
සංජීව පුෂ්පකුමාර මෙරට සිනමාව තුළ බොහෝ අවස්ථාවන් හිදී කතාබහට ලක් වූ අධ්‍යක්ෂකවරයෙක්… සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” සිනමාපටය පසුගිය සමයේදී මෙරට ආන්දෝලනාත්මක සංවාදයක් ඇති කළ අතර ඉදිරියේදී නිකුත් වීමට නියමිත “ආසු” චිත්‍රපටය නිසා ද මේ දිනවල ඔහු පිළිබඳ නැවතත් සාකච්ඡා වනවා. මේ වනවිට දිගු-වෘතාන්ත නිර්මාණ පහකට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර තිබුණත්, සංජීවගේ පළමු චිත්‍රපටය වන “ඉගිල්ලෙන මාලුවෝ” හෙවත් Flying Fish තවමත් මෙරට තිරගත වූයේ නැහැ.
2011 වසරේදී නෙදර්ලන්තයේ Rotterdam සිනමා උළෙලින් අන්තර්ජාතික ප්‍රදර්ශනය ඇරඹි ඉගිල්ලෙන මාලුවෝ සිනමාපටය සමස්ත උළෙල 30කට අධික සංඛ්‍යාවකදී තිරගත වූ නිර්මාණයක්. චිත්‍රපටයේ මෙරට සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණද, ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම මත එහි ප්‍රදර්ශනය තහනම් වුනා.
එතැන් පටන් වසර ගණනාවක් ගත වී තිබුණත්, අද වනතුරුත් ලාංකීය ප්‍රේක්ෂකයින්ට ඉගිල්ලෙන මාලුවෝ නැරඹීම සඳහා අවස්ථාවක් උදා වුණේ නැහැ. නමුත් මේ වර්ෂයේ නුදුරු දිනකදීම දිවයින පුරා සිනමාශාලාවලදී සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාලුවෝ තිරගත කිරීමට සූදානම් බව අධ්‍යක්ෂකවරයා විසින්ම පසුගියදා පවසා සිටියා. එහි විශේෂ දර්ශනයක් අද (පෙබරවාරි 17) වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම සිනමාශාලා ප්‍රදර්ශනයට සමගාමීව චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටයක් ද අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.
සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ පළමු දිගු-වෘතාන්ත නිර්මාණය වන මෙය anthology ශානරයට අයත් සිංහල චිත්‍රපටයක්. නිෂ්පාදනය සිදුව තිබෙන්නේ රොට’ඩෑම් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ Hubert Bals Fund හි ප්‍රධාන මූල්‍යමය අනුග්‍රහයෙන් බවත් සඳහන් වනවා.
ත්‍රිකුණාමලයේ මායිම් ගම්මානයක ජීවත් වූ සමයේදී තමන් දකින්නට, විඳින්නට ලැබුණු අත්දැකීම් ඇසුරෙන් ඉගිල්ලෙන මාලුවෝ නිර්මාණය කළ බවයි අධ්‍යක්ෂකවරයා විසින් වරෙක පවසන්නේ. ඇවිලෙන සුලුයි (2020) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන චින්තන ධර්මදාස ද, සංජීව පුෂ්පකුමාර සමගින් මෙහි තිර පිටපත රචනයට එක්ව තිබෙනවා.
මෙරට යුධ පරිසරය පාදක කරගත් මේ anthology චිත්‍රපටය ගොඩනැඟී තිබෙන්නේ සිවිල් යුධ සමයේදී වේදනකාරී අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදුවූ තරුණ පුද්ගලයින් තිදෙනෙකු මුල් කරගෙනයි.
– වාසනා සහ සොල්දාදුවා
– පුත්‍රයා සහ මව
– දමිළ තරුණිය
Flying Fish හරහා ඔවුන් තිදෙනාගේ ජීවිත අත්දැකීම් උප කතා (segments) තුනක් ඔස්සේ දැකගන්න ලැබෙනවා. නමුත් චිත්‍රපටය අවසාන දර්ශනය වනවිට, එකිනෙකට වෙනස් ඒ segments ත්‍රිත්වයම එකම කාල රාමුවකට ගොනු කර ගැනීමට ත් අධ්‍යක්ෂකවරයා සමත් වනවා.
ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටයේ අවසාන සංස්කරණයට පෙර පිටපතක් නීතිවිරෝධී ආකාරයට අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ සමාජයේ විශාල කතාබහක් මේ වටා ඇතිවුනා. අධ්‍යක්ෂකවරයාටත් එහි රඟපෑ රංගන ශිල්පීන්ටත් සිවිල් සමාජයේ විශාල ආන්දෝලනයකට ලක් වෙන්නට සිදු වුනා. එදා ඒ සිදුවීම පිළිබඳව අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර අද දැක්වූයේ මෙවැනි අදහසක්…
“අපි දන්නෑ කාගෙන්ද ඒ චිත්‍රපටය එළියට ගියෙ කියලා. ඒ ගියෙත් රෆ් කට් එකක් මිසක් ඔරිජිනල් ෆිල්ම් එක නෙමෙයි.මන් බලාපොරොත්තු වෙනවා flying fish ඔරිජිනල් පිටපත රිලීස් කරන්න ළගදිම!
මේ චිත්‍රපටියේ unedited version එකක් තමයි එළියට ගියේ. ඒක නිසා සම්පත් ජයවීර, ගයේෂා පෙරේරාට කෞෂල්‍යා ප්‍රනාන්දුට ලැබෙන්න ඕනෙ ගෞරවය නෙමෙයි ලැබුනේ. ඒක අපේ සමාජයේ තියෙන රූප ශාක්ෂරතාවයේ දිළිඳුකම පිළිබඳ ප්‍රශ්නයක්. “
“කවුරුත් චිත්‍රපටිය ගැන නෙමෙයි කතා කළේ, එක දර්ශනයක් ගැන විතරයි. ඉතින් ඒ දර්ශනය ගැන විතරක් කතා කරපු කට්ටියට චිත්‍රපටිය නරඹන්න අවස්ථාවක් මන් ළඟදිම හදලා දෙනවා.
මන් දැන් ඔරිජිනල් පිටපත නිකුත් කරන්න අවශ්‍ය පසුබිම හදලයි තියන්නේ… ”
2011 St. Pertersburg International Film Festival හි හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය, 4th Bengaluru International Film Festival හි හොඳම ආසියානු සිනමාපටයට හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක් දිනා ගන්නටත් ඉගිල්ලෙන මාලුවෝ සිනමාපටය සමත් වුනා.
කෞෂල්‍යා ප්‍රනාන්දු, ගයේෂා පෙරේරා, චමින්ද සම්පත් ජයවීර, සිත්ති මාරියම්, නිලන්ක දහනායක, රත්නායක මාරසිංහ, සුමති සිවමෝහන්, සංජීව දිසානායක, තිස්ස බණ්ඩාරනායක සහ මොහොමඩ් අලී රජබ්දීන් වැනි ශිල්පීන් බොහෝ දෙනෙකු මීට රංගනයෙන් සම්බන්ධව තිබෙනවා. විශ්වජිත් කරුණාරත්න විසින් කැමරාකරණය හසුරුවා තිබෙන Flying Fish සිනමාපටයේ සංස්කරණය අජිත් රාමනායක විසිනි. සංජීවගේ සිනමාපට සියල්ලම පාහේ අජිත් රාමනායකගේ සංස්කරණයෙන් හැඩ වී තිබීම තවත් විශේෂත්වයක්! මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්බන්ධ වී තිබෙන්නේ තරිඳු ප්‍රියංකර ද සිල්වායි.
මෙම සිනමා නිර්මාණය සඳහා සම්බන්ධ වූ තාක්ෂණික ශිල්පීන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.
ඉගිල්ලෙන මාලුවෝ AKA Flying Fish
අධ්‍යක්ෂණය – සංජීව පුෂ්පකුමාර
කතාව – සංජීව පුෂ්පකුමාර
දෙබස් සහ තිර පිටපත – සංජීව පුෂ්පකුමාර, චින්තන ධර්මදාස
නිෂ්පාදනය – සංජීව පුෂ්පකුමාර
විධායක සංස්කරණය – රවින්ද්‍ර ගුරුගේ
සංස්කරණය – අජිත් රාමනායක
කැමරා අධ්‍යක්ෂණය – විශ්වජිත් කරුණාරත්න
සංගීතය – තරිඳු ප්‍රියංකර ද සිල්වා
ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කලුආරච්චි
විධායක නිෂ්පාදනය – චන්දන අලුත්ගේ
නිෂ්පාදන කළමනාකරණය – දීපාල් ගුණරත්න, හැරල්ඩ් කරුණාතිලක
වේෂ නිරූපණය – ප්‍රියන්තර සිරිකුමාර
කලා අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සැලසුම්කරණය – බිමල් දුෂ්මන්ත
පළමු සහාය අධ්‍යක්ෂණය – අරුණ තිලකරත්න, ලක්රුවන් විතානගේ
දෙවන සහාය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත මල්හාමිආරච්චි
තෙවන සහාය අධ්‍යක්ෂණය – සසංක ඉඳුනිල්
නිශ්චල ඡායාරූප – ඉසුරු වීරක්කොඩි
පරිගණක චිත්‍රක – ජයන්ත් ධර්මවර්ධන