Quantcast
Channel: Cinema.lk
Viewing all 2389 articles
Browse latest View live

“දැවෙන විහඟුන්”, මට සහෝදරත්වය විශ්වාසය හා ආදරය අහිමි කළා –සමනලී ෆොන්සේකා

$
0
0

දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ “වාසනා” ලෙස රඟපෑ රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සිය Facebook පිටුවේ තැබූ සටහනක්  (25/07/2018 ප.ව. 6.21 )

********************************************************************

මා මාගේ පෞද්ගලික ජීවිතයේ හෝ වෘත්තීය ජීවිතයේ ප්‍රශ්න මුහුණු පොතේ (Facebook) ලියන්නේ නැත. එහෙත් මෙය ලියන්නට දැන් කාලය පැමිණ ඇත. තමා රඟපෑ චිත්‍රපටයක් තිරගතවීමේදී ඒ සඳහා කෙරෙන ප්‍රචාරණ කරයුතු වලට සහාය දැක්විය යුතුය යන කාරණාව ලංකාව වැනි රටක රංගනශිල්පීන් සිදුකරන්නේ කිසිදු අමතර මුදලක් නොමැතිව, හුදු නිහතමානී වගකීමකිනි. ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය තුල පැනනැඟුණු අනේකවිද ප්‍රශ්න හමුවේ මා හැම මොහොතකම සිටගත්තේ චිත්‍රපටය හමුවේ පමණි. එහෙත් පූර්ව ප්‍රචාරණ කටයුතු උදෙසා මුල් අවස්වේථා චිත්‍රපටයේ සහාය චරිතයක් වන මාගේ රූපය භාවිතා කිරීමේදී මා අධ්‍යක්ෂකගෙන් විමසා සිටියේ එසේ කරන්නේ ඇයි කියා හා එය එසේ නොකරන ලෙසටත් ය. මන්ද එමගින් නරක ප්‍රතිරූපයක් ගොඩනැගෙන්නේ ඔබ කාහටවත් නොව, ප්‍රධාන රංගන ශිල්පිනියගේ තැන රැගෙන පෝස්ටරයේ සිටින සහාය චරිතයකට පණ පොවන මට බව මම ඔහුට පවසා සිටියෙමි. ඔහු කීවේ මා පමණක් නොව අනෙත් චරිතත් ඉදිරියේදී මේ සඳහා පාවිච්චි කරන බවය. එමෙන්ම ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට යන චිත්‍රපටය වෙනස් එකක් වන නිසා එහි ප්‍රචාරණ කටයුතු වෙනස් ආකාරයකින් සිදුකරන බවය. එය එසේ වුවත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන රංගන ශිල්පිනියගේ රූපය ඉතා අවම ලෙස ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කිරීමත්, මේ හේතුවෙන්ම අනෙක් සෙසු චරිත අතරින් මා සිටින ප්‍රචාරණ වලට වැඩි අවදානයක් යොමුවීමත් හේතුවෙන්, ජාත්‍යාන්තරය හමුවේ ප්‍රදර්ශනය කෙරූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අනෝමා ජනාදරී මහත්මිය වුවත් ලංකාව තුල තිරගත වීමට නියමිත චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මා බවට ප්‍රචාරයක් පැතිර ගියේය. අධ්‍යක්ෂකගේ ආරාධනාවෙන්, මාගේ පෞද්ගලික වියදමින් (ගුවන් ටිකට් පත්) මේ චිත්‍රපටය නියෝජනය කළ Rotterdam හා Gothernburg චිත්‍රපට උළෙලවල් වලට මම සහභාගී වූ අවස්වේථාදී මම ජාත්‍යාන්තරයට ප්‍රදර්ශනය කළ චිත්‍රපටය නරඹා තිබූ මුත්, යාපනයේදී මෙම ලංකාවේ ප්‍රදර්ශනය වන්නට නියමිත චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී මට එය නැරඹීමට නොහැකි විය. එහෙත් මෙවැනි ප්‍රචාරයක් යද්දී අධ්‍යක්ෂක වරයාගෙන් මා ඒ ගැන ඇසූ විට ඔහු කීවේ එවැන්නක් සිදුවී නොමැති බවයි. තවද යාපනයේ දර්ශනය නැරැඹූ මගේ හිතවතුන්ගෙන් අසා දැනගත් පසු ඔවුන්ද කීවේ එහි ප්‍රධාන භූමිකාව අනෝමා ජනාදරී මහත්මිය බවයි. ඒ මොහොතේ යමක් ලියන්නට සිත්වී ද මා එය නොකලේ ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපටය ගැන සිතාය. මේ සියල්ලටම හේතුව මේ චිත්‍රපටයේ එන ප්‍රධාන භූමිකාව හිමි රංගන ශිල්පිනියට ඇයට වෘත්තීයව හිමිවිය යුතු නිසි ආස්තානය ලබා නොදීමයි. මා මෙන්ම චිත්‍රපටයට දායක වූ සෙසු බොහෝ පිරිස් අනෝමා ජනාදරී මහත්මිය සමඟ සිටගත්තත්, චිත්‍රපටය සම්බන්ධයෙන් ඇය මුහුණුපොතේ සිදුකෙරෙන අප එකඟ නොවූ හැසිරීම් නිසා මා මෙන්ම ඔවුන් ද ඇගෙන් ඈත් විය. මෙය පෞද්ගලිකව හෝ නීති මාර්ගයෙන් බේරාගත යුත්තක් බවත් මෙලෙස එම ප්‍රශ්න මුහුණුපොතේ දැමීම නොකළ යුතු බවත් අප සැවොම ඇයට කියා සිටියද, ඇය ඒවාට ඇහුම්කන් දුන්නේ නැත. ඇය ඉතාම දක්ෂ වෘත්තීය රංගන ශිල්පිනියක්, ඉතාම හොඳ යෙහෙළියක් වූවත් මාගේ මේ විවේචනය මා ඇයටත්, වෙනත් අයටත් නොයෙක් වර පවසා ඇත. කෙසේවෙතත් අවසාන වශයෙන් මෙම ප්‍රශ්නය තවදුරටත් චිත්‍රපටයේ ප්‍රශ්නයක් නොවී දෙදෙනෙකුගේ ‘ඊගෝ’ ගැටුමක් ලෙස දිස්විය. එහෙයින් එවැනි දෙයකට මැදිහත් වීමට වඩා පසෙකට වීම හොඳයැයි මම තීරණය කළෙමි. කෙසේ වෙතත් මේ මොහොතේ පෙර කියූ ජාත්‍යාන්තරයේ ප්‍රදර්ශනය කළ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශන කිරීමට අධ්‍යක්ෂක හා නිෂ්පාදකයින් තීරණය කර ඇත. ඒ සඳහා මොවුන් යලිත් වරක් චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් වන මා හා දසුන් පතිරණ මහතාව පාවිච්චි කර ඇත. දැන් අධ්‍යක්ෂක පවසන පරිදි ලංකාව තුල පෙන්වූ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනස් ආකාරයකට සිදු වූවා නම්, ජාත්‍යාන්තරයට පෙන්වූ ඔරිජිනල් චිත්‍රපටයේ ප්‍රචාරණය සඳහා චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය යොදා නොගන්නේ ඇයිදැයි මට නොවැටහේ. ඇය සමඟ ඔතරම්ම පෞද්ගලික ප්‍රශ්නයක් ඇත්නම් ඇය සිටින සියලු දර්ශන චිත්‍රපටයෙන් ඉවත් කළ යුතු නොවේද? ඇයගේ මුහුණ දැකීමට පවා අකමැති නම් දිගටම ඇය හා ඇති ප්‍රශ්නය වෘත්තීය පළිගැනීමක් දක්වා අරගෙන යනවා නම්, ඇය පෙනී සිටින ‘චිත්‍රපටය’ ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන්නේ කුමන තර්කයකින්දැයි මට නොවැටහේ. පෞද්ගලිකව අනෝමා ජනාදරී මහත්මියගේ ප්‍රතිචාර විලාසය මා අනුමත නොකළත් ඇයව තම සිනමා පටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස මේ මොහොතේත් අධ්‍යක්ෂක පිලිගන්නවා නම්, ඇයට හිමි ඇගේ වෘත්තීය අයිතිවාසිකම ලබාදිය යුතුයි යන්න මාගේ මතයයි. කෙසේවෙතත් අවසානයේ චිත්‍රපටය වර්ෂන් කීයකට කඩනවාද?, පෝස්ටරේ ඉන්නේ කවුද?, පබ්ලිසිටි වලට පාවිච්චි කරන්නෙ කාවද? ටයිට්ල් එකේ මුලින් නම දාන්නේ කාගෙද…? වැනි කිසිම කරුණක් සම්බන්ධව නිර්මාණකරුවාව නීතිමය වශයෙන් ප්‍රශ්න කිරීමට අපට අයිතියක් නැත. අපට මුදල් ගෙවා අපේ දායකත්වය නිර්මාණයට ලබාගෙන හමාරය. නිර්මාණයේ අයිතිකරු ඔහුය. එහෙත් මේ දිගින් දිගටම සිදුවන වෘත්තීයමය සදාචාර විරෝධී ක්‍රියාව ප්‍රශ්න කිරීමේ හෝ විවේචනය කිරීමේ සදාචාරාත්මක අයිතිය අප සතුව ඇත.
මෙතෙක් මා පැමිණි මේ වෘත්තීය ගමනේදී මා කිසිවෙකුගේ අවස්ථාවක් උදුරා ගැනීමටවත්, කිසිවෙකු පරාජය කිරීමටවත්, කිසිවෙකු අබිබවා යෑමටවත්, කිසිවෙකුගේ වෘත්තීය අයිතිවාසිකම් හෝ වෘත්තීය ගරුත්වය නැති කිරීමටවත් ක්‍රියා කර නොමැති බව මා හඳුනන සියලූම දෙනා දනී. නිර්මාණයට දායක වන සියලු දෙනා සමඟින් එකතු වී මා මට ලැබෙන චරිතයට උපරිම දායකත්වය ලබාදීමට පමණක් උත්සාහ කරන කෙනෙකි. මා ද ඇතුලුව අපේ යුගයේ බොහෝ දෙනා අප දායක වන චිත්‍රපට වලින් මහා මුදලක් උපයන්නේ නැත. උපයන්නේ එකිනෙකා ගැන විශ්වාසය, සහෝදරකම්, ආදරය හා අත්දැකීම් පමණි. ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය මට මිනිසුන් ගැන අත්දැකීම් අතිවිශාල ප්‍රමාණයක් ලබාදුන් අතර සහෝදරකම්, විශ්වාසය හා ආදරය අහිමි කළේය…!”

– සමනලී ෆොන්සේකා –

Share


මේ අවස්ථාව ඔබේ විය හැකියි. ඉක්මනින් අයදුම් කරන්න

$
0
0

කෙටි චිත්‍රපට නිර්මාණයකරණය සඳහා උනන්දු වන පිරිස දවසින් දවස වැඩි වනවා. නමුත් මේ චිත්‍රපට නිර්මාණ කරුවන් ඉදිරියට ගෙන එමින් ඔවුන්ව දිරිමත් කිරීම සඳහා වන වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඉතා අල්ප වශයෙන්. ඉතා උසස් මට්ටමේ නිර්මාණ අදහස් සහ නිර්මාණ ශක්‍යතාවක් තිබුනා උනත් අවශ්‍ය සම්පත් සපයා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ඒ නිර්මාණ සිහිනයක් පමණක් වන අවස්ථා ඕනෑ තරම් හඳුනාගත හැකියි. ඔබත් එවැනි විශිෂ්ට නිර්මාණයක් පිලිබඳ සිහින දකින්නෙක් නම් මේ අවස්ථාව ඔබේ විය හැකියි.

