Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

Authors’ Judgement කෙටි චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙයි

$
0
0

ජාත්‍යන්තර සම්මානලාභී කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කළ, ලාංකීය සිනමාකරුවෙකු වන කමිල මේදිස් විසින් අධ්‍යක්ෂණය කෙරෙන නවතම කෙටි සිනමාපටය, “Authors’ Judgement” හි රූගත කිරීම් පසුගියදා ආරම්භ වුනා.

ඔහුගේ පෙර කෙටි චිත්‍රපටවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් – නැවුම් කතා තේමාවක් ඔස්සේ ගොඩ නැඟී තිබෙන මෙම Authors’ Judgement කෙටි චිත්‍රපටයට පාදක වන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙකු සහ ඔහු සිය මානසික අර්බුදය හමුවේ පිටත සමාජය සමඟ ගණුදෙනු කිරීමට දරන උත්සාහයයි.

වෘත්තියෙන් රචකයෙකු සහ කතුවරයෙකු වන විශ්ව, Bipolar Disorder නැමති මානසික ව්‍යාධියකින් පෙලෙන; එතරම් සමාජශීලි නොවන චරිතයක්. ඔහු විසින්ම මවා ගන්නා චිත්ත රූප සමඟින් සිය හැඟීම් පිළිබඳ කතිකාවක් නිර්මාණය කර ගැනීමට ඔහු දැඩි ප්‍රියතාවයක් දක්වයි.
මෙම රෝගයෙන් පෙලෙන කාලය තුළ වුවත් රචකයෙකු ලෙසින් විශ්ව තවත් කෘති දෙකක් රචනා කරන අතර එම රචනය තුළින් ඔහු පිටත ලෝකය සමඟ තම ආකල්ප බෙදා ගැනීමට උත්සාහ දරයි.

අවසානයේදී විකල්ප නොමැති තම ජීවිත කතාව ද කෘතියක් වශයෙන් නිර්මාණය කිරිමට විශ්ව පෙළඹෙන්නේ තම පෞරුෂත්වයේ ඉරණම් කතිකාව විනිශ්චයට ලක් කිරීමටද? මේ පිළිබඳව දැන ගැනීමට නම් ඔබට Authors’ Judgement කෙටි චිත්‍රපටය නරඹන්නටම සිදු වනවා…

මෙහි ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ චිරාත් බෝම්බුවලගේ සමඟින් බුද්ධි රන්දෙණියයි. රංගන ශිල්පිනී බුද්ධි රන්දෙණිය විසින් පසුගිය වසරේදී තිරගත වූ, සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ Underpants Thief චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ත් රංගනයෙන් සම්බන්ධ වුනා.

ඉන්දියාවේදී සිනමාව පිළිබඳ අධ්‍යයනය කරමින් සුප්‍රසිද්ධ Yash Raj Film Studios හි නිෂ්පාදන කණ්ඩායමට ද සම්බන්ධ වුනු කමිල මේදිස්, මේ දක්වා විවිධ කෙටි චිත්‍රපට 06ක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. ඒ සෑම කෙටි චිත්‍රපටයක් ම පාහේ දෙස් – විදෙස් සම්මානයට පාත්‍ර වීම ද විශේෂත්වයක්.
මෙවර ඔහු Authors’ Judgement කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නේ වසර දෙකක දිගු නිහැඬියාවකට පසුවයි…

අධ්‍යක්ෂණයට අමතරව නිසි මනෝ විද්‍යාත්මක අධ්‍යයනයක් සමඟින් Authors’ Judgement කෙටි චිත්‍රපටයේ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද කමිල මේදිස් විසිනුයි. කැමරාකරණය චමෝද් දිසානායක විසින් සිදු කරන අතර සංස්කරණය ධනුෂ ප්‍රනාන්දුගෙනි. වර්ණ සංයෝජනය ඉසුරු ප්‍රනාන්දුයි.

නිමේෂා ඉශානි සහ එම්. රෆීස් නිෂ්පාදන කළමනාකරණයෙනුත්, සඳරු මාරසිංහ සහ මලින්ද වෙදගෙදර කලා අධ්‍යක්ෂණයෙනුත් මීට සම්බන්ධ වුනා. වේෂ නිරූපණය නිමේෂ් පේරුසිංහගෙනි.
ධනුෂ ප්රනාන්දු සහ නිමන්ත ලක්ෂාන් Authors’ Judgement කෙටි සිනමාපටයට සහාය අධ්‍යක්ෂණයෙන් එක් වූවා. ඩී එම් වීරසිංහ මෙහි සංගීත අධ්‍යක්ෂකවරයායි.
සහාය නිෂ්පාදන කළමනාකරණය සවින්ද ප්‍රනාන්දු සමඟින් හසේන් දිල්රංගයි.

කමිල මේදිස් මේ වනවිට සිනමාව පිළිබඳ උගන්වන කථිකාචාර්යවරයෙකු ලෙසින් කටයුතු කරමින් සිටී.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>