Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

රන්ජන් ඇතුලේ ඉද්දීම අපි චිත්‍රපටය පෙන්වනවා –සුරංග ද අල්විස්

$
0
0

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග අල්විස්ගේ නවතම සිනමාපටය The Game තිරගත වීම ජුනි මස 17වනදා සිට. LFD මණ්ඩලය CEL මණ්ඩලය සහ Scope සිනමා කියන කණ්ඩායම් තුනම එකතුවෙලා තමයි  චිත්‍රපටය බෙදා හැරීම සිද්ධ වෙන්නේ.  The Game හි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රන්ජන් රාමනායක. නමුත් රන්ජන් තවම සිටින්නේ  සිරගතව. ප්‍රධාන නළුවා සිරගතව සිටියදීම The Game චිත්‍රපටය තිරගත කිරීමට අධ්‍යක්ෂක සුරංග ද අල්විස් ඇතුළු කණ්ඩායම සුදානම් වනවා.

The Game හි අධ්‍යක්ෂක සුරංග ද අල්විස් සමග සිනමා නිර්මාණය ගැන තොරතුරු  කතාබහකට අප එක්වුනා.

මේ මගේ පස්වෙනි සිනමා නිර්මාණය. රජහොරු, මයිනේම් ඉස් බන්දු, හොරා පොලිස්, කිඩ්නැප් සහ ද ගේම්. කිඩ්නැප් චිත්‍රපටය තවම ප්‍රදර්ශනය කරගන්න බැරි වුණා. ඒක ප්‍රදර්ශනය වෙන්න තිබ්බේ කොවිඩ් කාලේ. නමුත් වත්මන් රටේ පවතින තත්වය සහ ප්‍රධාන භූමිකාවට පණ පොවන රන්ජන් අයියා ඇති කරගත්තා වූ ප්‍රශ්න කන්දරාව නිසා කිඩ්නැප් එකට කලින් ගේම් එක ඉස්සර වුණා. රන්ජන් අයියම යෝජනා කළා මිනිස්සු “මේ වෙලාවේ ඉන්න පීඩනයෙන් මිදෙන්න මේක බලන්න සලස්වන්න. ඒ නිසා මල්ලි පුළුවන් තරම් ඉක්මනට මේක රිලීස් කරන්න” කියලා.

අභෝයෝග කියන දේ මම හැමදාම ගත්ත කෙනෙක්. මගේ පලවෙනි චිත්‍රපටය රජහොරු රිලීස් කරද්දී මට තිබ්බ අභියෝගය තමයි දෙපැත්තේ දුවපු අනික් චිත්‍රපට එක්ක  මට ෆයිට් කරන්න පුළුවන් වෙයිද කියන එක. එක චිත්‍රපටයක් මට මතක නැහැ අනිත් පැත්තෙන් හිටියේ ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය. මගේ දෙවන චිත්‍රපටය එන්නෙත් ඒ වගේම අභියෝගයක් මැද ඒ එන්නේ ජැක්සන් ඇන්තනිගේ ඇඩ්රස් නෑ සහ ගිරිරාජ් කෞශල්‍යගේ සුහද කොකා. අවසානයේ කොහොම හරි එවක ආදායම් අතින් මයිනේම් ඉස් බන්දු දෙවැනි තැනට ආවා. තුන්වෙනි පාර හොරා පොලිස් කරද්දී ත් මට ලැබුණේ ඒ වගේ ප්‍රභල චිත්‍රපට 2ක්. එකක් ප්‍රියන්ත අයියගේ ආදරණිය කතාවක් අනික් පැත්තෙන් සුනිල් සර්ගේ පත්තිනි චිත්‍රපටය. මේ සැරේ මට ඇවිත් තියෙන්නේ වෙනස්ම අභියෝගයක්. මගෙ වටේ චිත්‍රපට නැහැ. නමුත් සමාජය ඇතුලේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න කිහිපයක් තියෙනවා. නමුත් මම අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ ශාලාහිමියෙක් විදියට පසුගිය දින කිහිපයම තමයි මගේ සිනමාශාලාවේ වැඩිම ආදායම් ලැබුවේ. ඒ කියන්නේ අවුරුදු තුනකට පස්සේ සියලුම දර්ශන හවුස් ෆුල් වුණා. කොහොම නමුත් මම හිතනවා ප්‍රශ්න වලම ඉන්න වෙලාවක මිනිසුන්ගේ මනසට සහනයක් ගන්න හරි චිත්‍රපටය බලයි කියලා. හැබැයි මේක ලොකු අවදානමක් තියෙන වෙලාවක්. නමුත් මගේ පුරුද්දක් තමයි ඕනෙම අභියෝගයක් භාර ගැනීම. ඒ වගේම මගේ නිෂ්පාදකතුමා ඉන්නෙත් මේ වෙලාවේ මේ චිත්‍රපටය මුදාහරිමු කියන තැන. ඒ වගේම එක කරුණක් මිනිසුන්ගේ මනසට සහනයක් දෙන්න අපි චිත්‍රපටය මුදාහරිනවා. අනික්   කාරණාව අවස්ථාවාදී තීරණයක්. ඒ තමයි රන්ජන් අයියා ඇතුලේ ඉන්න නිසා අපි මේ වෙලාවේ මුදාහරිනවා. ඒකට පුර්ණ ආශිර්වාදය සහ අවසරය රන්ජන් අයියාගෙන් තියෙනවා.

මොකද මම හිතන්නේ නැහැ මේ තියෙන තත්වය එක්ක වත්මන් රජයට වෙලා තියෙන දේත් එක්ක කිසිසේත් රන්ජන්ව එළියට දායි කියලා. හැබැයි ඔහුට තියෙන්නේ තව හයමාසයකට වඩා අඩු කාලයක්. මම ඒ නිසා ඔහුට කිව්වා ඔය හයමාසේ ඉවසගෙන ඉඳලා එන්න අයියේ කියලා. එතකොට සිංහයෙක් වගේ එන්න පුළුවන් කියලා. එතකොට කිව්වේ නම්.. “තෝ නම් කියයි, ඒ හයමාසෙ හරි ඉන්න ඕනේ මමනේ” කියලා.

රංගන ශිල්පියෙක්ගේ එකම බලාපොරොත්තුව තමන් රඟපෑ චිත්‍රපටයක් සියැසින් රිදී තිරයේ දැකීම. අපි දන්නවා ඒ මොහොතක නළුවා හෝ නිළිය කොතරම් සතුටු වෙනවද කියා. මම රන්ජන් රාමනායකව පුද්ගලිකව දන්නවා. ඔහු නිර්මාණයක් වෙනුවෙන් කැපවන විදිය, ඔහු නිර්මාණයක් කළාම ඒකට දෙන වදය මම දන්නවා. එතකොට මේ චිත්‍රපටය ගැන සමාජ මාධ්‍යය තුළ යද්දී ඔහුගේ හිත ඇතුලේ කැකෑරෙන දේ මට තේරෙනවා. ඒ නිසා අවංකව අපි උත්සහයක් දරනවා මංගල දර්ශනයට ඔහුව ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන මාර්ගය හදාගන්න. එහෙම බැරි වුණොත් අපි උත්සහ කරනවා බන්ධනාගාරයට ගිහිල්ලා හරි ලොකු ප්‍රොජෙක්ටර් එකක සිරමැදිරියේ ඉන්න සිරකරුවන් එක්ක චිත්‍රපටය රසවිඳින්න හරි අවස්ථාවක් දෙන්න. අපි කණගාටු වෙනවා කලාකරුවෙක්ට මේ කළ දේට” සුරංග වැඩිදුරටත් පවසනවා.

තව අතකින් මම පුරුවේ පිනක් කරලා තියෙනවා, මේ වෙලාවේ එයා ඇතුලේ ඉන්නත්. හැබැයි රන්ජන්ට නොදැවෙනි වදයක් ජනිත් වික්‍රමගෙන් මේ වෙලාවේ ලැබෙනවා. මම වැඩ කරලා තියෙනවා නළුවන් කිහිප දෙනෙක් එක්ක. තමන් රඟපෑ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙලා අවසන් වෙනකම් මේ තරම් වද දෙන නළුවෝ මම දැකලා නැහැ. රන්ජන් අයියාව ආශ්‍රය කරන්න මිනිහෙක් පිං කරලා තියෙන්න ඕනේ. එයා සෙට් එකට ආවට පස්සේ හැම කෙනෙක් එක්කම සුදහව ආදරෙන් ඉන්න චරිතයක්. ශුටින් බලන්න 150ක් විතර පුරවපු බස් එකක් ආවත් ඒ හැමෝම එක්කම වචනයක් හරි කතා කරලා සෙල්ෆියකුත් ගන්න කෙනෙක්. එයා ජීවිතේට මිනිහෙක් තරහ කර ගන්නේ නැහැ. කරන්නේ එයාගේ ජීවිතේට මිනිහෙක් එකතු කර ගන්න එක.

මගේ නිර්මාණ වල තිබ්බේ සරල රසවින්දනයක්. ඒක වෙනස් වෙන චිත්‍රපටය තමයි මගේ කිඩ්නැප් චිත්‍රපටය. හැබැයි දෛවයේ සරදමට ඒ චිත්‍රපටය තිරගත කරන්න දෙන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට චිත්‍රපටයක් කරන්නේ මගේ ඔලුවේ අමාරුවට නෙවෙයි. මට හිතෙනවා ප්‍රේක්ෂකයා මේක වැළඳ ගනී කියලා. ගොඩක් අධ්‍යක්ෂවරු කරන්නේ තමන්ට ඕනේ දේ ප්‍රේක්ෂකයින් බලන්න ඕනේ කියලනේ. මගේ එහෙම එකක් නැහැ. නැත්නම් මටත් පුළුවන්නේ පට්ට සම්භාව්‍ය පිටරට ෆෙස්ටිවල් වලට පෙන්වන්න වැඩක් කරන්න. නමුත් එහෙම එකක් කරන්න මට හිතෙන්නේ නැහැ. මගේ ඇඟේ තියෙන්නේ බයිස්කෝප් කියන එක. මමයි රජා, රජ වැඩකාරයෝ,නොම්බර 17 වගේ බොක්ස් ඔෆිස් ෆිල්ම් දැකපු, ඒවායේ මංගල දර්ශන වලට ගියපු, ඒ ආතල් එක අපේ කන්වල තාම දෝංකාර දෙනවා. එතකොට දැන් ඒක දෙමළ සිනමාව ගන්නවා. ලංකාවේ සිංහල සිනමාවේ දැන් එහෙම එකක් නැහැ. ඉතින් මම හැමවෙලාවේම හිතන්නේ රසිකයෝ වෙනුවෙන් යමක් දුනොත් ඒ අය එයි. බලපු අය කියයි මාරු පික්චර් එකක් කියලා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒ නිසා මම හිතනවා මේ සැරේ චිත්‍රපටය නිසාත්, රන්ජන් රාමනායක නිසාත්, මේ චිත්‍රපටය බහුතරයක් නරඹයි කියලා.

සටහන : අනුෂා රණසිංහ

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>