
ඒ 1974 වසර පමණ වන්නට ඇත. අකුරක් තනිවම කියැවීමට නොහැකි වූවත් චිත්‍රකතා පිස්සකු වූ මා , කථාවල චිත්‍ර දෑසින් කියැවූ යුගයයි ඒ. මා කියවූ සතුට පත්තරයේ ,මගෙ සිත පැහැරගත් චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකුම වූහ. වික්‍රම, අනුර විජේවර්ධන ,බන්දුල හරිචන්ද්‍ර හා තවත් එක්තරා අමුතුම මාදිලියේ චිත්‍ර ඇඳි හා කතා නිර්මාණය කළ චිත්‍ර ශිල්පියෙකු ඔවුන් අතුරින් ප්‍රමුඛස්ථානයේ පසු වුණි.
මා අවසානයට සදහන් කළ චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ වල චිත්‍රවලට අමතරව සෑමවිටම වාගේ කථාවත් ඔහුගේම විය. සිව්මංසල සහ රක්තා යන කතා දෙකම නිර්මාණය කළේ ඔහුයි.
සිව් මංසල කථාවේ යහළුවන් සතර දෙනෙකු ගැන කියැවුණි. ඔවුන් එක් අවස්ථාවක ” මුව මස් පලහපුවයි(පුච්චපුවයි) යකුටල අලයි කෑ හැටි මට අද මෙන් මතකය. මා මේ අමුතු වචන ඉගෙන ගත්තේ ඔහුගෙනි. එමෙන්ම සතුටෙහිම පළවූ රක්තා කථාවෙහි මව මියගොස් තනිවූ තම බිළිඳිය සමඟ කැලේ පියමනින පියා තමන් සමඟ සටනට වන් විශාල කොටි දෙනක මරා දියණියට කොටිදෙනගේ තනපුඩු උරා කිරිබීමට සැලැස්වූ අයුරැද මට අද මෙන්ම මතකය.
මේ කතා නිර්මාණය කළේ වෙන කවුරැවත් නොව ලංකාවේ චිත්‍ර කතා ලෝකයේ පුරෝගාමියෙකි. එතුමා නම් දයා රාජපක්ෂ නම් සුන්දර මිනිසාය. ඔහුගේ කතා අමුතුය. චිත්‍ර හා අත් අකුරැද අමුතුය. හැම දෙබසකම සිතන්නට යමක් තිබිණි.
1966 දී සිළුමිණ පුවත් පතට ඇඳි ‘ඉන්දු’ නම් චිත්‍රකථාවෙන් චිත්‍ර කතා ලෝකයට අත් පොත තැබූ එතුමා අපෙන් සමුගන්නා මොහොත වනවිට නිර්මාණය කොට තිබූ චිත්‍ර කතානම් දස දහසකට වඩා වැඩි මිස අඩුනම් නැත.
එතුමාගේ කතා සෑම පුවත්පතකම පාහේ පළවිය. ‘ආචාර්‍ය සයිකෝ’ හා ‘ ආදර කොමා’ නම්වූ කතා අමුතුම මාදිලියේ නිර්මාණ විය.
ඒ අතුරින් එතුමා සිළුමිණට නිර්මාණය කළ ‘ වානරයෝ’ චිත්‍ර කතාව පළමුවෙන්ම සිනමාවට නැගුණි. ඉන්පසු හුලවාලී, සක්විති සුවය,අනුපමා, රක්තා, සුබෝධා, චන්දිරා, බාඳුරා මල් , තවලම හා නිළියකට පෙම් කළෙමි යන චිත්‍ර කතාද චිත්‍රපට බවට පත්වුණි.
