Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

සැප්තැම්බර් මාසයට තවත් සිංහල සිනමාපටයක්: ‘හිතුමතේ ජීවිතේ’

$
0
0

දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිත නිරූපණය කරන “හිතුමතේ ජීවිතේ” ලාංකීය චිත්‍රපටය නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට මුදා හැරීමට නියමිතයි. ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ මෙය, සිනමා රසිකයින් බොහොම බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක්. එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වන “හිතුමතේ ජීවිතේ” සිනමාපටය, EAP මණ්ඩලය ඇතුළු මෙරට සිනමා හල් 50කට ආසන්න ප්‍රමාණයකදී නැරඹීමට අවස්ථාව තිබෙනවා.

මෑතකාලීන ලාංකීය ඉතිහාසය තුළ සිදු වූවා යැයි සැලකෙන අභාග්‍යසම්පන්න සිදුවීමක් ආශ්‍රය කරගෙන උදේනි සමන් කුමාර විසින් රචිත “හිතුමතේ ජීවිතේ” නැමැති ග්‍රන්ථය පාදක කරගෙන මෙම සිනමාපටයේ තිර පිටපත රචනා කර තිබෙනවා. කළුතර ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වූ දුප්පත් තරුණියක දූෂණය කර – මරා දැමූ ඝාතකයින් පිරිසක් සහ ඔවුන් වටා හඹා යන එම තරුණියගේ සොහොයුරා අතර සිදු වන සිද්ධි දාමයක් ඇසුරින් සිනමාපටය ගොඩනැගී තිබෙනවා.

2019 වර්ෂයේදී වැඩ නිම කළ හිතුමතේ ජීවිතේ සිනමාපටය මීට මාස කිහිපයකට පෙර තිරගත කරන්නට සැලසුම් කර තිබුනද, කෝවිඩ් වසංගතය සහ තවත් හේතු නිසා එහි ප්‍රදර්ශනය කල් ගියා. කෙසේ නමුත් එළඹෙන සැප්තැම්බරයේ සිට “හිතුමතේ ජීවිතේ” නැරඹීමට රසිකයින්ට අවස්ථාව හිමිව තිබෙනවා. 

මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන ‘හිතුමතේ ජීවිතේ’ හෙවත් සුමතිපාල‍ගේ චරිතය නිරූපණය කරන්නේ දිනෙත් ද සිල්වා විසිනුයි. වර්තමාන ලාංකීය සිනමාවේ නැඟීගෙන එන රංගන ශිල්පියෙක් වන ඔහු ආලෝකෝ උදපාදි, බිම්බා දේවි, ශෙලීනා, Face to Face හා පැණි මකුලුවෝ වැනි සිනමා නිර්මාණ ගණනාවකට රංගනයෙන් දායක වුනා. ඉදිරියේදී නිකුත් වීමට නියමිත කන්දක් සේමා, යාත්‍රා සහ 1970 Love Story ආදී චිත්‍රපටවල ප්‍රධාන චරිත හරහාත් දිනෙත්ගේ රංගනය දැක ගැනීමට හැකියි.

වෘත්තියෙන් ගුවන් හමුදා නිලධාරියෙකු වන ක්‍රිෂාන්ත මනම්පේරිගේ පළමු සහ කුළුදුල් වෘතාන්ත – චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ මෙම හිතුමතේ ජීවිතේ චිත්‍රපටයයි. මින් පෙර ටෙලි නාට්‍ය කිහිපයක් ද අධ්‍යක්ෂණය කර තිබෙන ඔහු කලාවට සම්බන්ධ වී වසර විස්සකට අධික කාලයක් වනවා. ප්‍රවීණ රංගන ශිල්පීන් වන සනත් ගුණතිලක සහ ප්‍රියංකර රත්නායකගේ සහයෝගය මත නළු නිළියන් තෝරා ගනිමින් මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළ බව අධ්‍යක්ෂවරයා පවසනවා.

මහේන්ද්‍ර පෙරේරා, ජයනි සේනානායක, ජගත් චමිල, කුමාර තිරිමාදුර, ප්‍රියංකර රත්නායක, රොජර් සෙනවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, දමිතා අබේරත්න, පාලිත සිල්වා, අනුරුද්ධිකා පාදුක්කගේ, සරත් චන්ද්‍රසිරි, මරියාන් වෙත්තසිංහ සහ ඉශාන් ගම්මුදලි වැනි රංගන ශිල්පීන් පිරිසක් ද මෙහි සෙසු චරිතවලට රංගනයෙන් දායක වනවා.

ඉන්දික අතුල ප්‍රියන්ත ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටයේ තිර රචනය සිදුකොට තිබෙනවා.. කැමරා අධ්‍යක්ෂණයෙන්  නිශාන්ත ප්‍රදීප් චිත්‍රපටයට දායක වනවා. භවතරණ, සිනේමා, Secret of the Rose, ගොවි තාත්තා වැනි ලාංකීය චිත්‍රපට ගණනාවක කැමරා අධ්‍යක්ෂණය සිදු කළ ඔහු වසර ගණනාවක් තිස්සේ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත කැමරා අධ්‍යක්ෂවරයෙක්. රුක්මල් නිරෝෂ් සංස්කරණය සිදු කළ මෙය ගයාත්‍රී කේමදාස සහ සාගර විජේසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වී තිබෙනවා. කලා අධ්‍යක්ෂණය රංජිත් විජේසිංහගෙනි.
හිතුමතේ ජීවිතේ විහාරා සමරසිංහ නිෂ්පාදනයක්.

“හිතුමතේ ජීවිතේ” 2021 වසරේ පැවැත්වූ 19 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙල (Dhaka International Film Festival) නියෝජනය කිරීමට ද මෙය සුදුසුකම් ලබා ගත්තා. ‘බංගලාදේශයේ ඩකා සිනමා උළෙල’ දකුණු ආසියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානම අන්තර්ජාතික සිනමා උළෙලක් වන අතර එහි තරඟකාරී නොවන අංශයක් යටතේ මෙය ප්‍රදර්ශනය වුනා.

“හිතුමතේ ජීවිතේ” චිත්‍රපටයට දායක වූ නිර්මාණකරුවන් 

අධ්‍යක්ෂණය : ක්‍රිෂාන්ත මනම්පේරි
තිර රචනය : ඉන්දික අතුල ප්‍රියන්ත
නිෂ්පාදනය : විහාරා සමරසිංහ

කැමරාකරණය : නිශාන්ත ප්‍රදීප්
රේඛීය නිෂ්පාදනය : ප්‍රියංකර රත්නායක
කලා අධ්‍යක්ෂණය : රංජිත් ද සිල්වා

සංගීත අධ්‍යක්ෂණය : ගයත්‍රී කේමදාස, සාගර විජේසිංහ
අංග රචනය : ප්‍රියන්ත දිසානායක
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග : ජයසිංහ වීරක්කොඩි
ඇඳුම් නිර්මාණකරණය : ප්‍රියා රණසිංහ

සංස්කරණය : රුක්මල් නිරෝෂ්
වර්ණ සංයෝජනය : ඩිලාන් ගුණවර්ධන

විධායක නිෂ්පාදනය :චන්දිමාල් පොල්කොටුව
නිෂ්පාදන කළමනාකරණය : විරාජ් වර්ණසූරිය

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles