
විදෙස් සම්මානයෙන් පිදුම් ලබමින් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවක් නියෝජනය කළ, ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ ” වෙඩි නොවදින ළමයි” සිනමාපටය මෙවර දෙරණ Lux සිනමා උළෙලේ කාණ්ඩ කිහිපයක් යටතේ ද නිර්දේශ වී තිබෙනවා.
මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් වූ හෝ ගානා පොකුණ සිනමාපටයට පසුව ඉන්දික ෆර්ඩිනෑන්ඩු අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය මෙයයි.
වෙඩි නොවදින ළමයි චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගත් රාත්රියේදී, කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බස් රථයක සිදු වන සිද්ධි මාලාවකුයි.
කොළඹ සංගීත තරඟයකට සහභාගී වී ගමට යන පාසල් දරුවන් කිහිප දෙනෙක්…
රැකියාව නිමා කර නිවස් බලා පිටත් වන බීමත් වයස්ගත මිතුරන් දෙදෙනෙක්…
ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අසමින් සිටින ක්‍රිකට් රසිකයෙක්…
මගින් බසයට නඟින භික්ෂූන් වහන්සේලා පිරිසක්…
නිවෙස්වලට හොර රහසේ පෙම්වතා හා පලා යන ධනවත් තරුණියක්…
මැජික්කාරයෙක්…
සමඟින්,
කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් තුරුළු කරගෙන බස් රථයට ගොඩ වදින දුක්මුසු පෙනුමක් සහිත සැමියෙක් සහ ඔහුගේ බිරිඳ “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children) සිනමාපටයේ ප්‍රධාන භූමිකා කිහිපය නිරූපණය කරනවා. බස් රථය ගමනාන්තයට යන අතරෙ හි කිසිවෙකුත් නොසිතූ අනපේක්ෂිත සිදුවීම් රාශියකට මුහුණ දීමට ඔවුන්ට සිදු වන අතර චිත්‍රපටය ගෙතෙන්නේ ඒ වටායි.
කලණ ගුණසේකර, අනසුයා සුබසිංහ, අනුලා බුලත්සිංහල, මහේන්ද්‍ර පෙරේරා, හේමසිරි ලියනගේ, ස්ටෙෆාන් තිරිමාන්න, අශාන් ඩයස්, දයාදේව එදිරිසිංහ, රන්දික ගුණතිලක, උදේනි චන්ද්‍රසිරි, කසුනි කාවින්දි සහ සේවියර් කණිෂ්ක වැනි රංගන ශිල්පීන් ගණනාවක්ම ඔබට මෙහි දැකගත හැකියි.
එමෙන්ම වසර කිහිපයකට පෙර අප අතරින් සමුගත්, මෙරට සිටි විශිෂ්ට චරිතාංග රංගධරයෙකු වූ ජයලත් මනෝරත්න ශූරීන් ද වෙඩි නොවදින ළමයි සිනමාපටයේ උප-ප්‍රධාන භූමිකාවකට පණ පොවනවා.
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නදීක වැලිගොඩපල සමඟින් තිලංග ගමගේයි.
ඉන්දික සමඟින් පියල් කාරියවසම් එක්ව මෙහි තිර පිටපත රචනා කොට තිබෙන අතර සංස්කරණය තිස්ස සුරේන්ද්‍රයි. දිමුතු කාලිංග දහනායකගේ කැමරාකරණයෙන් හැඩවූ මෙහි කලා අධ්‍යක්ෂකවරයා කසුන් මහවඩුගේයි. දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් එක්ව තිබෙනවා. බුවෙනෙක රණවක චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියායි. ශබ්ද පරිපාලනයෙන් සම්බන්ධව තිබෙන්නේ සසික රුවන් මාරසිංහයි. සහාය අධ්‍යක්ෂණය තරිඳු රනපුරගෙනි. නිෂ්පාදන කළමනාකරණය මධුරංග ජාගොඩගෙනි.
Deep Motion Pictures වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ දීපා එදිරිසිංහයි. මෙය ඇයගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය ද වනවා.