Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

08වන දෙරණ ලක්ස් චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයින්ට සම්මාන පිරි නැමේ

$
0
0

දෙරණ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන්, ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් පිදෙන ප්‍රථම සහ එකම ටෙලිවිෂන් උත්තමාචාරය, “Derana Lux Film Awards” සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් අටවන වතාවටත් පසුගියදා පැවැත්වුනා.

2022 වසරේදී මෙරට සිනමා ශාලාවලට නිකුත් වුනු ලාංකීය චිත්‍රපට 17ක් අතුරින් වසරේ විශිෂ්ටතම නිර්මාණ ඇගයීම උදෙසා වෙන්වුනු “Derana Lux Film Awards” සිනමා සම්මාන උළෙල තුළ ජනප්‍රියම සහ හොඳම කාණ්ඩ ද්විත්වය යටතේම ජයග්‍රහණ පිරිනැමුනා.

ජනප්‍රිය නලු නිළියන්, අධ්‍යක්ෂකවරුන් සහ සිනමාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වුනු එම උළෙලේදී,
“වසරේ විශිෂ්ටතම චිත්‍රපටය” (Best Picture of the Year) සම්මානයෙන් පිදුම් ලැබූයේ ඇල්බොරාදා ලාංකීය සිනමාපටයයි. ලුයිස් රොමෙරෝ, නිමායා හැරිස්, රිතිකා කොඩිතුවක්කු ප්‍රධාන චරිත නිරූපණය කළ ඇල්බොරාදා සිනමාපටය, ලෝක ප්‍රකට සාහිත්‍යකරුවෙකු වන පැබ්ලෝ නේරුදාගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූවක්.

සම්මාන උළෙලේදී “විශිෂ්ටතම අධ්‍යක්ෂණයට” හිමි සම්මානය දිනා ගත්තේ ද ඇල්බොරාදා සිනමාපටය නිර්මාණය කළ අශෝක හඳගම විසිනුයි. ඇගේ ඇස අග – අක්ෂරය – අසන්ධිමිත්තා වැනි ගුණාත්මක චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ අශෝක හඳගම, අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර අවධානයටත් පාත්‍ර වූ සිනමාවේදියෙක්…

“විශිෂ්ටතම තිර පිටපත” වෙනුවෙන් පිදෙන Best Screenplay of the Year සම්මානය දිනාගත්තේ ද අශෝක හඳගම විසින්මයි. මේ අයුරින් සම්මාන උළෙලේ ප්‍රධාන Technical සම්මාන ත්‍රිත්වයම දිනාගැනීමට ඇල්බොරාදා චිත්‍රපටයට හැකියාව ලැබුනා.

ප්‍රාණ (Seeds) චිත්‍රපටයේ රඟපෑ ට්‍රෙයි හික්ස් විසින් “වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියාට” හිමි සම්මානය හිමි කරගත් අතර “වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිනිය” ලෙසින් ජයග්‍රහණය කළේ යුරේනි නොෂිකායි. ඒ ඇය රඟපෑ Night Rider චිත්‍රපටය වෙනුවෙනුයි.

The Game වෙනුවෙන් “වසරේ විශිෂ්ටතම සහාය රංගන ශිල්පියා” බවට පත්වුනේ වසන්ත කුමාරවිලයි.

“වසරේ විශිෂ්ටතම සහාය රංගන ශිල්පිනියට” හිමි සම්මානයත් ඇල්බොරාදා විසින් ජයගැනීම මෙවර උළෙලේ තවත් විශේෂත්වයක්. ඊට හේතුව වන්නේ වසරේ විශිෂ්ටතම සහාය රංගන ශිල්පිනිය වෙනුවෙන් තෝරාපත් කර ගනු ලැබූ අවසාන නිර්දේශවීම් අතරට පැමිණියේ ද ඇල්බොරාදා වෙනුවෙන් නිර්දේශ වූ රංගන ශිල්පිනියන් තිදෙනෙකුම වීමයි.

ඔවුන් අතුරින් ජයග්‍රාහකයා නිවේදනය කිරීමේදී එම රංගන ශිල්පිනියන් තිදෙනා අතරේම සම්මානය බෙදී ගිය අතර, ඒ අයුරින් ඇල්බොරාදා චිත්‍රපටයේ රඟපෑ රිතිකා කොඩිතුවක්කු – ඈන් සොලේන් – නිමායා හැරිස් තිදෙනාටම Best Actress in Supporting Role සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබුනා.