හුලවාලී චිත්‍රපටයත් සමඟම තිර රචනයටද පිළිපන් දයා රාජපක්ෂයෝ චිත්‍රපට රාශියකම තිර නාටක ලිවීය. ඒ අතර සක්විති සුවය, තවලම, බාඳුරා මල් හා නිළියකට පෙම් කළෙමි යන එතුමන්ගේම කථාවලට ලියු තිර රචන සහ රොබින් ප්‍රනාන්දුගේ හස්ති වියරැව, සුර දූතයෝ සහ මාලනී ෆොන්සේකාගේ සසර චේතනා සිනමා පටය වෙනුවෙන් සත්‍ය සිද්ධියක් ඇසුරින් ලියූ තිර නාටක අතිශය ජනප්‍රිය විය. හුලවාලී තිරනාටකය වෙනුවෙන් ඕසීඅයිසී සම්මානයෙන් පවා පිදුම් ලැබීය.
මේ කාර්‍යයන්ට අමතරව මාධ්‍ය වේදියෙකු වශයෙන් රටේ ඒ ඒ කාල වකවානුවල දේශපාලනය සහ ආර්ථිකය උපහාසයට ලක්කරමින් එතුමා නිර්මාණ කළ ‘ සමාජ සමයං’ හා ‘ මඩිස්සලේ’ වැනි නිර්මාණ ජනතාවගේ හදවතටම දැනුණු නිර්මාණ විය.
මේසා විසල් සේවයක් කලා ලෝකයට විශේෂයෙන්ම කාටූන් හා චිත්‍ර කතාවට කළ දයා රාජපක්ෂන්ගේ පිංතූරයක් මා මුලින්ම දුටුවේ මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්ට පිං සිදු වන්නටය. ඒ එතුමාගේ ‘ චිත්‍ර කථාවේ වංශ කතාව ‘ පොතෙනි. එතුමා ඒ තරමටම බොරැවට කැපී පෙනීමට පොර නොකන නිහඬ චරිතයක් වීම එයට හේතුවයි. එතුමා පන්හිඳ හා තෙලි තුඩ පිටිපස සිට නිහඬවම තම සේවය අපට ලබා දුන්නේය.
මෙපමණක් නොව එතුමා නිර්මාණය කළ පස්, සකිසඳ එලියස්, බොරළු පාර, කම්මිත්ත සහ හතේ වසම ඇතුළු තවත් කතා රාශියක් ටෙලි නාට්‍ය බවටද පත්විය.
එතුමාගේ දෙබස් වල බොරැ මවා පෑම් නොතිබිණි. පොළොවෙ පය ගසා ජීවත්වන ලේ මස් ඇට නහර වලින් සැදි සැබෑ මිනිස් සුවඳ එහි ගැබ්වී තිබිණි. ජනතාව ආදරයෙන් ඒවා වැළඳ ගත්තේ එහෙයිනි.
එහෙත් මේ සැමදෙයකම අවසානය අද (26) උදෑසන සිදුවීම චිත්‍රකතාවට පෙම් බැඳි රසිකයින්ට වැදුණු මරැ පහරක් විය. එතුමාටත් , ඒ දිනෙක නොගිහින්ම බැරි අපටත් දිනයක යන්නටම සිදුවන ගමන යන්නට අද සිදුවිය.
අද උදයේ එතුමන්ගේ වියෝව කණ වැකුණු මොහොතේ පටන් මා මේ සටහන ලියන මේ මොහොත දක්වාම මට දැනුණේ මහත් කණගාටුවකි. විසල් හිස් බවකි. මූසල පාළුවකි.
මම කවුළු තිර අතුරින් පාළු හුදෙකලා අහස දෙස බලමි. පුර පසට යමින් සිටියද කොහෙන්දෝ පාත්වූ වැහි වලාවකින් සඳ මඩලම වැසී ගොස්ය. ඉදහිට ඇසෙන්නේ උලලේනෙකුගේ මූසල හඬක් පමණි. පරිසරයටත් එතුමාගේ වියෝව දැනීඇති හැඩකි. ඉතිං මේ පාළු රාත්‍රියේ ඔබට සමු දෙනවා හැර වෙන නම් මා කුමක් කරන්නද?
දයා රාජපක්ෂ චිත්‍ර ශිල්පියානෙණි ඔබට සුබ රාත්‍රියක්!
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය