගප්පූරුව නියෝජනය කරන්නේ ‘සෑන්ඩ් කාසල්’ (Sand Castle) කෘතියයි. මෑතකදී සිංගප්පූරුවෙන් බිහි වූ විශිෂ්ට කෘතියක් වන එය කාන්, ටොරොන්ටෝ, ලන්ඩන්, හොංකොං යන ජගත් සිනමා උත්සවයන්හි තිරගත කර ඇති අතර 2010 පැවැති 1 වන වියට්නාම් සිනමා උළෙලේදී හොඳම ආසියාතික චිත්‍රපටය ලෙස නෙට්පැක් සම්මානය ලබා ගන්නා ලදී. දකුණු අප්‍රිකාව විසින් ඉදිරිපත් කර ඇත්තේ හෙන්ක් ප්‍රෙටෝරියස්ගේ ‘ෆැනී ෆවුරිස් ලොබෝලා’ (Fanie Fourie’s Lobola).

එය 2013 සියැට්ල් ජගත් සිනමා උළෙලේදී ගෝල්ඩන් ස්පේස් නීඩ්ල් සම්මානය දිනා ගෙන ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ප්‍රියංකර විතානාච්චි ගේ ‘සැමීගේ කතාව’ය. එහි ප්‍රධාන චරිතය රඟපෑ ජගත් චමිල 2013 නිව්යෝර්ක් සිටි ජගත් සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගත්තේය. කිමෙලා බිල්ලා නිර්මාණය කළ ‘චුන්ගු’ (Chungu)  චිත්‍රපටය ටැන්සානියාව විසින් ඉදිරිපත් කර ඇත. එය 2012 වර්ෂයේ සන්සිබාර් ජගත් සිනමා උළෙලේදී හොඳම ටැන්සානියානු චිත්‍රපටයට පිරිනැමෙන සම්මානය දිනාගෙන ඇත. එක්සත් රාජධානිය නියෝජනය කරන්නේ ස්කොට් ග්‍රැහැම් ගේ ‘ෂෙල්’ (Shell) නමැති කෘතියයි. එය 2012 වර්ෂයේදී ටොරිනෝ සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස ද, බ්‍රසල්ස් සිනමා උළෙලේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටයට පිරිනැමෙන සම්මානය ද, ග්ලස්ගෝ සිනමා උළෙලේදී ෆෙඩෙක්ස් සිනෙෆිල් සම්මානය ද ලබාගෙන ඇත. ලෙසෝතෝ, සී ෂෙල්ස් සහ සැම්බියා යන රටවල් විසින් ඉදිරිපත්කර ඇත්තේ සංචාරක ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කර ඇති වාර්තා චිත්‍රපට කීපයකි. මෙම සිනමා උළෙලේ සුවිශේෂත්වය වන්නේ මෙරට කිසිදු සිනමා උත්සවයකට ඉදිරිපත් නොවූ අප්‍රිකානු රටවල කෘතීන් ප්‍රථම වරට මෙරට ප්‍රේක්ෂකයන් හමුවට ඉදිරිපත් වීමත්, අද විශිෂ්ට සිනමා කෘති බිහි වන නවසීලන්තය, සිංගප්පූරුව, බංග්ලා දේශය හා මැලේසියාව යන ආසියා – පැසිපික් රටවල චිත්‍රපට නැරැඹීමට විරල අවස්ථාවක් ලැබීමත්ය.

 

sarasaviya – ඈෂ්ලි රත්නවිභූෂණ

1454777_686750271337952_1372307812_n

Share

The post පොදු රාජ්‍ය මණ්ඩලයීය සිනමා උළෙල appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>