ප්‍රාණ (Seeds) වෙනුවෙන් “විශිෂ්ටතම කැමරාකරණය”ට අදාළ සම්මානය දිනාගත්තේ ස්ට්‍රයිනර් ඇඩම්ස් විසිනුයි. ඇල්බොරාදා චිත්‍රපටය සංස්කරණය කළ රවින්ද්‍ර ගුරුගේ වසරේ “විශිෂ්ටතම සංස්කරණය” වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

“විශිෂ්ටතම සංගීත නිර්මාණකරණය” උදෙසා අජිත් කුමාරසිරි සහ නාමිනී පංචාලා අතරේ සම්මානය බෙදී ගියා. ප්‍රාණ (Seeds) හි පසුබිම් සැලසුම්කරණය සහ කලා සැලසුම් කටයුතු මෙහෙය වූ ධම්මික හේවාදුත්ත මෙවර “විශිෂ්ටතම කලා අධ්‍යක්ෂකවරයා” යි. “විශිෂ්ටතම ශබ්ද සැලසුම්කරණය” සඳහා වූ සම්මානයත් හිමිවූයේ ප්‍රාණ (Seeds) සිනමාපටයටයි. එහි ශබ්ද සැලසුම්කරණය කළ සශින් ගිම්හාන් විසින් එම සම්මානය දිනා ගත්තා.

වසරේ නැඟී එන අධ්‍යක්ෂකවරයා හෙවත් “Most Promising Director” වශයෙන් ජයග්‍රහණය කළේ මෙරට සිටින දක්ෂ චරිතාංග නලුවෙකු වන ජගත් මනුවර්ණයි. ඒ ඔහු විසින් පළමු වරට අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු වෘතාන්ත සිනමාපටයටයි.

ඊට අමතරව Munnel චිත්‍රපටය වෙනුවෙන් අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් ද සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙවර උළෙලේ හොඳම දෘශ්‍ය ප්‍රයෝග උදෙසා ජයග්‍රහණය කළේ ප්‍රාණ (Seeds) සිනමාපටයේ බුද්ධික විජේරත්න සහ සමින්ද වතවනවිතානගේ යි.

කෙටි චිත්‍රපට අංශයෙන් ජයග්‍රහණය කළේ තිසේන් උමගිලිය විසින් අධ්‍යක්ෂණය කළ “Distance” කෙටි චිත්‍රපටයයි. කෙනිස්ටන් ජෝන් විසින් අධ්‍යක්ෂණය කළ “Marcus” කෙටි සිනමාපටයටත් ජූරියේ විශේෂ සම්මානයක් හිමිවුනා.

මෙම “හොඳම” කාණ්ඩයේ ජයග්‍රාහකයින් තෝරාගත්තේ මෙරට සිටින ප්‍රවීණ සිනමාකරුවන් කිහිප දෙනෙකුගෙන් සමන්විත ජූරියක් මඟිනුයි. ලාල් හරින්ද්‍රනාත් – සුදත් මහදිවුල්වැව – අනෝමා රාජකරුණා – ප්‍රසන්න ජයකොඩි – විමුක්ති ජයසුන්දර ආදී ලාංකීය සිනමාවේ දැවැන්තයින් කිහිප දෙනෙකුම ඊට ඇතුළත්…

ජනප්‍රියම කාණ්ඩය වෙනුවෙන්, උළෙල තුළ වෙනත් සම්මාන ප්‍රදානයක් තිබුනු අතර එහි ජයග්‍රාහකයින් තෝරා පත් කර ගනු ලැබූයේ රසික මනාපය අනුවයි.

වැඩිම ප්‍රේක්ෂක මනාපයක් ලබා ගනිමින්, මෙවර වසරේ ජනප්‍රියම රංගන ශිල්පියා ලෙසින් ජයග්‍රහණය කළේ රන්ජන් රාමනායකයි. නයනතාරා වික්‍රමසිංහ වසරේ ජනප්‍රියම රංගන ශිල්පිනිය බවට පත්වුනා. වසරේ ජනප්‍රියම නර්තන වින්‍යාසය වෙනුවෙන් සම්මාන ලැබූයේ ආශාවරී චිත්‍රපටය වෙනුවෙන් එහි නර්තන නිර්මාණය කළ ගයාන් ස්‍රීමාල්ටයි.
මෙවර ජනප්‍රියම චිත්‍රපට ගීතය, ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයේ ‘සෙව්වන්දි පායා’ ගීතයයි. භාතිය – සන්තුෂ් විසින් ගායනා කළ එහි පද රචනය ශෙහාන් ගලහිටියාවයි. සංගීතවත් කළේ යසස් මැදගෙදරයි.

ජනප්‍රියම ප්‍රතිවීර චරිතය වෙනුවෙන් බිමල් ජයකොඩිත්, ජනප්‍රියම හාස්‍ය රංගනය වෙනුවෙන් රොඩ්නි වර්ණකුලත් මෙහිදී ජයග්‍රහණය කළා.
“Blockbuster Movie of the Year” ලෙසින් මෙවර උළෙල තුළ සම්මාන දිනාගත්තේ උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 03 සිංහල සිනමාපටයයි.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles