Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

ආසු (ASU) –මේ ඔබේ චිත්‍රපටයයි

$
0
0

තම ජීවිතයටත් වඩා තමන්ගේ නූපන් දරුවාගේ ජීවිතය ගැන සිතමින් පියයුරු පිළිකාවක සමඟ සටන් වැදුනු, මෙරට දේශපාලනඥයෙකු වන කරූ ජයසූරිය මහතාගේ දෙවන දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද “ආසු (ASU)” සිංහල සිනමාපටය එළඹෙන ඔක්තෝබර් 11 වනදා සිට දිවයින පුරා තිරගත වීම ඇරඹෙනවා.

සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කරන ලෙද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ මෙරට සිටින දක්ෂ නලු නිළියන් දෙපළක් වන උදාරි වර්ණකුලසූරිය සමඟින් ශ්‍යාම් ප්‍රනාන්දුයි. සිනමාපටයට පාදක වී තිබෙන්නේ පියයුරු පිළිකාවක් හා සටන් වදින ගර්භණී මවකගේ අනුවේදනීය කතා පුවතකුයි.

ඉගිල්ලෙන මාළුවෝ (2011) සහ දැවෙන විහඟුන් (2018) සිනමාපටවලට පසුව සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ තෙවන නිර්මාණය වන්නේ Asuයි. පසුගිය කෝවිඩ් වසංගත කාල-වකවානුව තුළ රූපගත කිරීම් සිදු වූ ආසු සිනමාපටයෙ හි සියලුම පසු-නිෂ්පාදන කටයුතු ද මේ වනවිට අවසන් වී තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට රඟපාන්නේ උදාරි වර්ණකුලසූරිය සමඟින් ශ්‍යාම් ප්‍රනාන්දුයි. උදාරි වර්ණකුලසූරිය විසින් ‘නෙළුම්’ නැමැති ගර්භණී කාන්තාවගේ චරිතයත්, ශ්‍යාම් ප්‍රනාන්දු විසින් ඇගේ සැමියා වන ‘බිමල්’ගේ චරිතයත් නිරූපණය කරමින් ASU හි රංගනයේ යෙදෙනවා.

උදාරි සහ ශ්‍යාම් ප්‍රනාන්දුට අමතරව දිනාරා පුන්චිහේවා, චාන්දනි සෙනවිරත්න, යශෝදා රසඳුනි, රේණුකා බාලසුරිය, සෝමරත්න දිසානායක, ස්වේතකි වාදිසිංහ සහ අතුල වේරගොඩ ඇතුළු රංගන ශිල්පීන් රාශියක් මීට සම්බන්ධ වී තිබෙනවා. දශක ගණාවකට පසු සෝමරත්න දිසානායක නැවතත් නළු භූමිකාවට ප්‍රවිෂ්ට වී තිබීමත් මේ සිනමාපටයේ දක්නට ලැබෙන විශේෂත්වයක්!

සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය:

 

සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වූ ආසු චිත්‍රපටයට පාදක වෙන්නේ මෙරට පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරියගේ දියණියක වන ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාවයි. ගැබිණියක සමයේ පියයුරු පිළිකාවක් වැළදෙන ඇය, තමන්ගේ දරුවාගේ ප්‍රසූතිය තෙක් ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ තමන් ගන්නා ඖෂධ නිසා දරුවාට යම් බලපෑමක් ඇති වේ යැයි හැඟුණු බිය නිසාවෙනුයි. තමන්ගේ දරුවාගේ නීරෝගී ප්‍රසූතිය වෙනුවෙන් පියයුරු පිළිකාවට ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කළ ඇයට අවසානයේදී තමන්ගේ ජීවිතයෙන් සමු ගන්නට සිදුවුනා.

ආසු හි කතා තේමාව මෙයම නොවුණත්, සංජීව පුෂ්පකුමාර විසින් චිත්‍රපටයේ තිර පිටපත සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම වස්තු බීජයයි. ගැබිණියක සමයේ පියයුරු පිළිකාවක් වැළදෙන නෙළුම්ට මුහුණ දෙන්නට සිදුවන ජීවන අරගලය ආසු සිනමාපටයෙන් ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන්.

චිත්‍රපටයට අනුව උදාරි වර්ණකුලසූරිය රඟන නෙළුම්ගේ චරිතය චිත්‍ර ශිල්පිනියක බවත්, ශ්‍යාම් ප්‍රනාන්දු සම්බන්ධ වන බිමල් නැමැති ඇගේ සැමියා සංගීතඥයෙකු බවත් අධ්‍යක්ෂකවරයා පවසා තිබෙනවා. දිනාරා පුංචිහේවා රඟ දක්වන්නේ නෙළුම්ගේ සහෝදරියගේ චරිතයයි. වෛද්‍යවරයෙකුගේ චරිතයක් නිරූපණය කරමින් සෝමරත්න දිසානායක යළිත් රංගන භූමිකාවට එකතු වන්නේ වසර විසි ගණනකට පසුවයි. ඔහු අවසන් වරට රංගනයෙන් සම්බන්ධ වුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අහසින් පොළවට සිනමාපටයට බවයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ.

“ ආසු චිත්‍රපටයේ උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන මේ නෙළුම්ගේ චරිතයට ඇය විශාල කැපකිරීමක් කළා. ඒ වගේම ඇයගේ චරිතයේ බාහිර ස්වභාවය වෙනස් කරන්නට අපිට විශාල වෙහෙසක් දරන්න සිද්ධ වුනා. මන් හිතන්නේ ලංකාවේ චිත්‍රපටයක වේශ නිරූපණය සම්බන්ධයෙන් අපිට දකින්න පුලුවන් හොඳ ප්‍රවේශයක් ආසු චිත්‍රපටයේ තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා… “

සිනමාපටය වෙනුවෙන් දරන්නට වූ මහන්සිය ගැන අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර දැක්වූයේ එවන් අදහසක්. මේ ආකාරයට දැඩි පරිශ්‍රමයක් දරමින් චිත්‍රපටයේ වේශ නිරූපණය සිදු කර තිබෙන්නේ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නාරද ධනංජය තොටගමුව විසිනුයි.

විශ්ව බාලසූරිය කැමරාකරණයෙනුත්, අජිත් රාමනායක සංස්කරණයෙනුත් ආසු සිනමාපටයට සම්බන්ධ වී තිබෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ අජිත් කුමාරසිරි සහ නාමිණි පන්චලා එකතුවෙන්. නිෂ්පාදන සහයෝගීත්වය සුරංග හඳපාන්ගොඩ සහ රේඛීය නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙන් සිදු වී තිබෙනවා. නිෂ්පාදන කළමනාකරු වශයෙන් සම්බන්ධ වන්නේ හැරල්ඩ් කරුණාතිලකයි. නිරෝෂන් එදිරිමාන්න ආසු චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.

අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණයෙනුත්, පූර්ණ ජයශ්‍රී කලා අධ්‍යක්ෂණයෙනුත් ආසු හා එක්ව සිටිනවා. චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියා වන්නේ ගයාන් රුක්ෂාන් පෙරේරායි.

සංජීව පුෂ්පකුමාරගේ මුල් නිර්මාණ සියල්ලේම තිර රචනය ඔහු විසින් තනිවම සිදු කළත් ආසු තිර පිටපත ඔහුගේ සම – තිර පිටපතක්. ආසු තිර පිටපත් රචනයට සංජීව සමඟින් එකතු වන්නේ ඔහුගේ බිරිඳ සංගීතා නිල්නදී ගොඩගමයි. චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය උසුලන්නේ සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දරයි.

සිංගප්පූරුවේ නෙක්ස්ටෙන් වින්ච’ සිනමා ආයතනයේ ආරාධනාව මත නිෂ්පාදනය වූ ආසු සිංහල සිනමාපටය, ලොව ප්‍රමුඛ පෙළේ සිනමා සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කළ අතර 34 වන ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ආසියානු තරඟකාරී අංශයට තේරී පත් වීම මේ අතුරින් විශේෂයි! ඒ වගේම ලොස් ඇන්ජලිස් ආසියානු ජගත් සිනමා උළෙලේ තරඟකාරී අංශය නියෝජනයටත් එය තේරී පත් වුනා.

පසුගියදා කොළඹ සිටි සෙන්ටර් හිදී ආසු සිනමාපටය් විශේෂ දර්ශන වාරයක් පැවැත්වූ අතර බොහෝ දෙනෙකුගෙන් ඊට ලැබුණේ ධනාත්මක සහ හොඳ ප්‍රතිචාරයක්. මේ වනවිට සමාජ මාධ්‍ය අවකාශයේ පවා ආසු සිනමාපටය පිළිබඳව රසික කතාබහක් ගොඩ නැඟී තිබෙන අතර මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරයත් ආසු චිත්‍රපටය නිකුත් වන තෙක් උනන්දුවෙන් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.

KCC, PVR, CC ඇතුළු දිවයින පුරා සිනමා ශාලා ගණනාවකදී එළඹෙන ඔක්තෝබර් 11 වනදා සිට ඔබට මෙම සිනමාපටය රස විඳින්නට පුලුවන්. ආසු, MPI මණ්ඩලයේ බෙදාහැරීමකි.

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>