
බොලිවුඩයට අමරණීය ගීත ගණනාවක් දායාද කළ ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පියෙකු වූ Krishnakumar Kunnath පසුගිය මැයි 31 වනදා අවාසනාවන්ත ලෙස මරණයට පත් වුනා. සිනමාව සහ ගායන ක්ෂේත්‍රය තුළ “KK” යන නමින් අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු, කොල්කටා හිදී පැවැත්වූ සංගීත සංදර්ශනයකින් අනතුරුවයි මෙලෙස හදිසියේ මිය ගොස් තිබෙන්නේ. ක්ෂණික හදෘයාබාධයක් නිසා මෙම තත්වය ඇතිවූ බවට මරණ පරීක්ෂණයෙන් හෙලිව තිබෙන අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක්.
පසුගිය මැයි 31 වනදා ඔහු දකුණු කොල්කටාවට පැමිණ තිබුනේ එහි උසස් පාසලක පැවැත්වූ සංගීත සංදර්ශනයකට සහභාගී වීම සඳහායි. Nazrul Mancha නැමැති ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ එම සංගීත සංදර්ශනයෙන් අනතුරුව ඔහු නවාතැන් ගෙන තිබූ ලැගුම්හල වෙත නැවත යන අතරතුරේදී යි මෙම ක්ෂණික හදෘයාබාධය ඇතිව තිබෙන්නේ. ඒත් සමඟම, ඔහුව රෝහල වෙත රැගෙන ගියත් වෛද්‍යවරුන්ට KKගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. උසස් පාසල් සිසුන්ගෙන් පිරී ඉතිරී තිබුණු එම සංගීත සංදර්ශනයට සහභාගී වූ මොහොතේදී පවා KK යම් අසනීප තත්වයකින් පසු වූ බවක් අන්තර්ජාලයේ සඳහන් වනවා. නමුත් සිය සංදර්ශනය අවසන් කිරීමට අවශ්‍ය නිසා ඔහු එය එතරම් සැලකිල්ලට ගෙන නැහැ. අන්තර්ජාලයට නිකුත් වී තිබෙන ඇතැම් වීඩියෝපටවල පවා ඔහු යම් අපහසුතාවයකින් සිටින බවක් දැකගන්නට හැකියාව තිබෙනවා.
රෝහලට රැගෙන යන විටත් KK ජීවිතය හැර ගොස් තිබූ බව මාධ්‍ය පවසනවා. එදිනට පසුවදාම (ජුනි 01) කොල්කටා පොලිස් දෙපාර්තුමේන්තුව විසින් මෙම හදිසි මරණයට හේතුව සොයා පරීක්ෂණයක් ආරම්භ කළ නමුත්, අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් මෙය ස්වභාවික මරණයක් බවට තහවුරු වී තිබෙන බවයි සැලවන්නේ. මැයි 31 වනදා රාත්‍රියේදී වූ මෙම අවාසනාවන්ත සිද්ධිය ආරංචි වූ වහාම අමාත්‍ය Aroop Biswas කොල්කටා හි පිහිටි එම රෝහල වෙත ගොස් තිබෙන අතර ඔහුගේ අනුමැතිය මත KKගේ පවුලේ සාමාජිකයින්වත් ඉක්මනින් කොල්කටාවට ගෙන්වා තිබෙනවා.
1968 වසරේ මලයාලම් පවුලකට දාව ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයේදී උපත ලැබූ Krishnakumar Kunnath හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි ආදී භාෂා ගණනාවක ගීත දහස් ගණනකට කටහඬ මුසු කළ ගායන ශිල්පියෙක්. ගුවන්විදුලි දැන්වීම් ආදියට සම්බන්ධ වෙමින් සිය වෘත්තිය ආරම්භ කළ ඔහු සිනමා කර්මාන්තයට අවතීරණ වූයේ 1990 දශකයේ චිත්‍රපට-පසුබිම් ගායකයෙකු වශයෙනුයි. ඒ Vishal Bharadwaj විසින් සංගීතවත් කළ Maachis (1996) චිත්‍රපටයේ “Chhod AayeHum Woh Galiyan” නැමැති හින්දි ගීතය ගායනා කරමින්…
1999දී Pal නමින් සිය පළමු ඇල්බමය නිකුත් කළ ඔහු එක් රැයින් ඉන්දියාව පුරා පාසල් සිසුන් අතර ප්‍රසිද්ධියට පත් වූ බව සඳහන්. ඒ ඔහුගේ පළමු ඇල්බමයේ ඇතුළත් ගීත ද්විත්වයක් එකල උතුරු ඉන්දියාවේ පාසල් සිසුන් අතරෙ හි උන්මාදයක් මෙන් ජනප්‍රිය වූ නිසායි. එමෙන්ම 1999 වසරේදීම Hum Dil De Chuke Sanam හින්දි චිත්‍රපටය වෙනුවෙන් ඔහු ගායනා කළ Tadap Tadap Ke Is Dil Se, එකල බොහෝ දෙනෙකුගේ මුවේ රැදුණු අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත් වුනා. මෙවැනි හේතූන් නිසා 1999 සහ 2000 දශකය මුල් භාගය වනවිට බොලිවුඩයේ දැවැන්තම පසුබිම් ගායන ශිල්පීන් කිහිප දෙනා අතරට එකතු වන්නටත් KKට හැකියාව ලැබුනා.
Tadap Tadap Ke, Dus Bahane, Tune Maari Entriyaan, Dola Re Dola, Khuda Jaane සහ Ankhon Mein Teri වැනි ගීත ඔහුගේ ගායන ජීවිතයේ සදා අමරණීය නිර්මාණ අතුරින් කිහිපයක්…
2008 වසරේදී “Humsafar” නමින් සිය දෙවන ගීත ඇල්බමයත් නිකුත් කළ KK, රියැලිටි ගීත ගායනා තරඟ බොහෝමයක විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් සහභාගී වූවා. ශාරුක් ඛාන්, ඉම්රාන් හෂ්මි, සල්මන් ඛාන්, රන්බීර් කපූර් වැනි බොලිවුඩයේ දැවැන්තමයින් වෙනුවෙන් සිය කටහඬ එක් කළ ඔහු භාෂා දහයකට වැඩි ප්‍රමාණයකින් ගායනා කර තිබෙන jingles ප්‍රමාණය 3500කට අධිකයි. Om Shanthi Om, Jannat, Gangster, Devdas, Jism, Doom, Kites, Aashiqui 02, Das වැනි අතිශය ජනප්‍රිය නිර්මාණ රාශියක් ඔහුගේ අපූර්ව කටහඬින් සංගීතවත් වුනා.
මෙම අසහාය ගායන ශිල්පියාගේ වියෝවත් සමඟ මුලු ඉන්දියානු සිනමා කර්මාන්තයම කණගාටුවට පත්ව තිබෙන අතර හින්දි සිනමාවේදීන්ට පමණක් සීමා නොවී, ඉන්දියාවේ සෙසු ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍ර තුළ සිටින රංගන ශිල්පීන්/අධ්‍යක්ෂකවරුන්/ගායකයින් සිය ගණනක් ඔහු වෙනුවෙන් ශෝකය පළ කර තිබෙනවා. පසුගිය 02 වනදා පැවති ඔහුගේ අවමංගල්‍ය උත්සවයටත් සිනමා තරු බොහෝමයක් සහභාගී වී සිටි අයුරු දැකගන්නට ලැබුනා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා KK වෙනුවෙන් සිය කණගාටුව පළ කරමින් twitter පණිවුඩයක් නිකුත් කළා.
“ Saddened by the untimely demise of noted singer Krishnakumar Kunnath popularly known as KK. His songs reflected a wide range of emotions as struck a chord with people of all age groups. We will always remember him through his songs. Condolences to his family and fans. Om Shanti. “
KKගේ සදා අනුස්මරණීය ගායනයෙන් හැඩ වූ ඔහුගේ අවසාන ගීතය ඉදිරියේදී නිකුත් වීමට නියමිත, සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය රඟපාන Tiger 03 හින්දි සිනමාපටය තුළින් අසන්නට අවස්ථාව ලැබෙනු ඇත..!
KK, ඔබට සුබ ගමන්…