Green light films, එවැනි සිහින දකින ඔබ වෙනුවෙන්ම දියත් කරන වදසැහැටහනක් මේ. ඔබ නිර්මාණ කිරීමට අපේක්ෂා කරන කෙටි චිත්‍රපටයට නිෂ්පාදන ක්‍රියාවලියෙන් සහ අර්ථපතිත්වයෙන් දායක වන්න ඔවුන් සුදානම්. ඔබට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. ඔබේ චිත්‍රපටයේ කෙටි සාරාංශයක් (Synopsis) සහ පිටපත (Script) සමග අධ්‍යක්ෂවරයාගේ දත්ත ඇතුලත් Director’s profile එකක් ඔවුන් වෙත යොමු කිරීම පමණයි. ඔබේ නිෂ්පාදනය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය සටහනකුත් ඒ සමගින් අමුණන්න අමතක කරන්න එපා. කොන්දේසිය වන්නේ මේ පිරිවැය 200,000/- වඩා අඩු විය යුතු වීම. අගෝස්තු 13 වැනිදා වනතුරු අයදුම් කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ අවස්තාව මගනොහැර භාවිතා කරන්න. ඔබේ නිර්මාණය වඩාත් නිර්මාණශීලි Project එක නම් තවදුරටත් එය සිහිනයක් නොවී, නිර්මාණයක් ලෙසින් එළිදක්වන්න ඔබට අවස්ථාව ලැබේවි.

37760487_2004717206239686_5725497696865746944_n

 

Share

“තුන්දෙනෙක්”චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වෙයි

$
0
0

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් නිෂ්පාදනය කළ “තුන්දෙනෙක් (Her Him and The other) චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් පසුගියදා කොළඹදී පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මෙම චිත්‍රපට දර්ශනය සංවිධාන කොට තිබුනා. රාජ්‍ය නිලධාරින් ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් සඳහා මෙම විශේෂ දර්ශනය සංවිධාන කෙරුනා. චිත්‍රපටයේ නිර්මාණ කරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මෙම දර්ශන වාරය සඳහා සහභාගී වුනා. අසෝක හඳගම සහ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරුන් සමග ප්‍රේක්ෂකාගාරය සුහද සංවාදයක යෙදුනේ චිත්‍රපට දර්ශනයෙන් අනතුරුවයි.

“සිනමාව හරහා, උතුරේ යුද්ධයෙන් පසුව දැනට පවතින තත්වය සහ තවමත් විසඳුම් නොලැබී පවතින ගැටළු පිළිබඳව චිත්‍රපටයක් කරන්න මගේ වගේම සහෝදර සිනමාකරුවන් දෙදෙනාගේමත් බලාපොරොත්තුවක් තිබුනා. මේ නිර්මාණය හරහා සිනමාව රසවිඳිනවා වගේම මේ ගැටළු පිළිබඳව යම් සමාජ අවධානයක් යොමු කරවන්නත් අපට හැකිවුනා කියල අපි විශ්වාස කරනවා” යනුවෙන් මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අසෝක හඳගම ප්‍රකාශ කළා.

අපේ චිත්‍රපටය මගින් යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ජන සමාජය මුහුණ පාන පොදු ගැටළු ගැන සාකච්චා කරන්න උත්සාහ කළා. ප්‍රේක්ෂකයා කවර පසුබිමකින් චිත්‍රපටය නැරඹීමට පැමිණියත්, මෙහි ඇති මානුෂිය සහ සත්‍යවාදී බව නිසාම  ඔවුන්ට එය  අනිවාර්යෙන්ම දැනෙන බව අපි විශ්වාස කරනවා. අපි උතුරු පළාතේ ජිවත් වන ආධුනික සිනමාකරුවන් සමග දෙදින වැඩමුළුවක් පැවැත්වුවා. ඒ අනුව එහි ජිවත් වනා ශිල්පිය දැනුම සහිත පිරිසක් තමා මගේ චිත්‍රපටයට මම යොදාගෙන තියෙන්නෙත්” යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

තුන්දෙනෙක් එක්ව නිර්මාණය කළ “තුන්දෙනෙක්” චිත්‍රපටය ළඟදීම මහජන ප්‍රදර්ශනය සඳහා සුදානම් කොට තිබෙනවා.

 

Share

යක්කු වගේ පොඩිඋන් ටිකක් හිටපු ඉස්කෝලයක්

$
0
0

ජිවිතේ සමහර හීන කාලාන්තරයක් තිස්සේ හිතේ තියනවා උනත් සමහර හීන ජිවිතේට එන්නේ අහම්බයකින්. ජිවිතේ කවදාවත් බලාපොරොත්තු නොවුනු සිහින දැකල ඒ හීන හැබෑකරගත්ත පොඩිඑවුන්ගේ කතාවක් ගැනයි මේ තොරතුර. “ඉරණමට පයින් ගැසූ පොඩ්ඩන්ගේ කතාව” කියලයි චිත්‍රපටයේ තේමා පාඨයෙන් කියවෙන්නේ. අතිශය දුෂ්කර දරිද්‍ර දෙමාපියන්ගේ දරුවන් පිරිසක් ඉන්න පුංචි ඉස්කෝලෙකට අහම්බෙකින් මාරුවීමක් ලැබිල එන ගුරුවරයෙක් නිසා මේ දරුවන්ගේ ජිවිත උඩු යටිකුරු වන ආකාරය මේ කතාවෙන් කියවෙනවා. මේ දිනවල දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කෙරෙන Goal චිත්‍රපටය ගැනයි මේ තොරතුරු.

රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කළ Goal චිත්‍රපටය නිෂ්පාදනය කලේ M – Entertainment ආයතනය. විධායක නිෂ්පාදනය සුසාර දිනාල්ගෙන්. ශ්‍රී ලාංකේය වේදිකා සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජයලත් මනෝරත්න මෙහි ප්‍රධාන කතානායකයා ලෙස රංගනයේ යෙදෙනවා. චාන්දනී සෙනවිරත්න, අනුලා බුලත්සිංහල, කෞශල්‍යා ප්‍රනාන්දු, නයනා හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි ප්‍රවීනයන් මෙහි රංගනයෙන් දායක වනවා. ඒ අතර අපූරු රංගනයෙන් දායක වන දරුවන් පිරිසක් චිත්‍රපටය හැඩ කරනවා.

සුරේෂ් මාලියද්දගේ මියුරු සංගීතය චිත්‍රපටයට අපූරු රිද්මයක් එක් කරනවා. කැමරා අධ්‍යක්ෂවරයා වුනේ පාලිත පෙරේරා. අජිත් රාමනායක මෙම චිත්‍රපටයේ සංස්කරණය සිදුකළා. ඉරණමට පයින් ගැසූ පොඩ්ඩන්ගේ කතාව දරුවන්ට අපූරු අත්දැකීමක් එක කරන චිත්‍රපටයක් වේවි. පාසල් නිවාඩුව ළඟ ලඟම එන නිසා දරුවන්ට විවේකිව කාලය ගෙවන්නත් ලැබෙනවා. ඒ විවේකි සැහැල්ලු නිවාඩු කාලයේ ජිවිතේ දිහා වෙනස් විදිහකට බලන්න, ඉලක්ක හඹායන්න පන්නරයක් ලබාදෙන මේ අපූරු සිනමාපටය නැරඹීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදීම වැඩිහිටියන් ඔවුන් වෙනුවෙන් කරන ආයෝජනයක් වෙන්නත් පුළුවන්.

Share

Mobile එකෙන් Short Film එකක් කරමුද..??

$
0
0

ඩිජිටල් යුගය ගැන, ඩිජිටල් පෙරලියක් ගැන දැන් දැන් බොහෝ දෙනා කතා වෙනවා. නමුත් මේ ඩිජිටල් පෙරලිය ශ්‍රී ලංකාවේ අපි වැළඳගන්නා ආකාරය ගැන යම් යම් ගැටළු නැතුවාම නොවෙයි. කොහොම වුනත් මේ පෙරලිය ධනාත්මකව බාර ගැනීම අනිවාර්යෙන් කල යුතුයි. එසේ නොවේනම් රටක් ලෙස අපි යම් පසුගාමී තැනක නතර වීම වැලැක්විය නොහැක්කක් වේවි. මේ නිසාම විවිධ ව්‍යාපෘති සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිතා කරමින් ඒ තුළට ප්‍රජාව එකතු කරගැනීම සිදුවිය යුත්තක්. මේ එවැනි අලුත්ම ව්‍යාපෘතියක් ගැන තොරතුරු.

Mobile phone එක මේ වෙද්දී අපි හැමෝගෙම අතේ හැම වෙලාවෙම දකින්න ලැබෙන, අපේ ජීවිතය එක්කම බැඳුනු උපකරණයක් බවට පත්වෙලා. විවිධ මාදිලියේ mobile phone තිබුනත් දැන් දැන් මේක smart device එකක් බවට පරිවර්තනය වෙලා. Smart phone එක නිසාම ඉතා පහසුවෙන් බොහෝ දේවල් mobile phone එක හරහාම කරගන්න හැකියාව තිබෙනවා. ඉතින් එහෙමනම් කෙටි චිත්‍රපටයක් (Short film) එකකුත් mobile එකෙන්ම කරන්න බැරි ඇයි..? ඔබට නිර්මාණශීලි අදහසක් තිබෙනවා නම්, ඒ අදහසට අනුව කෙටි වීඩියෝ නිර්මාණයක් කරලා මුදල් තෑගී දිනාගන්න දැන් අවස්ථාව උදාවෙලා.

“එක රටක් ලෙස හිතමු, විවිධත්වය අගය කරමු, ජාතින් අතර සහයෝගීතාව වර්ධනය කරමු” මේ තමයි ඔබට ලබාදෙන මාතෘකාව. මේ අදහස මතුවෙන ආකාරයෙන් නිර්මාණශීලි වීඩියෝවක් නිර්මාණ කරන්න, ඔබේ mobile phone එකෙන්. අවම විනාඩියක් සහ උපරිම විනාඩි දෙකක කාලයකට යටත්වයි ඔබේ නිර්මාණය සිදුකළ යුත්තේ. ජයග්‍රාහකයින්ට වටිනා මුදල් ත්‍යාග ලබාදීමට සංවිධායකයින් සුදානම්. පළමු ත්‍යාගය 50,000/=ක්, දෙවැනි ත්‍යාගය 40,000/=ක් සහ තෙවැනි ත්‍යාගය 30,000/=ක් වශයෙන් මුදල් ත්‍යාග දිනාගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම, වැඩිම Like ලබාගන්නා වීඩියෝවට 50,000/=ක විශේෂ මුදල් තිළිණයක් ලබා දෙන්නත් සූදානම්. ඔබේ නිර්මාණය නම, ලිපිනය, දුරකථන අංකය සමග email මගින් යොමුකළ හැකියි. අගෝස්තු 10 වැනිදා වනවිට මේ නිර්මාණ බාරගැනීමේ කටයුතු අවසන් කෙරෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් ඔබේ නිර්මාණශීලි වීඩියෝව යොමු කරන්නත් අමතක කරන්න එපා. srilankatogether9@gmail.com ඊමේල් ලිපිනයෙන් නිර්මාණ යොමුකළ හැකියි. වැඩි විස්තර අවශ්‍ය නම් Messenger මගින් සංවිධායකයින්ගෙන් විමසා දැනගන්නත් හැකියාව තිබෙනවා. ඔවුන් ඇමතීමට අවශ්‍ය නම්, m.me/SriLanka Together මගින් Messenger  හරහා ඔවුන් සම්බන්ධ කරගත හැකියි.

38059423_10216619349773662_1040043871372836864_n

Share

Horror Films බලන ඔබ වෙනුවෙන් – THE NUN ළඟදීම

$
0
0

චිත්‍රපට ලෝලීන් එකිනෙකා කැමති වෙනස් වෙනස් ආකාරයේ ශානරයන් අපට හමුවනවා. කැමැත්ත කියන එක පෞද්ගලිකයි. සමහරු කොමඩි චිත්‍රපට වැඩිපුරම බලද්දී තවත් පිරිසක් Drama, Action, Biographical, animation වගේ විවිධ අංශයන්ගේ චිත්‍රපට වලට කැමැත්තක් දක්වනවා. මේ අතර Horror Films බලන්න වැඩිපුරම කැමැත්තක් දක්වන බොහෝ පිරිසක් අපට හමු වනවා. මේ තොරතුර ඔවුන් වෙනුවෙන්මයි. ඔබත් Horror film lover කෙනෙක් නම්, සැප්තැම්බරයේ අපුරු හොලිවුඩ් චිත්‍රපටයක් රසවිඳින්න ඔබට අවස්ථාව ලැබෙනවා.

1952 කාලයේ රොමේනියාවේ වාසය කරන අත්දැකීම් අඩු නවක පුජකවරියක් වතිකානුවට පිටත්කර හරින්නේ එහිදී අභිරහස් ලෙස සියදිවි නසාගත් තවත් පුජකවරියකගේ මරණය සම්බන්ධ පරීක්ෂණයක් සිදුකොට තොරතුරු සොයාගැනීමට. මේ පූජකවරිය මුහුණදෙන අත්දැකීම් ඇසුරින් The Nun චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. 2016 වර්ෂයේ නිර්මාණය වුනු The Conjuring 2 චිත්‍රපටයේ spin-off එකක් ලෙස මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. චිත්‍රපටය 2018 සැප්තැම්බර් මාසයේ තිරගත කිරීමට අපේක්ෂා කෙරෙනවා.

Corin Hardy අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය Gothic supernatural horror චිත්‍රපටයක් ලෙස නම්කොට තිබෙනවා. චිත්‍රපටයේ තිර රචනය සිදුකොට තිබෙන්නේ Gary Dauberman විසින්. Demian Bichir, Jonas Bloquet, Taissa Farmiga, Charlotte Hope, Ingrid Bisu, Bonnie Aarons මේ චිත්‍රපටයේ චරිත සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා. පුර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමග ලොව පුරා සිනමා රසිකයින් බොහෝ දෙනෙක් චිත්‍රපටය පිලිබඳ දැඩි උනන්දුවකින් පසුවන බව සඳහන්. 15,500,000 අධික ප්‍රමාණයක් මෙම ප්‍රචාරක පටය නරඹා තිබීමෙන්ම එය පැහැදිලි වනවා. ඔබටත් එළඹෙන සැප්තැම්බර් මාසයේ 7 වැනිදා සිට The Nun නැරඹීමේ අවස්ථාව හිමි වනවා.

Share

සෝමරත්නට සහ රේණුකාට එරෙහිව නඩු පැවරීමට සැරසෙයි..??

$
0
0

නිෂ්පාදනය කිරීමට සැරසෙන අලුත්ම චිත්‍රපටයේ වැඩකටයුතු නවතන ලෙස දන්වා චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය වෙත ලියාපදිංචි තැපැල් මගින් ලිපියක් යොමුකොට තිබෙනවා. සිය සේවාදායකයාගේ උපදෙස් මත මෙම ලිපිය යොමුකොට ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරණ නීතිඥ ජානක එදිරිසිංහ විසින්. තම සේවා දායකයා වන දෙහිවල මල්වත්ත පාරේ අංක 66/3/1/1 ලිපිනයේ පදිංචි නඩරාජා මනිවානන් නැමැත්තා විසින් තිර රචනා කරන ලද සිනමා තිරපිටපතක් අනවසරයෙන් චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය / නිෂ්පාදනය කිරීමට සැරසෙන බව හෝ කර ඇති බව තමා වෙත දැනුම්දී ඇති බවත් එම ක්‍රියාවලිය නවතන ලෙසත් ලිපිය මගින් නීතිඥවරයා දැනුම්දී තිබෙනවා. ලියාපදිංචි තැපැල් මගින් යොමුකොට ඇති මෙම ලිපිය යොමුකොට ඇත්තේ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය වෙත බව සඳහන්.

2018 මාර්තු අප්‍රේල් කාලයේ මෙම තිර පිටපත විවිධ නිෂ්පාදකයින් වෙත යොමුකොට ඇති බවත් ඩයලොග් සමාගමද ඒ අතර වන බවත් තිර රචකයා තමාවෙත දැන්වූ බව නීතිඥවරයා ලිපියේ සඳහන් කරනවා. නමුත් එම කතාව යම් සුළු වෙනස් කිරීම් පමණක් සිදුකරමින් සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසුරිය එක්ව චිත්‍රපටයක් ලෙස  නිර්මාණය කිරීමට සැරසෙන බව ඔහු දැනගත් මොහොතේ නීතිඥවරයා මගින් මෙම ලිපිය යවන බවත් ලිපියේ සඳහන්. “2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත ප්‍රකාර සිවිල් වන්දි හා අලාභ උදෙසා මෙන්ම එහි දැක්වෙන අපරාධ වරද සංස්ථාපනය වීමක් සිදු වුවහොත් අපරාධ අධිකරණයේ නඩු පැවරීමටද මගේ සේවාදායක නිශ්චිතවම ක්‍රියාකරන බව සහ නීතියේ පිහිට පතන බව ඔබට දන්වන ලෙස මට උපදෙස් ලැබී තිබේ” යනුවෙන් එම ලිපියේ දැක්වෙනවා.

කෙසේ නමුත් ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසුරිය යුවල පසුගියදා අලුත් චිත්‍රපටයක වැඩ ආරම්භ කිරීමට යන බව තොරතුරු වාර්තා වුනා. නීතිඥවරයා විසින් යොමුකොට ඇති මෙම ලිපියේ පිටපත් මාධ්‍ය වෙත යොමුකිරීමටද එම පාර්ශවය කටයුතු යොදා තිබෙනවා.

 

 

Share

මං, මට අදාළ කෙනෙක් – Kangana Ranaut

$
0
0

උපුටා ගැනීමකි.      සටහන : ඉසුරු චාමර සෝමවීරගෙන්

***********************************************************

“මං මට අදාල කෙනෙක්, මං මහජනයාගෙන් කැමැත්ත ඉල්ලන කෙනෙක් නෙමෙයි.” මෙහෙම කියන්නෙ හිංදි සිනමා නිළියක්. ඇය කංගනා රනවුත්. ඇය මම කැමතිම හින්දි නිළියො දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් කෙනා කල්කි කෝච්ලින්.කංගනා ගැන ලියන්න හිතුවෙ සිනමා තිරයෙන් එළියෙ ඇය සටන් කාරියක් නිසා. රංගන ශිල්පිනියක් හැටියට නැතුව නිළියක් හැටියට ඇයව හැඳින්නුවෙත් හේතු ඇතිව. ඇයත් ඒ ගැන සවිඥ්ඥානික බව ඇයම කියනවා. ඇගේ කතාවත් චිත්‍රපටියක් වගේ. හිමාචල් ප්‍රදේශ්වල පොඩි නගරයක මධ්‍යම පාංතික පවුලක ඉපදුනු ඇයට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් ඉන්නවා. ඇයට වයස පහේදි ඇගේ තාත්තා බෝනික්කෙක් තෑගි දෙද්දි, ඇගේ සහෝදරයට සෙල්ලම් තුවක්කුවක් තෑගි දෙනවා. පුංචි කංගනා මේ සිද්ධියට විරෝධය පළ කරනවා. දෙමව්පියන්ගෙ උවමනාවට වෛද්‍යවරියක් වෙන්න හිතාගෙන ඒ සඳහා ඉගෙනගන්න ඇය වයස දාසයෙදි ඉගෙනීම නවත්තලා ගෙදරින් යන්න තීරනය කරන්නෙ තමන් කැමති වෘත්තියක් හොයාගෙන. ඇගේ දෙමව්පියො කොච්චර විරුද්ධ වුනත් ඇය යනවා. ඇය සිහින හඹායන්නියක්. දිල්ලියට යන ඇය මෝස්තර නිරූපන ඒජන්සියක් හරහා මෝස්තර නිරූපනය පටන්ගත්තත් ටික දවසකින්ම ඇයට ඒක එපා වෙනවා. නාට්‍ය කණ්ඩායමට බැඳෙන කංගනා වේදිකා රංගනය ඉගෙන ගන්නවා. ඈ ඒකට ආසා වෙනවා. වේදිකාවෙ ගැහැනු චරිත කරමින් ඉන්න අතරෙ ඇගේ සහය රංගන ශිල්පියෙක් ආවෙ නැති දවසක ඇය ඔහු විසින් කරමින් හිටිය පිරිමි චරිතයත් කරනවා. ඇය ඇගේ පවුලෙන් එවන මුදල් ප්‍රතික්ෂේප කරමින් ලාබ කුලී කාමර වල ජීවත් වෙන්න ගන්නවා. ලාබෙට ගන්න පුළුවන් පාන් සහ අච්චාරු විතරක් කමින් හිටි දවසුත් තිබුණු බව ඇය කියනවා.

චිත්‍රපට නිලියක් වෙන්න හිතාගෙන බොම්බායට යන ඇය තිර පරීක්ෂණ ගණනාවකින් අසමත් වෙනවා. “මට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා එදා හැමෝම හිනාවුණා” කියන ඇය අද ඉතාම සුන්දර විධියට ඉංග්‍රීසි භාෂාව හසුරවනවා. මුලින් තොරගත්තු නිළිය ප්‍රතික්ෂේප කරපු චරිතයක් අහම්බෙන් ලැබුණ ඇය ඒ හරහා සැබෑ නිලියකගෙ ආගමනය සටහන් කරනවා. ඒ “ගැන්ග්ස්ටර්” චිත්‍රපටියෙන්. ජාතික සිනමා සම්මාන තුනක් සහ, ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් මේ වෙද්දි දිනාගෙන ඉන්න කංගනා ඉතා අඩු වියදමකි කරපු “ක්වීන් – 2014” චිත්‍රපටියෙන් හින්දි සිනමාව හොල්ලනවා. ඇය අතිශය පැහැපත්, සුරූපී නිළියක් නෙමෙයි. සමේ පැහැය, භාෂාව, පංතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය වගේ දේ හරහා මිනිසුන්ට වෙනස්කොට සැලකීම ඈ දිගින් දිගට ප්‍රශ්න කරන්නෙ තමන්වම උදාහරනයට ගනිමිනුයි. සමහරු ඈව පිස්සු ගෑනියක් හැටියට හඳුන්වද්දි ඈ හිනාවෙනවා. “People say you have got balls, why can’t you say I have got a vagina” ඇගේ ප්‍රකාශය හරහා ඇය භාෂාවේ අවිඥ්ඥානික පුරුෂෝත්තම වාදය ප්‍රශ්න කරන්නෙ හාස්‍යකින්. සිනමාවේ පවුල් වාදය සහ ඥාති සංග්‍රහය ගැන කරන් ජොහාර් වගේ දැවැන්ත නිෂ්පාදකයින්ගෙන් ප්‍රශ්න කරන්නෙ සුන්දර රිදී තිරයේ අසුන්දර තැන් පෙන්වමින්. නිළියන්ට වඩා නළුවන් වැඩිපුර ගෙවීම් ලැබීමත් ඇය නැවත නැවත ප්‍රශ්න කරනවා. අහිංසක, යටත්වෙන සුළු සුන්දර ආශාවේ වස්තුව නිරූපනයෙන් එළියට ගිහින් කංගනා ගේම ඉල්ලන එක ගොඩක් තැන් වලදි ඇගේ උමතුවක් හැටියට අවමානයට ලක්වෙනවා. ඒක උමතුවක් නම් ඒ උමතුව මේ මොහොත විසින් ඉල්ලා සිටින්නක්. මට පිස්සු ආසාවක් තියෙනවා අරුන්දතී රෝයි ගැන හදන චිත්‍රපටියක අරුන්දතී රෝයිගෙ චරිතය කංගනා කරනවා බලන්න, ඒ ආසාවෙ තාර්කික බවක් නැතත් මං ආස ගෑනු දෙන්නෙක් එක්කෙනෙක් වෙන මොහොතක් වේවි ඒක. ඒත් කවුරුත් එහෙම චිත්‍රපටියක් හදන එකක් නැහැ. කංගනා දිගටම ගේම ඉල්ලන්න. ඔයා වෙනුවෙන්ම නෙමේ හැමෝම වෙනුවෙන්.

සටහන : ඉසුරු චාමර සෝමවීර

Share


Goethe Institute, මෙවර “සුපර්ණා”ගෙනඑයි

$
0
0

ජර්මානු සංස්කෘතික ආයතනය (Goethe institute) මාසික සිනමා දැක්මක් පවත්වනවා. සෑම මසකම පැවැත්වෙන මෙම සිනමා දර්ශනයට බොහෝවිට ඔවුන් තෝරා ගන්නේ ශ්‍රී ලාංකීය සිනමා අධ්‍යක්ෂවරයකුගේ තිරගත නොවූ පළමු නිර්මාණය. මෙය අලුත් සිනමාකරුවන්ට තමන්ගේ සිනමාපටය තෝරාගත් සීමිත ප්‍රේක්ෂකාගාරයක් සමග බෙදාගැනීමට අවස්ථාවක්ද වනවා. මෙවර එනම් අගෝස්තු මාසයෙත් මාසික සිනමා දැක්ම පැවැත්වීමට ඔවුන් සුදානම්.

රංගන ශිල්පී සුජීව ප්‍රියාල් යද්දෙහිගේ, රංගනයට අමතරව නිර්මාණකරණයට දායක වන්නේ අධ්‍යක්ෂවරයකු ලෙස. ඔහු අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ “ලෝරන්ස්ගේ මනමාලි” වේදිකා නාට්‍ය රටපුරා අති සාර්ථක අන්දමින් වේදිකාගත වුනා. සුජීව චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවුණු පළමු සිනමාපටය “සුපර්ණා”, මෙවර Goethe institute මාසික සිනමා දැක්ම සඳහා තෝරාගෙන තිබෙනවා. අගෝස්තු මස 8 වැනිදා සවස 6.00ට ජර්මානු සංස්කෘතික ආයතනයේදී මෙම චිත්‍රපටය තිරගත කෙරෙනවා. චිත්‍රපටයෙන් අනතුරුව නිර්මාණ ශිල්පීන් සමග සංවාදයක යෙදීමට ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව හිමිවනවා. #39, ග්‍රෙගරි පාර, කොළඹ 07 ස්ථානයේ ජර්මානු සංස්කෘතික ආයතනය පිහිටා තිබෙනවා.

38164243_10156286435052559_1022342318281195520_n

Share

සරසවියේදී, සරසවි වරම් ලැබූවෝ –සටහන උදිත ලක්මාල්ගෙන්

$
0
0

සටහන : උදිත ලක්මාල්කො කහඳවආරච්චි

**********************************************************

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 03 වෙනිදා නිමාව දුටු 34වෙනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී 2016 වසර වෙනුවෙන් වු කිරුළ දැරීමට ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කල සහ මහරාජා එන්ටර්ටෙයින්මන්ට් ආයතනය නිෂ්පාදනයන කල ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය සමත් විය.

2016 වර්ෂයේ මෙරට තිරගත වූ සිනමාපට 25 ක් අතුරින් සිනමාපට 08 ක් පෙරේදා දින උළෙලේ පිරිනැමූ ජූරි සම්මානයන් 26 කට සහ එක් ජනප්‍රිය සම්මානයකට හිමිකම් කියූ අතර, එහිදී 2016 වසර වෙනුවෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවකින් (07 ක්) පිදුම් ලැබූ සිනමාපටය බවටද ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය පත්විය.එහි දෙවෙනි තැන සෝමරත්න දිසානායකගේ ‘සරිගම’ සිනමාපටයටත් , තෙවෙනි තැන ප්‍රියන්ත කොළඹගේගේ ‘ආදරණීය කතාවක්’ සිනමාපටයටත් හිමිවිය.

2016 වර්ෂයේ තිරගත වූ සිනමාපට අගයනු වස් පැවති තෙවෙනි සිනමා සම්මාන උලෙළ මෙය වූ අතර ,මින් පෙර පැවති දෙරණ සහ සිග්නීස් සම්මාන උළෙලයන්හිදී සම්මාන ලද බොහෝදෙනෙකුට මෙම උළෙලේ ජූරිය විසින් ලාබා දුන් ජූරි තීරණ මත සම්මාන අහිමිව ගිය අතර , එහිදී දෙරණ , සිග්නීස් හා සරසවි යන ජූරි මණ්ඩල ත්‍රිත්වය හමුවේම වෙනසකට බඳුන් නොවූ එකම සම්මානය වූයේ ”හොඳම සංස්කරණය-තිස්ස සුරේන්ද්‍ර -මෝටර් බයිසිකල්’ යන සම්මානය පමනකි. මෙහිදී දෙරණ සම්මාන උලෙළේදී ‘මෝටර් බයිසිකල්’ වෙනුවෙන්ද ,සිග්නීස් සම්මාන උලෙළේදී ‘සයපෙති කුසුම’ වෙනුවෙන්ද ‘හොඳම නළුවා’ සම්මානයෙන් පිදුම් ලද දසුන් පතිරණ හට මෙම සම්මාන උලෙළේදී එකී සම්මානයෙන් පිදුම් ලැබීමේ අවස්ථාව හිමිවුවද , ‘ඇගේ ඇස අග’ වෙනුවෙන් පෙරකී සම්මාන උලෙළයන් ද්විත්වයේදීම සම්මානනීය වූ ස්වර්ණා මල්ලවාරච්චිහට, සරසවි සම්මාන උලෙළේදී ‘හොඳම නිළිය” සම්මානය අහිමිව යාම කැපී පෙනුනි. මෙහිදී එකී සම්මානය ‘සරිගම’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් පූජා උමාශංකර් වෙත පිරිනැමුනේ, මෙරට සම්මාන උලෙළකදී ඇය ‘හොඳම නිළිය” සම්මානයෙන් පිදුම් ලද පළමු අවස්ථාව මෙන්ම සරසවි සම්මාන උලෙළක ‘හොඳම නිළිය” සම්මානයෙන් පිදුම් ලද 20 වෙනි රංගන ශිල්පිනිය ලෙසින්ද ඉතිහාසයට එක්කරලමිනි.

2016 සම්මාන විසිරීම—-
මෝටර් බයිසිකල්- සම්මාන 07/ සරිගම- සම්මාන 06/ ආදරණීය කතාවක්- සම්මාන 05/ ඇගේ ඇස අග- සම්මාන 03/ සයපෙති කුසුම- සම්මාන 03/ උසාවිය නිහඬයි- සම්මාන 01/ ZOOM- සම්මාන 01/ පත්තිනි- සම්මාන 01

උළෙලේ ජූරිය—–
ගාමිණී වේරගම (සභාපති)/ බුද්ධදාස ගලප්පත්ති / තිලකරත්න කුරුවිට බණ්ඩාර/ වසන්ත කොටුවැල්ල/ අරුණ ලොකුලියන/ සමන්තිකා ප්‍රියදර්ශනී/ රෝහණ වෙත්තසිංහ

2016 ප්‍රණාම සිනමා සම්මාන ඛාණ්ඩය——
•රණ තිසර සම්මානය: රොබින් ප්‍රනාන්දු / සුවිනීතා වීරසිංහ
•රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මානය:ලක්ෂ්මන් වික්‍රමසිංහ

ජනප්‍රිය සිනමා සම්මාන ඛාණ්ඩය—-
•වසරේ ජනප්‍රියම සිනමාපටය (Blockbuster Movie of the Year- 2016 ): පත්තිනි – (අදායම රුපියල් කෝටි 21)

2016 විශිෂ්ටතා සිනමා සම්මාන ඛාණ්ඩය——-
•හොඳම චිත්‍රපටය (Best Picture): මෝටර් බයිසිකල්
•හොඳම සිනමාකර්ශණීය සිනමාපටය: ආදරණීය කතාවක් (ප්‍රියන්ත කොළඹගේ)
•හොඳම අධ්‍යක්ෂකවරයා (Best Director): අශෝක හඳගම (ඇගේ ඇස අග)
•හොඳම තිරරචනය (Best Screenplay): ශමීර රංගන (මෝටර් බයිසිකල්)
•හොඳම නළුවා (Best Actor): දසුන් පතිරණ (මෝටර් බයිසිකල්)
•හොඳම නිළිය (Best Actress): පූජා උමාශංකර් (සරිගම)
• හොඳම නිළිය සඳහා වූ ජූරියේ විශේෂ සම්මානය (Special Jury Award for Best Actress): රිතිකා කොඩිතුවක්කු (ඇගේ ඇස අග)
•හොඳම සහාය නළුවා (Best Supporting Actor): බිමල් ජයකොඩි (ආදරණීය කතාවක්)
•හොඳම සහාය නිළිය (Best Supporting Actress): ගයනි ගිසන්තිකා (සරිගම)
•හොඳම නැගීඑන නළුවා (Best Upcoming Actor): ජෙහාන් අප්පුහාමි (සයපෙති කුසුම)
• හොඳම නැගීඑන නිළිය (Best Upcoming Actress): යශෝධා රසදුනි (සයපෙති කුසුම)
•හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): විශ්ව බාලසූරිය (සරිගම)
•හොඳම සංස්කරණය (Best Editing): තිස්ස සුරේන්ද්‍ර (මෝටර් බයිසිකල්)
•හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සරිගම)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): අජිත් කුමාරසිරි (මෝටර් බයිසිකල්)
•හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): සුනිල් විජේරත්න/අසංක නීලවතුර (සරිගම)
•හොඳම වේෂ නිරූපණය (Best Make up): විදුර අබේධීර (සරිගම)
•හොඳම ගී පද රචනය (Best Lyrics): ශමීර රංගන- හීනත් අරන් එන්න (මෝටර් බයිසිකල්)
•හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male): අජිත් කුමාරසිරි – අම්මගේ මාලේ (මෝටර් බයිසිකල්)
•හොඳම පසුබිම් ගායිකාව (Best Singer- Female): කුෂානී සඳරේඛා – සිතුවිලි පුරා (ආදරණීය කතාවක්)
•ජූරියේ විශේෂ සම්මානය (Special Jury Award): උසාවිය නිහඬයි (ප්‍රසන්න විතානගේ)

2016 කුසලතා සම්මාන ඛාණ්ඩය—–
•සඳලි හඳගම (‘ඇගේ ඇස අග’ හී රංගනය වෙනුවෙන්)
•ශේෂාද්‍රි ප්‍රියසාද් (‘ZOOM’ හී රංගනය වෙනුවෙන්)
•භූමි හරේන්ද්‍ර (‘සයපෙති කුසුම’ හී රංගනය වෙනුවෙන්)
•උදාර සමරවීර (‘ආදරණීය කතාවක්’ හී සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන්)

මංජුල අයගම (ආදරණිය කතාවක් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන්)

තිරගත නොවූ කුළුදුල් සිනමාපට ඇගයීම උදෙසා වූ සම්මාන ඛාණ්ඩය- 2016—
•හොඳම සිනමාපටය උදෙසා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය: දැකලා පුරුදු කෙනෙක් (මලිත් හෑගොඩ)
•ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරියේ විශේෂ සම්මානය : බහුචිතවාදියා (මාලක දේවප්‍රිය)

Share

2017 වසර සඳහා සරසවි සම්මානයෙන් පුදලැබූවෝ

$
0
0

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

*********************************************************************

පසුගිය සිකුරාදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නිමාව දුටු 34 වෙනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී, 2017 වසරේදී තිරගත වූ සිනමාපට 26ක් අතුරින් වසරේ විශිෂ්ඨතම සිනමාපටය ලෙසින් ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කල සහ රසිත ජිනසේන නිෂ්පාදනය කල ‘විසි අට’ සිනමාපටය සම්මානයට පාත්‍ර වූ අතර, එහිදී වසරේ ජන ආකර්ශනීයම සිනමාපටය ලෙසින් චෙයියාර් රවී අධ්‍යක්ෂණය කල සහ මහරාජා එන්ටර්ටෙයින්මන්ට් ආයතනය නිෂ්පාදනයන කල ‘ධර්මයුද්ධය’’ සිනමාපටය සම්මානයට පාත්‍රවිය. 2017 වසරේදී තිරගත වූ සිනමාපට අගයනු වස් මේ වසරේ පැවති දෙවෙනි සිනමා සම්මාන උලෙළ මෙය වූ අතර , පසුගිය මැයි මස පැවති 06 වෙනි දෙරණ සිනමා සම්මාන උලෙළේදීද පෙරකී සම්මාන ද්විත්වය එලෙසින්ම දිනා ගැනීමට ‘විසි අට’ සහ ‘ධර්මයුද්ධය’’ සමත් වීම විශේෂත්වයකි.

2017 වසරේදී තිරගත වූ සිනමාපට අතුරින් නිර්මාණ 13 ක් සරසවි සම්මාන උළෙලේදී සම්මාන 27 කින් පිදුම් ලැබීමට සමත් වූ අතර, එහිදී වැඩිම සම්මාන සංඛ්‍යාවකින් (05 ක්) පිදුම් ලැබූ සිනමාපට ලෙසින් සමතැන් ගැනීමට ‘විසි අට’ සහ චත්‍ර වීරමන්ගේ ‘ආලෝකෝ උදපාදී’ සමත් විය. එහි තෙවෙනි තැන ආරියවංශ දෙසොයුරන්ගේ ‘ප්‍රේමය නම්’ සිනමාපටයට හිමිවිය.

දෙරණ උළෙල හා සැසදීමේදී සරසවි සම්මාන උළෙලේ ජූරී තීරණයන්හී බොහෝ වෙනස්කම් දක්නට ලැබුනු අතර , එහිදී දෙරණ සිනමා සම්මාන උලෙළේදී ‘හොඳම නළුවා’ වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරට හෝ එක් වීමට සමත් නොවූ සෞම්‍ය ලියනගේ සරසවි සිනමා සම්මාන උලෙළේදී ‘හොඳම නළුවා’ ලෙසින් කිරුළ දැරීම කැපී පෙනුනි. එසේම දෙරණ උළෙලේදී හොඳම නිළිය සම්මානය ලද දිල්හානි ඒකනායකට සරසවිය උළෙලේදී එකී සම්මානයෙන් පිදුම් ලැබීමේ අවස්ථාව අහිමිව ගිය අතර, එහිදී සමනලී ෆොන්සේකා සිය සිනමා රංගන ගමන්මගේ පළමු වරට ‘හොඳම නිළිය” ලෙස කිරුළ දරමින්, සරසවි සම්මාන උලෙළක ‘හොඳම නිළිය” සම්මානයෙන් පිදුම් ලද 21 වෙනි රංගන ශිල්පිනිය ලෙසින් ඉතිහාසයට එක්විය.

2017 සම්මාන විසිරීම—-
විසි අට- සම්මාන 05/ ආලෝකෝ උදපාදි- සම්මාන 05/ ප්‍රේමය නම්- සම්මාන 03/ ධර්මයුද්ධය- සම්මාන 02/ නිනෝ ලයිව්- සම්මාන 02/ අලි කතාව- සම්මාන 02/ බන්ධනය- සම්මාන 02/ නිම්නයක හුදකලාව- සම්මාන 01/ සුළඟ ගිනි අරන්- සම්මාන 01/ කාල- සම්මාන 01/ ඒ ලෙවල් – සම්මාන 01/ පහ සමත්- සම්මාන 01/ දේදුනු ආකාසේ- සම්මාන 01

උළෙලේ ප්‍රධාන ජූරිය—–
ගාමිණී වේරගම (සභාපති)/ බුද්ධදාස ගලප්පත්ති / තිලකරත්න කුරුවිට බණ්ඩාර/ වසන්ත කොටුවැල්ල/ අරුණ ලොකුලියන/ සමන්තිකා ප්‍රියදර්ශනී/ රෝහණ වෙත්තසිංහ

2017 ප්‍රණාම සිනමා සම්මාන ඛාණ්ඩය——
•රණ තිසර සම්මානය: ධර්මසිරි බණ්ඩාරනායක / ශ්‍රියානි අමරසේන
•රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මානය: ඩයස් ගුණරත්න

ජනප්‍රිය සිනමා සම්මාන ඛාණ්ඩය—-
•වසරේ ජනප්‍රියම සිනමාපටය (Blockbuster Movie of the Year- 2017 ): ධර්මයුද්ධය -(අදායම රුපියල් කෝටි 22.4)

2017 විශිෂ්ටතා සිනමා සම්මාන ඛාණ්ඩය——-
•හොඳම චිත්‍රපටය (Best Picture): විසි අට
•හොඳම සිනමාකර්ශණීය සිනමාපටය: ආලෝකෝ උදපාදි (චත්‍ර වීරමන්)
•හොඳම අධ්‍යක්ෂකවරයා (Best Director): ප්‍රසන්න ජයකොඩි (විසි අට)
•හොඳම තිරරචනය (Best Screenplay): ප්‍රසන්න ජයකොඩි (විසි අට)
•හොඳම නළුවා (Best Actor): සෞම්‍ය ලියනගේ (නිම්නයක හුදකලාව)
•හොඳම නිළිය (Best Actress): සමනලී ෆොන්සේකා (ප්‍රේමය නම්)
•හොඳම සහාය නළුවා (Best Supporting Actor): රොෂාන් රවීන්ද්‍ර (සුළඟ ගිනි අරන්)
•හොඳම සහාය නිළිය (Best Supporting Actress): යුරේනි නොෂිකා (නිනෝ ලයිව්)
•හොඳම නැගීඑන නළුවා (Best Upcoming Actor): දිනෙත් ද සිල්වා (ආලෝකෝ උදපාදි)
• හොඳම නැගීඑන නිළිය (Best Upcoming Actress): තිසුරි යුවනිකා (ධර්මයුද්ධය)
•හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): චන්දන ජයසිංහ (විසි අට)
•හොඳම සංස්කරණය (Best Editing): රංගන සිංහාරගේ (විසි අට)
•හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): සසික රුවන් මාරසිංහ (ආලෝකෝ උදපාදි)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): රෝහණ වීරසිංහ (ප්‍රේමය නම්)
•හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): සුනිල් විජේරත්න (ආලෝකෝ උදපාදි)
•හොඳම වේෂ නිරූපණය (Best Make up): ජයන්ත රණවක (ආලෝකෝ උදපාදි)
•හොඳම ගී පද රචනය (Best Lyrics): රජී වසන්ත වෙල්ගම – දහදිය සුවඳ මහනෙලක් (කාල)
•හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male): දුමාල් වර්ණකුලසූරිය – නිවීගිය සඳ පහන (ප්‍රේමය නම්)
•හොඳම පසුබිම් ගායිකාව (Best Singer- Female): විදුෂා නේත්‍රාංජලී- සීත ගඟූල් ඇද හැලේ (අලි කතාව)

2017 කුසලතා සම්මාන ඛාණ්ඩය—–
•සහේලි සතරසිංහ (‘බන්ධනය’ හී රංගනය වෙනුවෙන්)
•කේෂලී රාජපක්ෂ (‘ඒ ලෙවල් ‘ හී රංගනය වෙනුවෙන්)
•අමිරු කෝරළගේ (‘පහ සමත්’ හී රංගනය වෙනුවෙන්)
•ඉරෝෂාන් මදුසංක (‘අලි කතාව’ හී ‘ නිල් තණ කොල බුදින්ටයි’ ගීතය ගායනය වෙනුවෙන්)
•තිසර ඉඹුලාන (‘නිනෝ ලයිව්’ අධ්‍යක්ෂණය වෙනුවෙන්)
•රංග එස්. බණ්ඩාර (‘දේදුනු ආකාසේ’ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන්)
•සිද්ධාර්ථ නයනානන්ද, බුද්ධික විජේරත්න, සමින්ද වටවල විතානගේ (‘බන්ධනය’ හී පරිගණක ග්‍රැපික් නිර්මාණය වෙනුවෙන්)

තිරගත නොවූ කුළුදුල් සිනමාපට ඇගයීම උදෙසා වූ සම්මාන ඛාණ්ඩය- 2017—
ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මාන ජූරිය—–
ප්‍රසන්න විතානගේ/ අශෝක හඳගම/ විමුක්ති ජයසුන්දර/ අනෝමා රාජකරුණා/ උදයකාන්ත වර්ණසූරිය/ බූඩී කීර්තිසේන
•හොඳම සිනමාපටය උදෙසා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය: සම්මානය පිරිනොනමන ලදී
•ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරියේ විශේෂ සම්මානය : රතු සමනල හීනයක් (ප්‍රියන්ත කළුආරච්චි)

Share

ALFA මාසික සිනමා දැක්ම මෙවර Dora සමගින්

$
0
0

ALFA මාසික සිනමා දැක්ම සෑම මසකම පැවැත්වෙන්නේ සිනමා සංවාද මණ්ඩපයක්ද සමගින්. තෝරාගත් චිත්‍රපටයක් සමග එම චිත්‍රපටය හරහා කතාබහ කෙරෙන මාතෘකාව සම්බන්ධ සංවාදයක් පැවැත්වීමත් මෙහිදී සිදු කෙරෙනවා. මෙවරත් අගෝස්තු මාසයට අදාලව සිනමා දැක්ම පැවැත්වීමට කලාව සඳහා ක්‍රියාකාරී ලීගය (ALFA) කටයුතු යොදා තිබෙනවා. අගෝස්තු මස 12 වැනිදා ඉරිදා සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ ශ්‍රවණාගාරයේදී මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. චිත්‍රපටය පිලිබඳ මුලික අදහස් දැක්වීම සඳහා බූපති නලින් සමග කේ.කේ.සමන් කුමාර එක්වීමට නියමිතයි.

38641815_229731471214023_9156464697015271424_n

2015 වර්ෂයේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටය Stina Werenfles විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. චිත්‍රපටයේ තිර රචනය සඳහා Lukas Barfuss, Boris Treyer, Stina Weeranfles එක්ව තිබෙනවා. Victoria Schulz, Jenny Schily, Lars Eidinger, Urs Jucker ඇතුළු පිරිසක් මෙම චිතපටය සඳහා රංගනයෙන් දායක වනවා. චිත්‍රපටය නැරඹීමට සහ ඒ පිලිබඳ සංවාදයට එක්වීමට ALFA අන්විධානය සිනමාලෝලින්ට ආරාධනා කරනවා.

Share

මාලිනී රංග න්‍යාය –තරංගනී සිනමාහලේදී

$
0
0

ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ විශේෂිත නමක් හිමිකරගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක වන මාලනී ෆොන්සේකා ඇගයීම උදෙසා විශේෂ වැඩසටහනක් සංවිධාන කෙරෙයි. අගෝස්තු මස 8 වැනිදා උදේ 10.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්වේ. “මාලනී රංග න්‍යාය” නමින් මෙම වැඩසටහන නම්කොට තිබේ. වැඩසටහනේ ප්‍රධාන දේශනය ප්‍රවීණ රංගන ශිල්පි සහ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි විසින් පැවැත්වීමට නියමිතය.

38640758_1051997194948295_7525518155611897856_n

1947 වසරේ උපත ලැබූ වන්නිආරච්චිගේ මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා දේශීය සිනමාවේ “නිළි රැජිණ” ලෙස නම් ලැබීම දක්වා වූ කාලය සහ ඒ කාලය තුළ ඇය දැක්වූ ප්‍රතිභාව පිලිබඳ මෙහිදී සාකච්චාවට ගැනෙනු ඇත. තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ 1968 වසරේ තිරගත වුනු පුංචි බබා චිත්‍රපටයේ සිට මේ දක්වා ඇය රංගනයෙන් දායක වුනු බොහෝ චරිත ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී තිබෙන්නේ ඇගේ රංග ප්‍රතිභාව හේතුවෙනි.ඇගේ රංගනය පිලිබඳ මේ වැඩසටහනේදී කතාබහ කෙරෙනු ඇති.

Share

සිතිවිල්ලකට සීමාවුනු, සැබෑ නොවූ ආදරය ගැන දෙව්නක සහ කවින්ද්‍යා කතා කරයි

දුව ගායිකාවක් කරන්න, ගායිකාවක් පැහැරගත් පියෙක්

$
0
0

අමතර වැඩක් විදිහට ගායක කණ්ඩායමක සාමාජිකාවක් විදිහට වැඩකරන Prashanth Kumar ගායකයෙක් වෙන්න හීන දැකපු කෙනෙක්. නමුත් විවිධ කාරණා නිසා ඔහුගේ සිහිනය සැබෑ වෙන්නේ නැහැ. අවසානයේ ඔහුගේම දියණිය උපන් දවසේ ඉඳන් ඇය ජනප්‍රිය ගායිකාවක් කිරීමයි ඔහුගේ ජිවිතයේ එකම අරමුණ වන්නේ. ඔහු ඇයට “ලතා” කියන නම යොදන්නෙත් ඇයව ගායිකාවක් කරවීමේ අරමුණින්මයි. ලතාට හොඳ හඬක් තියෙනවා වුනත්, ඇගේ විශාල ශරීරය ඇගේ ගායිකා සිහිනය බොඳ කරනවා. ඇය වඩාත් කැමති ගායිකාව වන්නේ Baby Singh. අවසානයේ Prashanth වැඩකරන ආයතනය වසා දැමීමට සිදුවීමත් එක්කම ඔහු ටැක්සි රියදුරෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මේ අතර දවසක Baby Singh කිසියම් ගමනක් වෙනුවෙන් Prashanth ගේ ටක්සියට නගිනවා. Prashanthගෙන් වතුර බෝතලයක් ඉල්ලන ඇයට ලැබෙන්නේ නිදිපෙති කලවම් කළ වතුර. Prashanth මේ විදිහට Baby Signh පැහැර ගන්නවා. ඔහුගේ උදවුවට එන්නේ ඔහුගේ ලඟම මිත්‍රයා Adir. මේ දෙදෙනා කරන්න යන්නේ කුමක්ද? ලතාගේ ගායිකා සිහිනය සැබෑ වෙයිද? Prashanthට කුමක් වේද..? මේ ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබාගන්න නම්, ඔබ මේ දිනවල ලෝකය වටා සාර්ථක ලෙස තිරගත වන Fanney Khan චිත්‍රපටය නැරඹිය යුතු වනවා. Anil Kapoor සහ Aishwarya Rai Bhachchan මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වනවා. Rajkumar Rao ඔවුන් දෙදෙනා සමග Adir ලෙස රංගනයට එකතු වනවා.

චිත්‍රපටය නිර්මාණ කටයුතු ආරම්භ වන්නේ 2016 වසරේ. නමුත් විවිධ හේතු නිසා වැඩ අවසන් කිරීම ප්‍රමාද වනවා. වරක් මේ චිත්‍රපටය වෙනුවෙන් වෙනමම ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් ගෙන්වන්න සිදුවන්නේ Aishwarya Rai ඇය වෙනුවෙන් නිමවා තිබූ ඇඳුම් ප්‍රතික්ෂේප කිරීම නිසා. ඒ අනුව වෙනත් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්  (Manish Malhotra) භාවිත කරමින් යළි වැඩ ආරම්භ කළා.  නමුත් යළි වැඩ නවතා දැමීමට සිදුවන්නේ නිෂ්පාදන සමාගම විසින් අදාල ගෙවීම් ප්‍රමාද කිරීම නිසා. අවසානයේ T-Series අ   සමාගම මගින් ව්‍යාපෘතිය මිළදී ගෙන චිත්‍රපටයේ කටයුතු අවසන් කොට තිබුනා. අගෝස්තු 3 වැනිදා සිට ලොව පුරා මෙම චිත්‍රපටය තිරගත කිරීම් සිදුවනවා.

Musical comedy චිත්‍රපටයක් ලෙස මෙය නම්කොට තිබෙනවා. තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කලේ Atul Manjekar විසින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Priyanka Chopra සහ R.Madhawan දෙදෙනා තෝරාගෙන තිබුනත් අවසානයේ එම චරිත සඳහා සහභාගී කරගත්තේ Aishwarya Rai සහ Rajkumar Rao දෙදෙනායි. Amrit Trivedi චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළා. විනාඩි 129ක් පුරා තිරගත වන මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයාට අපූරු අත්දැකීමක් වන බවට විචාරක මත පලවී තිබුනා.

Share


ජාත්‍යන්තර සම්මාන දිනූ Frozen Heart පුළුල් තිරයේ නරඹන්න

$
0
0

ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් විවිධ ජයග්‍රහණ සමග ජාත්‍යන්තරය ජයගනිමින් ඉන්න ප්‍රවණතාවක් අපට දකින්න ලැබෙනවා. ලාංකීය සිනමාව තුළ මෙය වැදගත් සලකුණක් බවයි බොහෝ දෙනාගේ මතය. කෙසේ නමුත් ජාතිකව හෝ ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුනත් මේ නිර්මාණ පොදු ප්‍රේක්ෂකයා වෙත සමීප කරන එක ලංකාවේදී එතරම් පහසු නැහැ. ඒ, නිර්මාණ කරුවන්ට ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කළ හැකි නිසි ක්‍රමවේදයක් මෙරට නොතිබීම නිසා.

ඒ කෙසේ නමුත්, කිහිප වරක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල වලදී සම්මානයට පාත්‍රවුනු, ඒ වගේම සම්මාන උළෙල රැසක් නියෝජනය කරන්නට සමත් වුනු කෙටි චිත්‍රපටයක් පුළුල්තිර මහජන ප්‍රදර්ශනයකට සුදානම් වනවා. තරිඳු ලොකුආරච්චිගේ නිර්මාණය කළ Frozen Heart කෙටි චිත්‍රපටය ඒ. අගෝස්තු මාසේ 13 වැනි සඳුදා සවස 5.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. චිත්‍රපටයෙන් පස්සේ සංවාදයක් පවත්වන්නත් ඔහු අපේක්ෂා කරනවා.

වැඩසටහන මෙහෙමයි. සවස 5.00 සිට අමුත්තන් පිළිගනිම සහ රතු පලස පැවැත්වෙනවා. ඉන් අනතුරුව කෙටි චිත්‍රපටය තිරගත කෙරෙනවා. මූලික කෙටි අදහස් දැක්වීම් සඳහා පස්දෙනෙක් සම්බන්ධ වීමට නියමිතයි. සිනමාවේදී ප්‍රසන්න ජයකොඩි, නදී වාසලමුදලිආරච්චි, භූපති නලින් වික්‍රමගේ, නදී කම්මැල්ලවීර සහ මාලක දේවප්‍රිය මේ කෙටි අදහස් දැක්වීම් වලට සම්බන්ධ වනවා. සංවාදය මෙහෙයවන්නේ ධනුෂ්ක ගුණතිලක විසින්.

මේ අවස්ථාව නිර්මාණකරුවාට වගේම කෙටි චිත්‍රපට කරුවන්ටත්, ක්ෂේත්‍රය පිලිබඳ උනන්දු බොහෝ දෙනෙකුටත් අතිශය වැදගත් අවස්ථාවක් වේවි. ඒ නිසා සිනමාවට ආදරය කරන, ඒ සිනමාවේ අලුත් පරපුරකට ආදරය කරන ඔබ සැමට මේ අවස්ථාවට සහභාගී වන ලෙස ආරාධනා කෙරෙනවා.

38731255_247436775887704_6999670534875119616_n

Share

ඝරසරප දිවයින පුරා සිනමාහල්වලදී

$
0
0

දේශීය සිනමාවට 2018 වර්ෂයේ නිර්මාණය වුනු සුවිශේෂී චිත්‍රපටයක් පසුගිය 10 වැනිදා තිරගතවීම ආරම්භ වුනා. ඒ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ඝරසරප චිත්‍රපටය. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂයකයින්ට හොඳින් හුරු පුරුදු නමක්. වෙනස් ආකාරයේ සිනමා නිර්මාණ සමග ජයන්ත ඔහුගේ ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කොට තිබෙනවා. අග්නිදාහය, ගරිල්ලා මාකටිං ඒ අතර විශේෂයි. මෙවර ඔහු, ආදරය, ප්‍රේමය පිළිබඳව වෙනස් මානයක කතිකාවකට ප්‍රේක්ෂකයාට ආරාධනා කරන බව චිත්‍රපටය නැරඹු ඇතැමෙක් ප්‍රකාශ කොට තිබුනා.

ඝරසරප දැන් දිවයින පුරා තිරගත වනවා. චිත්‍රපටයේ නළුවරණය ජයන්තට සුපුරුදු සමීප හැඩයම නියෝජනය කරනවා වුනත් අලුත් මුහුණු දෙකක් ඔහුගේ මේ නිර්මාණයට ප්‍රධාන චරිත සඳහා තෝරා ගැනෙනවා. ඒ කවින්ද්‍යා අදිකාරී සහ දෙව්නක පෝරගේ. ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, සංගීතා වීරරත්න, අමිෂා කාවින්දි ඇතුළු රංගන ශිල්පින් චිත්‍රපටයේ චරිත සඳහා දායකවී තිබෙනවා. ප්‍රභාත් රෝෂන්ගේ කැමරාවත් චින්තක ජයකොඩිගේ සංගීතයත් චිත්‍රපටයට වෙනස්ම හැඩයක් එක්කිරීමට සමත්ව තිබෙන බවත් පැවසෙනවා.

දේශීය සිනමාවට සහ දේශීය සිනමාවේ ජයන්ත චන්ද්‍රසිරි සලකුණට කැමති ප්‍රේක්ෂකයින්ට දැන් දිවයින පුරා තිරගත වන ඝරසරප නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

Share

විශ්වාසයත් ආදරයත් අතර දෝලනය වූ අන්ධකාරයේ පුරාවෘත්තය

$
0
0

සටහන : තාරුක පෙරේරා

****************************************************

ජයන්ත චන්ද්‍රසිරි නව්‍ය සිනමා ආමන්ත්‍රණය, “ඝරසරප” නැරඹුවෙමි. ආදරයත් විශ්වාසයත් ඒකාබද්ධ නොවූ තැන ජය ලබන මිත්‍යාවේ පුරාවෘත්තය සිනමාත්මකව සමාජගත කිරීමෙහිලා සමර්ථ වූ මෙම සිනමා කෘතිය කාලීනව මෙන්ම නිර්මාණ අගයෙන් ද ඉතා වටිනේය. “ඝර” යන සංස්කෘත වචනය ගෙය යන්න අර්ථවත් කරන අතර ගෙට ඇතුළුවන සර්පයා මෙහි වාච්‍යාර්ථයයි. හෘදය නැමැති ගෙය ආදරය, විශ්වාසය ආදී දෙයින් හිස්වූ තැන එම ගෙට ඇතුළුවන අදෘශ්‍යමාන ජීව ප්‍රතිරූපකයා ඉන් මත්තට එකී ගෙයි ඇතිකරන ව්‍යසන මෙම සිනමා කාව්‍ය මත හරි අපුරුවට කතා කර තිබිණි. “සදරැස්” – “විද්‍යා” ප්‍රේම වෘතාන්තය සහ කළු මහත්තයා නැතිනම් කළු කුමාරයාගේ මනෝ ආක්‍රමණය මෙහි කතාවේ හරය ලෙස පෙන්වාදිය හැකිය. සිනමාපටයේ කතාව කුමක්දැයි දැනගැනීම ප්‍රේක්ෂකයා සතු කර්තව්‍යයක් බැවින් කතාව නොලියන අතර මෙහි මා දුටු හොද නරක සහ ඇගයුම් ගැරහුම් මෙතැන් පටන් සටහන් කරමි.

ප්‍රථමයෙන් සිනමාපටයේ රංගකාරික පිරිවරේ කාර්‍යසාඵල්‍යය වෙන වෙනම විමසීම සුදුසුය. දෙව්නක පෝරගේ මෙහිලා කැපීපෙනෙන සදරැස්ගේ තරුණ අවදියේ චරිතය රංගනය කරන තරුණ රංගන ශිල්පියාය. ඔහු  රූපවාහිනිය සේවනය කළ රසික අපට ආගන්තුක නැත. ලිපිය ලියන මගේ සමකාලීන ළමා නළුවෙකු ලෙසින් මා බාල වියේ රංගනයට ප්‍රවිශ්ට වූ දෙව්නක පිළිබද අප තැබූ විශ්වාසයත් සමග ඔහු ද උස් මහත් වී යොවුන් සිනමා රංගනයක නියැළීම පුද්ගලිකව මා අත්විදි සතුටකි. ඔහුගේ රංගනයන් කතාවේ චරිතය හා ස්වභාවිකව ගැළපුණේ, ආයසයක් දරා මවා ගතයුතු චරිතයක් ඔහුට හිමි නොවුණු බැවිනි. දෙව්නකට තිබුණේ තමාගේ නිසි වයස් නියෝජනයක තිරපිටපතට අනුව සදරැස් ගොඩනැංවීමය. එහිලා ඔහු සමතෙකු වූවේය. එතෙක් යොවුන් ගායිකාවක ලෙසත්, “අතුල-සමිතා” සත්සර සුසංයෝගයේ අනුප්‍රාප්තිකාව ලෙසත් අප හදුනාගෙන සිටි කාවින්ද්‍යා අධිකාරි සිනමාවරම් ලබනුයේ ද මෙහි විද්‍යාගේ තරුණ කල චරිතය හරහාය. කුළුදුල් සිනමා නිර්මාණය වුවත් කාවින්ද්‍යා සිය චරිතය තුළ රංගනයට ආධුනික බවක් නොදැක්වීය. දෙව්නක හා කාවින්ද්‍යා දෙපළම සිය චරිතයන් ආකර්ෂණීය අන්දමින් ඉදිරිපත් කරන්නට සමත් වූයේ කෙළිළොල් ප්‍රේමයක අහිංසක චමත්කාරය ද ගම්‍යමාන කරමිනි. ආධුනික වුවත් දෙදෙනා තුළම දුටු ප්‍රතිභාපූර්ණ පොදු ලක්ෂණයක් ප්‍රේක්ෂකාගාරයේ සිටි මා හට ග්‍රහණය කර ගැනීමට හැකිවිණි. එනම් ඔවුන් දෙදෙනා තුළින් වරින් වරම දුටු තත්පර ගණනක හැගීම් රහිත හිස් මුහුණුය. එය මෙසේ විස්තර කිරීම උචිතය. වර්ණාලිප්ත මල් බදුනකට මල් දමනවාට වඩා වර්ණ රහිත සුදු හෝ වීදුරු බදුනකට මල් දැමූකළ මල්වල සුන්දරත්වය දැකගැනීම පහසුය. එමෙන්ම හැගීම් නිරූපිත මුහුණකට වඩා හිස් මුහුණකින් ප්‍රේක්ෂක චින්තනය රිසි ලෙස හැසිරවිය හැකිය. ඔවුන් දෙදෙනා ඔවුනොවුන් දෙස බලන ප්‍රේමාන්විත මුහුණු ඔවුන්ගේ ප්‍රේමය පමණක් පෙන්වන අතර ඔවුනොවුන් හමුවන අතරමැද වන තත්පර ගණනේ නිරුවත් මුහුණු රසිකයාට සුදුසු හැගීම් ධාරාවක් චරිතයට ආරෝපණය කිරීමට අවකාශය සලස්වා දී ඇත. භාව ප්‍රකාශනයන්ගෙන් පොහොසත් චරිත නිරූපණය තුළ සුළු වශයෙන් භාවයෙන් හිස් මුහුණ තිරයේ ගෙනහැර දැක්වීමෙහි වරදක් නොමැති බව හැගේ. වයස අවුරුදු දහසය – දහඅට අතර කාල පරාසයේ හිරිමල් යෞවනයේ ආදරය චංචල බව අධ්‍යක්ෂවරයා නිර්මාණශීලිව කතාගත කර තිබුණි. සදරැස් සහ විද්‍යාගේ වැඩිහිටි අවදියන් නිරූපණය කරන කමල් අද්දරආරච්චි සහ සංගීතා වීරරත්න ද චිත්‍රපටය තුළ නිදහසේ උපරිම රංගනයක් වෙත ළගාවෙනු දක්නට ලැබිණි. චිත්‍රපටය පසසන මා දුටු චිත්තාකර්ෂණීයම අංගය චිත්‍රපටයේ චරිතවල පෙර පර සන්ධි එකිනෙකට හරි අපූරුවට ගැළපී තිබීමය. “දෙව්නක – කාවින්ද්‍යා” සහ “කමල් – සංගීතා” පුදුමාකරව එකට ගැළපුනි. කමල් අද්දරආරච්චි මෙහි කළ ආචාර්ය සදරැස්ගේ චරිතය පරිණත නමුදු නිදහස් සැහැල්ලු විනෝදකාමි සැමියෙකු තිරය මතට කැන්දාලීය. සංගීතා වීරරත්න කළ මනෝවෛද්‍ය විද්‍යාගේ චරිතය ද පරිණත මෙන්ම සුහදශීලි වෘත්තිමය ස්වරූපයක් නිරූපණයට සමත් විය. කතාවට අනුව සදරැස් සහ විද්‍යා යන දෙදෙනාම වෙන් වෙන් වශයෙන් විවාහක නමුත් ආධ්‍යාත්මිකව එකට බැදී වසර ගණනක් ශක්තිමත් දුරස්ථ හෘද බන්ධනයකට හිමිකම් කියන දෙදෙනෙක් වූ අතර කමල් – සංගීතා සංයෝජනය මෙකී බන්ධනය නිර්මාණශීලිව හා සිනමාත්මකව තිරය මත ස්ථාපනය කෙරීය. ඉන් මත්තේ චිත්‍රපට කථකයා වු කළු මහත්තයා ගැන කතා කරනුයේ නම් එය මනෝකාය සමග බැදී ඇති චරිතයකි. රංගධර ජැක්සන් ඇන්තනී කළු කුමාරයා ආරූඪ කරගත් අයුරු ප්‍රශංසා කටයුතු වේ. මන්ද වෙනදා අප ජැක්සන්ගෙන් දකින ප්‍රතාපවත් මුහුණ වෙනුවට තමා නිර්භය යැයි පෙන්වීමට හදන බියෙන් වෙළෙන අසරණවූ කළු කුමාරට ඔබින ලෙසින් වූ විලම්භීත මුහුණක් මෙහිදී දක්නට ලැබිණි. කළු කුමාරයා වඩ වඩාත් ගණුදෙණු කළේ තරුණ සදරැස් හෙවත් ගල් මූසලයා සමගින් ය. තොයිල් බිමේ ඔවුන් දෙදෙනා අතර ඇතිවන සංවාදය සිත්ගන්නාසුළුය. ඒ කෙසේද යත් ; ප්‍රේමය හමුවේ වීරයෙකු වූ සදරැස් ද යටහත් පහත්ව කළු කුමාර ඇමතුමත්, තම ගොදුර සොදුර කරගත් සදරැස් වෙත අවුත් කාරුණික මෙන්ම විශ්වාසනීයව කළුකුමාර ඇමතුවමත් රසික අප මොහොතකට හෝ ඉවතට නොගත් ජවනිකාවක් වූ බව විශ්වාසය. සමස්තයක් ලෙස ජැක්සන්, කමල් හා සංගීතා සුපුරුදු භාව ප්‍රකාශන සහ රංග වින්‍යාසයන් අගතැන්පත් කරවීමෙහිලා මුවහත් කළ තවත් මනෝරම්‍ය රංගනයන් තුනක් “ඝරසරප” හරහා දක්නට ලැබුණි. එමෙන්ම හදුන්වාදුන් දෙව්නක හා කාවින්ද්‍යා හරහා ද මතු බලාපොරොත්තු තැබිය හැකි තරමේ සියුම් භාව නිරූපණයන්ගෙන් පොහොසත් රංගනයක් දක්නට ලැබිණි. මින් මත්තට හමුවන මීළග කැපීපෙනෙන චරිත ද්විත්වය දේවගැතිවරයා සහ ෆ්‍රැන්කිය. ශ්‍රියන්ත මෙන්ඩිස් දේවගැතිවරයා ලෙස කළ රංගනය නියමාකාර කිතුණු පූජකයෙකු තාත්ත්වික කළ බව හැගේ. එමෙන්ම සදරැස්ගේ බිරිද වූ ෆ්‍රැන්කී ද තරමක් තැකිය හැකි රංගනයක නියැළීය. ෆ්‍රැන්කී ලෙස චරිත මැවූ අමීෂා කාවින්දී ඊට පෙර තිරයට පැමිණියාට වඩා හාත්පසින්ම රසිකයා කැමති වන ආකාරයකින් ස්වකීය චරිතය ගෙනහැර දැක්වීය. මීට අමතරව රූපණයේ අතිවිශිෂ්ට භාව ප්‍රකාශයන් සහිත සිනමාපටයේ වූ චරිතය නිරූපණය කළේ ජයන්ත බෝදානන්දය. අදෘශ්‍යමාන මෙහෙයවීම් මත සිහියෙහි නොපිහිටා ක්‍රියාකරන මානසික ව්‍යාධිකයෙකු ලෙස අන්තෝනි නමින් චරිත මැවූ බෝදානන්ද චිත්‍රපටය තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් බව නොරහසකි. මීට අමතරව මානසික ව්‍යාකූලතා ඇති අදෘශ්‍යමාන වහලුන් ලෙස රංගනය කළ ජයතිස්ස අතුලසිරි, රජිත හිරාන් චාමිකර, නෝමන් පලිහවඩන, ගාමිණි ජයලත්, චතුර පෙරේරා, සංජීව දිසානායක, උපතිස්ස බාලසූරිය, චින්තක වාස් ඇතුළු පිරිවරද තම කාර්‍යෙහි උපරිමය වෙනුවෙන් කැපවී රංගනය කර තිබුණි. එම කැපවීම මත කතාවේ ගමනාගමනයට අවශ්‍ය රස පදමේ හාස්‍යයද යම් යම් තැන්වල රසිකයාට, චිත්‍රපටය ග්‍රහණය කරගැනීමේ වෙහෙස ඉවත්කිරීමට සමත් වුණි. මෙහි අවශේෂ චරිත කළ වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, සේනක ටයිටස්, අයිෂාරා අතුකෝරළ, මියුරි සමරසිංහ, සුගත් ජානක ආදීන්ටද චරිතාවබෝධයෙන් නිදහසේ රංගය මත ජීවත්වී හැසිරෙන්නට ජයන්ත චන්ද්‍රසිරි ඉඩහසර වෙන්කර දී තිබුණි. “ඝරසරප” සිනමාකර්ෂණීය නොවන්නේය යැයි කියන්නවුන්ට පිළිතුරු මෙසේය. “ඝරසරප” හි අතීත කතාව හෙවත් කතානායක දෙපළගේ තරුණ අවදිය තිරයට ගෙනෙන්නේ 1980 යන කාල නිර්ණය සමගින්‍ ය. ඊට අනුගතව අතීත කතාවේ බාහිර පරිසරය, ඇදුම් පැළදුම් ආදී සියල්ල මනාව ගැළපුණ බව විශ්වාසය. සමකාලීන ඇතැම් නිර්මාණවල මෙන් අසූව යුගය යැයි ලේබල් කර අද්‍යතන නිෂ්පාදිත සහිත කඩ තිරයට ගේමට තරම් “ඝරසර්ප” නොසැලකිලිමත්වී නැතිබව සතුටට කරුණකි. අධ්‍යක්ෂවරයාගේ මිත්‍ර සමාගම මෙහිලා ඔහුට සිය උපකාරය නිර්ලෝභීව පිරිනමා ඇත. ජයන්තගේ චිත්‍රපට රැසක මහා පොදු සාධක වූ ජැක්සන්, කමල්, සංගීතා, ශ්‍රියන්ත උක්ත ප්‍රස්තුතය සප්‍රමාණ කරන අතර ඌන පූර්ණය ලෙස ගරු රංගනයකින් යශෝධා විමලධර්මද මෙයට සිය රංගන දායකත්වය ආරාධිත ශිල්පිණියක ලෙසින් සපයා තිබිණි. ජයන්තගේ “සමනල සංධ්වනිය” හි ඉතා සුළු කොටසක ආරාධිත රංගනයක් ජැක්සන් කළා සේම “ඝරසරප” හි ආතුර යැයි අනුමාන කළ හැකි ලියකගේ චරිතයක් යශෝධා රංගනය කිරීම සිත්ගන්නාසුළුය. චිත්‍රපටයේ ආරම්භයේම එහි නර්තන අධ්‍යක්ෂණය පිළිබද මම පැහැදුණෙමි. මන්ද කළු කුමාර යැයි අප ගොඩනගා ඇති පුරාවෘත්තය පලුදු නොවන ලෙස අසරණ බව, භීතිය උපදවන සුළු බව ආදිය ගැබ්කොට ගෝත්‍රික නර්තන සම්ප්‍රදාය සිහිගන්වන වින්‍යාසගතව මෙහි ජැක්සන් ඇන්තනී කරන කළු කුමාර නර්තන ජවනිකාව ඉතා විචිත්‍රවත් ලෙස මෙහි නර්තන අධ්‍යක්ෂ ගයාන් ශ්‍රීමාල් සිදුකොට තිබිණි.වේශ නිරූපණය සහ දෘෂ්‍ය ප්‍රයෝග භාවිතය ද ඉහළ මට්ටමක ප්‍රමිතියකින් නිර්මාණයෙහි සාර්ථකත්වයට යොදාගෙන තිබුණි. දියණියගේ රංගනයට මව විසින් ගී ගැයීම ද මෙම චිත්‍රපටයේ අමරණීය සිනමා අවස්ථාවකි. සමිතා එරන්දතී, භාචි සුසාන් සහ දුමාල් වර්ණකුලසූරිය ආදීන්ගේ ගී ගායනා ද නළු නිළියන්ගේ භාවය හා කදිමට ගැළපීමෙන් චිත්‍රපටය තුළ නීරසක් නොදැනිනි. කිතුණු දේව යැදීම් සහ ස්තෝත්‍ර ගායනාවලදී පසුබිම් ගැයුම සමග රූපණයේ දෙතොල් සමනොවීමක් ප්‍රධාන කොට කිහිපවරකම දිටිමි. එය සිදුවීමෙන් චිත්‍රපටයට හානී වුවාදැයි කියනවාට වඩා රසිකයාගේ අවධානයට එම වැරැද්ද ක්ෂණයෙන් ස්පර්ශ වූ බව කීම සාධාරණය. සමස්තයක් ලෙස සලකාබලන කළ ජයන්ත චන්ද්‍රසිරිගේ “මහරජ ගැමුණු”, “සමනල සංධ්වනිය” ආදී ආසන්තම නිර්මාණවලට වඩා වෙනස් තේමාවකින් මානව ලාලසාවන් පුබුදුවාලු, අන්ධකාර විශ්වාසයන්ට වඩා සවිඤ්ඤාණය ප්‍රබල බව ඒත්තුගැන්වෙන “ඝරසරප” කාලීන අවකාශය තුළ අග්‍රේසර රූපකාව්‍යයක් බවත්,මතු අනාගත සිනමාවට ප්‍රබල ඉගි රාශියක් තිළිණ කළ පෝෂිත සිනමාවේ වැදුම්හලක් ලෙසත් සිංහල සිනමා වංශය මත වටිනා කෘතියක ලෙසින් ජනගත වනු නොඅනුමානය. මිත්‍යාව මතම යැපෙනවා වෙනුවට ආදරය විකල්පයක් කොටගෙන විශ්වාසය නිශ්වලව තබන්නවුන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටය “ඝරසරප” යැයි කීම අතිශය සාධාරණය.

සටහන : තාරුක පෙරේරා

Share

Frozen Heart කෙටි චිත්‍රපටයේ මහජන ප්‍රදර්ශනයක් පැවැත්වෙයි

$
0
0

තරිඳු ලොකුආරච්චි නිර්මාණය කළ Frozen Heart කෙටි චිත්‍රපටයේ පුළුල්තිර මහජන ප්‍රදර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. මීට පෙර ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් නියෝජනය කොට ඇති මෙම කෙටි චිත්‍රපටය සම්මාන කිහිපයක් දිනාගෙන තිබෙනවා. හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ලෙස 11 වැනි ෂැන්හයි ජාත්‍යන්තර ශිෂ්‍ය චිත්‍රපට උළෙලේදී සම්මානය දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙනවා. චීනයේම පැවති Debieshan Student film festival හිදී හොඳම ශබ්ද පරිපාලනය සඳහා සම්මාන දිනා ගැනීමටත්, 17 වැනි කල්කටා සිනමා උළෙලේදී විශිෂ්ට කුසලතා සඳහා වන සම්මානයක් දිනා ගැනීමටත් මෙම චිත්‍රපටය සමත්වුනා. Los-angalis කෙටි චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයද මෙම කෙටි චිත්‍රපටයට හිමිව තිබුනා. තවත් ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල කිහිපයක් සඳහා Official selection ලෙස නියෝජනය කිරීමට තරිඳු ලොකුඅරච්චිට හැකියාව ලැබෙන්නේ මේ කෙටි චිත්‍රපටය සමගින්.

Frozen Heart කෙටි චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කලේ තරිඳු ලොකුආරච්චි විසින්. එහි රංගනය සඳහා මහේන්ද්‍ර පෙරේරා දායකවී තිබෙනවා. රුවන් කොස්තා කැමරාකරණයෙන් සහ දමින්ද මඩවල සහය අධ්‍යක්ෂණයෙන් මෙම නිර්මාණයට සම්බන්ධ වනවා. ශෂික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලකවරයා ලෙස කටයුතු කළ මෙම නිර්මාණයට කළා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණයෙන් චරිත වික්‍රමතිලක දායකවී තිබෙනවා. වේශ නිරුපන ශිල්පියා වුනේ නාරද තොටගමුවයි. අගෝස්තු 13 වැනිදා තරංගනී ශාලාවේදී පැවති චිත්‍රපටය තිරගත කිරීමේ අවස්ථාවට නිර්මාණයට සම්බන්ධවූ පිරිසෙන් බොහෝ දෙනෙක් එක්ව සිටියා.

චිත්‍රපය නැරඹීම සහ සංවාද මණ්ඩපයක් ලෙස සංවිධාන කොට තිබූ මෙම වැඩසටහන විශේෂ අදහස් දැක්වීම් පහක් සඳහා වෙනකොට තිබුනා. එයින් විශේෂ අදහස් දැක්වීම් තුනක් එම අවස්ථාවට ඉදිරිපත් කෙරුණා. චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය, සිනමා විචාරක සහ භූපති නලින් වික්‍රමගේ සහ කතුවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන නදී වාසලමුදලිආරච්චි එම මූලික අදහස් දැක්වීම් සඳහා එක්ව සිටියා. රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර චිත්‍රපට දර්ශනයෙන් පසුව කෙටි අදහස් දැක්වීමකට සම්බන්ධ වුනා. සිනමා කැමරා අධ්‍යක්ෂ සහ සිනමාව පිලිබඳ කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක සංවාදය මෙහෙයවීම සඳහා සම්බන්ධ වුනා.

38942012_236632237057438_6478604733157212160_n 39067696_532489463873952_8682297069131530240_n 39070087_1093362570819304_1960501417839951872_n 39099080_273111213303211_7124241092018438144_n 39127218_439075293246205_691531760910991360_n 39179919_2229044800456257_8964847080451342336_n 39191451_2101307343443229_2833620337281728512_n 39213641_2154279694894728_1429533156704256000_n 39252989_2044597515559091_2000224780086673408_n

Share

මාලිනි අභිනන්දන සිනමා උළෙල කොළඹදී

$
0
0

දේශීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් සහ “නිළි රැජිණ” ලෙසින් විරුදාවලි ලැබූ මාලිනී ෆොන්සේකා රංගන ශිල්පිනිය වෙනුවෙන් අභිනන්දන සිනමා උළෙලක් සංවිධාන කෙරෙනවා. මාලිනී ෆොන්සේකා පදනම මගින් මෙම වැඩසටහන සංවිධාන කෙරෙන බව සඳහන්. අගෝස්තු 18 වැනිදා සිට දින හතරක් පුරා මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී. සෑම දිනකම සවස 6.00ට චිත්‍රපට දර්ශනය ආරම්භ වනවා.

අගෝස්තු 18 වැනිදා –    නිධානය – ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්

අගෝස්තු 19 වැනිදා –    ප්‍රතිරාවය – ජයන්තදාස් පෙරේරා

අගෝස්තු 20 වැනිදා –   අම්මාවරුනේ – ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්

අගෝස්තු 21 වැනිදා –    ආකාස කුසුම්  – ප්‍රසන්න විතානගේ

39164305_1664424093666046_376016222031970304_n

1947 වසරේ උපත ලැබූ වන්නිආරච්චිගේ මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා, තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ 1968 වසරේ තිරගත වුනු පුංචි බබා චිත්‍රපටයේ සිට මේ දක්වා ඇය රංගනයෙන් දායක වුනු බොහෝ චරිත ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී තිබෙන්නේ ඇගේ රංග ප්‍රතිභාව හේතුවෙන්. ඇගේ කළා දිවියේ වසර 40ක් සම්පුර්ණවීම ස්මරණය වෙනුවෙන් මෙම අභිනන්දන සිනමා උළෙල සංවිධාන කොට ඇතැයි සඳහන්. සිනමාවට ලැදි ප්‍රේක්ෂක ඔබට මෙම අවස්ථාව සඳහා විවෘත ආරාධනයක් කෙරෙනවා.

Share

Viewing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>