Quantcast
Channel: Cinema.lk
Viewing all 2389 articles
Browse latest View live

ALFA මෙවර බූඩිගේ “නිම්නයක හුදෙකලාව”සමග

$
0
0

“මාසික සිනමා සංවාද” වැඩසටහන ආරම්භ වෙලා දැන් මාස කිහිපයක් ගතවෙලා. ආරම්භයේ සිට මේ දක්වා විවිධ රටවල විවිධ භාෂාවන්ගෙන් යුතු විවිධ ශානරයන්ගේ චිත්‍රපට සමග විවිධ ක්ෂේත්‍රයන්හි පුද්ගලයින් එක්ක මේ වැඩසටහන පවත්වාගෙන යන්න ALFA කටයුතු කළා.  ALFA නැත්නම් කලාව සඳහා ක්‍රියාකාරී ලීගය මෙවරත් ඒ කියන්නේ ජූලි මාසයෙත් මාසික සිනමා සංවාද මණ්ඩපය පවත්වන්න සුදානම්. මෙවර සංවාදයට විෂය වෙන්නේ ශ්‍රී ලාංකීය චිත්‍රපටයක්. විශ්වනාත් බුද්ධික කීර්තිසේන නැත්නම් බූඩි කීර්තිසේනගේ “නිම්නයක හුදෙකලාව” චිත්‍රපටය.

නිම්නයක හුදෙකලාව චිත්‍රපටය නරඹන්නත් ඒ පිළිබඳව සංවාදයක් සිදුකරන්නත් මෙවර ALFA සිනමා සංවාද වෙන් කෙරෙනවා. දිනය ජූලි මාසේ 14 වැනි සෙනසුරාදාව. ස්ථානය ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරය. වෙලාව පුරුදු විදිහටම සවස 4.00ට. චිත්‍රපටය නරඹමු, ඊට පස්සේ කතා කරමු කියලයි කලාව සඳහා ක්‍රියාකාරී ලීගය මේ වැඩසටහන නම් කරන්නේ, මුලික අදහස් දැක්වීමට විදර්ශන කන්නන්ගර සමග චින්තන ධර්මදාස එකතු වෙනවා. මේ දෙදෙනාගේ අදහස් දැක්වීම් වගේම ප්‍රේක්ෂකයින්ටත් තමන්ගේ අදහස් දක්වන්න මේ වැඩසටහනේදී පුළුවන්. වඩා හොඳ සිනමා භාවිතයක් වෙනුවෙන් ALFA දරන වෑයමට එකතු වන්න සිනමාලෝලි ඔබට, අප අආරාධනා කරනවා.

Share


සංජීවගේ සිනමා ආඛ්‍යානය සහ දැවෙන විහඟුන් –ධනුෂ්ක ගුණතිලකගේ සටහනක්

$
0
0

සටහන : සම්මානනීය සිනමා කැමරා අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක

ඔබ එවාතිබූ ආරාධනා පත්‍රයට බොහොම ස්තුතියි. නොවැලැක්විය හැකි හේතුවකින් එදා රීගල් සිනමා ශාලාවට පැමිණීමට නොහැකිවීම ගැන කනගාටුනොවන්නේ, අමාරුවෙන් කට්ට කාගෙන හදපු ෆිල්ම් එක ටිකට් එකක් අරන් දායකවෙලා බලන එක ඔබට මා විසින් කළහැකි එක් ගෞරවයක් බැවිනි.

සමාජ විද්‍යාත්මකව හෝ මනොවිශ්ලේෂණාත්මකව සිනමා කෘතිය ගැන විචාරකිරීමට මාගේ පරිශීලනය තීව්‍ර නොවූවත් සිනමාත්මකව දැවෙන විහඟුන් කෘතිය ගැන විචාරය කිරීමට මාගේ සිනමා පරිශීලනය ප්‍රමාණවත් යයි සිතමි.

මෙම සිනමා රූපයේ Colour pallette එක ( වර්ණ භාවිතය ) ඉතා විශේෂයි. සංජීව සහ කාලිංග ඉතා සූක්‍ෂමව Red Yellow Blue යන ප්‍රථමික වර්ණයන් කෘතිය පුරාවටම භාවිතාකරනවා. ඒවා වර්ණ වල ඇති මූලික ගුණාංග පැහැදිලව අවබෝධ කරගෙන භාවිතකිරීමක් බව පේනවා.

Yellow – සිනමා කෘතියේ පදනම වන්නේ කහ වර්ණයි. කහ වර්ණය අපි මුලින්ම දකින්නේ ගෙදර බිත්තියෙයි. බිත්තියෙන් පටන්ගන්නා කහ වර්ණය, කුප්පි ලාම්පුවේ දැල්ල එක්ක එකතුවී හැම චරිතයකම ඇඳුම් වල වර්ණයන් හා එකතුවෙනවා. මෙහි අම්මගේ චරිතයේ කහ වර්ණය කිලිටිවෙමින් ඇය බන්ධනාගාර ගත වෙනතුරුම ඇයත් සමගම එකට මුසු වෙනවා. අවසානයේ රත්වුණු අගේ අස් වලින් කහ පාට ගන්දර( reflection of fire ) රූපයට නැගීම සිනමකරණයේ මා දුටු ඉතමත් තීව්‍ර අවස්ථාවක්. ඉතා දාර්ශනික සහ බලාපොරොත්තු දනවන වර්ණයක් වන කහවර්ණය සිනමාකෘතිය පුරාවටම චරිත තුල බලාපොරොත්තුවක් ඇතිකරවනවා. එම වර්ණයම නාමාවලිය සඳහා ද භාවිතා කිරීම අහඹුවක් නොවන බව ඉතා පැහැදිලිය.

Blue – භූමි වර්ණක සාත්තුවක් (earth colour treatment ) ඇති සිනමා කෘතියක නිල් කියන්නේ රැඳවීමට ඉතා අපහසු වර්ණයක්. සංජීව මෙහිදී නිල වර්ණය හරහා කතාන්දරයේ අවිනිශ්චිත තවකාලිකත්වය ජවනිකාවෙන් ජවනිකාවට ගොඩනගනවා. මුලින්ම නිල් වර්ණය දකින්නේ නිවසේ දොර, ජනෙලය සහ උළුවහු. රූපරාමු ඇතුලේ අවිනිශ්චිත අනාරක්ෂිත භාවය නිවාස තුලට ඇතුළුවන්නේ මේ නිල් වර්ණය හරහායි. ඉන් පසු නිල වර්ණය ගල් වැඩපොලෙහි කුඩා කඩයේ කණුවක දකින මොහොතේදී සිදුවන වියසනය ඉඟිකරයි. පසුව ගල්වැඩපොල වසාදැමූ විට එහි ඇති ගේට්ටුව නිල් වර්ණය ගනී. මස් කඩයේ අතවරයට ලක්වන්නට යන මොහොතේ අම්මාව බේරගන්නා මුදලාලි ඇය අතට දෙන්නේද නිල් පැහැති තුවයකි. එයද ඉතා භයානක අනතුරු ඇඟවීමකි. පසුව ඇය තම තන පුඩුවෙන් නිල්පාට ජෝග්ගුවකට කිරි දොවා හාමතේ සිටින තම දරුවාට පොවයි. අවසානයේදී ආයුර්වේද ස්ම්භාහණයේ නාම පුවරුවද නිල් පාට වීම මේ වර්ණය එකතැනකට අරගෙන එයි.

Red – භීශණය, ජීවිතය, ශෘංගාරය සහ මරණය යන සංධිස්ථාන වල සංජීව රතු වර්ණය ඉදිරියට අරගෙන එනවා. කෘතියේ මුලින්ම රතු වර්ණය දකින්නේ තාත්තගේ මරණය සහ සමූහ මිනී වල තුලයි. ඉන්පසු ජීවිකාව ගැටගසා ගැනීමට යන මස්කඩේ ඇති රුධිර ගංගාවයි. භීෂණය ජීවිතය හරහා ගොඩනැගුනු රතු වර්ණය අම්මාගේ ඇඳුම් දක්වා ශෘංගාරාත්මක මොහොතට ගෙනාවත් රතු පාට හැමවිටම මරණය සහ ඝාතනය යන දෙකම මතක් කරනවා. එය ශෘංගාරය අභිබවා යාමට තරම් සූක්ෂමව රූපරාමු තුල භාවිත කර තිබෙනවා. අවසානයේ සුදු සාරිය මත ඇති ලේ පැල්ලමෙන් නැවතත් කෘතිය පුරාවටම තිබූ රතු වර්ණය එකතැනකට අරගෙන එනවා.

මෙසේ වර්ණ ඉතාමත් සූක්ෂ්මව භාවිත කර ඇති සිනමා කෘති ලාංකීය සිනමාවේ ඉතා අල්ප බව සඳහන් කරන්න කැමතියි. දැවෙන විහඟුන් ඉතා සරල සිනමා භාෂාවක් භාවිතා කලත් එය කියවීමේදී ඉතාමත් ගැඹුරු තැන් හමුවීම සිනමා රසිකයෙකු වශයන් ඉතා සතුටු දායක තත්ත්වයක්.

තවද මෙම සිනමා කෘතියේ සම්පිණ්ඩන (Compsition), කැමරා චලන (Camera Movement ) සහ ආලෝකකරණය (Lighting ) පිලිබඳ විශේෂ ලිපි පෙළක් ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වෙමි. දැවෙන් විහඟුන් සිනමාපටයේ අධිතාත්විකවාධී (Surrealistic) සිනමා ආඛ්‍යාන භාවිතය සිනමාව පිළිබඳව හදාරන විද්‍යාර්ථයින් හට ඉතා වටිනා කියවිය යුතු ඉදිරිපත් කිරීමකි. සිනමාව උනන්දුවෙන් (Serious) කරන සියලුදෙනා සිනමා ශාලාවක නැරඹිය යුතුම චිත්‍රපටයකි.

සංජීව ඔබේ සිනමා භාවිතයේ ඇති වගකීම සහ ගැඹුර ප්‍රේක්ෂකයාට විඳීමට ඉඩ සැලැස්වීම ගැන නැවතත් ස්තුතිවන්ත වෙමි. කාලිංග ඔබ නැවත මුණගැසෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිමි.

ධනුෂ්ක ගුණතිලක

Share

‘දැවෙන විහඟුන්’ “පිච්චෙන කුරුල්ලන්”වීම –සඳුන් ප්‍රියංකර විතානගේගේ සටහනක්

$
0
0

සටහන : සඳුන් ප්‍රියංකර විතානගේ

**********************************************

සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ සිනමාපටය නැරඹීම වෙනුවෙන්, කලා සංස්කෘතික අවකාශයෙහි නිබඳව හැලහැප්පෙන පිරිස කල්බලා සිටියා යැ යි කිවහොත් එය මුසාවක් නොවේ. අදහස් විසමතාවන් කවරක් වේවා, සංජීව මෙරට නූතන තරුණ සිනමා පරම්පාරව නියෝජනය කරන දක්ෂයෙක් බව ද බොහෝ දෙනා දැරූ අදහසකි. ‘ඉගිල්ලෙන මාළුවෝ’ සිනමාපටයේ දී ඔහු දැක්වූ නිර්භයභාවය ආදියත් සිනමා භාවිතයෙහි තිබූ සමහර ශූරත්වයනුත් ඊට බලපෑවේ යැ යි කිව හැකිය. අනෙක් අතට ඔහු සිනමාව විෂයක් ලෙස විධිමත්ව හදාරමින් සිටින බව දැනගැනීමත් සංජීව කෙරේ බලාපොරොත්තු දල්වා ගැනීමට අදාළ තවත් කරුණකි. විදේශ සම්මාන උළෙලවල දී තරඟකාරී අංශවලට ඇතුළත්වීමත්, සම්මාන දිනාගැනීමත් නිසා සිනමාපටය ප‍්‍රදර්ශනය වන තෙක් බොහෝ අය සිටියේ නොඉවසිල්ලෙනි.

දැන් සිනමාපටය ප‍්‍රදර්ශනය වෙමින් තිබේ. සිනමාපටය අසාර්ථක බව පළමුකොට කිව යුතු ය. දෙවැනුව ඒ මතින් විදේශ සිනමා උළෙලවල පරාමිතීන් සම්බන්ධයෙන් අවිශ්වසනීයත්වයක් ඇතිවන බව කිව යුතු ය.

සිනමාපටය දිවෙන්නේ, 88-89 මෙරට සිදුවූ තරුණ කැරැල්ල පසුබිමේ තබාගෙනය. එය මුල් අර්ධයේදී ම ගුවන්විදුලි ප‍්‍රවෘත්ති විකාශයක අනුසාරයෙන් සිනමාකරුවා අපට කියයි. ඒ අනුව සන්දර්භය අතිපැහැදිලි ය. කාලය 88-89 යි. මෙකී භීමසමය සහ උතුරේ යුදසමය අරභයා මෙරට බිහිව ඇති නිර්මාණ කෘති අදාළ ප‍්‍රස්තූයන්හි දැවැන්තකමට සාපේක්ෂව අතිඅල්පය. අනුභූති කෝෂ්ඨාගාර වන මේවායෙන් හෘදකම්පනකාරී නිමැවුම් බිහිකළ හැකිවීම ගැන කතා දෙකක් නොවේ.

සංජීව තෝරාගන්නේ එකී භීමසමයේ පවුලක පියාගේ ඝාතනයෙන් අසරණවන දරු කැළතකගේ ජීවන ඛේදයයි. වෙසෙසින්ම මවක් ලෙස එකී පවුලේ කුසුම් නම් ගැහැනියට මුහුණ දෙන්නට වන අතෝරයයි.
සිනමාකෘතිය එක්තරා කාල අන්තරයක නිශ්චිතව පිහිට වූ පසුව පිස්සු කෙළින්නට සිනමාකරුවාට හැකි ද? 88-89 යනු පෙර රජ දවස නොවේ. මේ දැනුදු හුස්ම හෙළනා මිනිසුන් ඒ සමය අත්දැක්කෝය. ඒ කඨෝරත්වයට මුහුණ දුන්නෝය. මේ ලියුම්කරුට ද එවැනි අත්දැකීමක් තිබේ. ඒ හද සසලවන පෙර මතකය ශත සහස‍්‍ර ගුණයකින් නැවත මතු කරන්නට සිනමාකරු සමත් විය යුතුය. මෙහි නම් එවැන්නක් නොඒ. පියා පැහැරගෙන ඝාතනය කරන සිදුවීම සිනමාපටයේ තීරණාත්මක සිදුවීමක් වුවත් එය අති ඕලාරිකය. කිසිදු හැඟීමක් ජනනය නොවේ. අනෙක් අතට මිනිසුන් පැහැරගෙන ඝාතනය කළේ ඔතරම් සුනම්‍ය ලෙස නොවේ. සන්දර්භය තිබුණේ ද ඔතරම් සුකොමල ලෙස නොවේ. මිනිසෙකු පැහැරගෙන එලෙස ඝාතනය කරන්නට තරම් වටපිටාවක් සිනමාපටයේ පෙන්වන්නේ නැත. හැමෝම තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන සිටිති. මස්මඩුවේ වැඩ අපූරුවට කෙරෙයි. ගල්කොරියද වැසෙන්නේ කැරලිකාර තුණ්ඩුවක් නිසා නොව බලපත‍්‍රයේ අවුලක් නිසා ය. (සභාවේ සිනාය.) පාසල කිසි අවුලක් නැතිව පැවැත්වේ. සමාජ, සංස්කෘතික සංස්ථාවේ කිසිදු අලකලංචියක් වන්නේ නැත. මෙලෙස සුනම්‍ය ලෙස ගලා ගෙන යන සමාජයක් අවුල් කළේ නම් අර මිනිහා මැරූ එක අවුලක් නැතැයි කිසිවෙක්ට කියන්නට ඉඩකඩ තිබේ. කොටින්ම කුසුම්ගේ පවුලට හැරෙන්නට අනෙක් කිසිදු තැනක භීමකාරී තත්වයක් ඇත්තේ නැත. ඉදින් පේ‍්‍රක්ෂක මනසේ කම්පනයක්වත් එකී සිදුවීම තාර්කිකවත් වන්නේ නැත. අතිඅභව්‍ය වීම පමණි.

ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කළ ‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ සිනමාපටය මේවේලෙහි සිහියට නැගෙයි. දෙවන ලෝක යුද සමයේ අනුභූතියක් වටා ගොඩනැගුණු එම සිනමාපටය 1993 දී නිර්මාණය කරන්නේ කලු-සුදු සිනමාපටයක් ලෙස ය. එම ද්විවර්ණ භාවිතය ඔහු විශද කරනා ප‍්‍රස්තුතයට කෙතරම් සේවය කරන්නේදැයි නරඹා වටහා ගත හැකිය. මුළු සිනමාපටය පුරාවට ම වර්ණ භාවිතා කරන්නේ එක් නිමේෂයකට පමණි. කිසිදු දොසක් නොවී පේ‍්‍රක්ෂාව සිනමාපටය පුරාවටම දිවි ගෙවන්නේ දෙවැනි ලෝක යුද සමයේ ය.

‘දැවෙන විහඟුන්’ කලා අධ්‍යක්ෂණය කියා දෙයක් ගැන දශමයක්වත් සලකා නැත. වරිච්චි බිත්තිගෙවල්වල ජීවත්වීම ගැන පුවත්පත් සාකච්ඡාවල දී කියන සංජීව නිර්මාණය කරන කුසුම්ගේ නිවස අමුතුම ජාතියේ එකකි. එකින් එක කියන්නේ නම් අභව්‍ය සිදුවීම් ටොන් ගණනකි. කුසුම්ගේ බාල දරුවන් දෙදෙනාගේ වයස් පරතරය විමතිය දනවන සුළුය. ඔවුන්ගේ වයස වහා බැලූ කල පෙනෙන අයුරු සලකතත් එකෙක් කුසේ සිටිය දීම අනෙකා පිළිසිඳගත්තා වන. කඩවල්වල සැෂේ පැකට්, මයිලෝ පැකට්ය. ඒ මදිවාට ‘මිනරල් වෝටර් බොට්ල්’ ය. මෑත රතුපාට කළ ශ‍්‍රීලංගම බස්ය. ඈත ඩිජිටල් පුවරුවැති සම්බාහන මධ්‍යස්ථානය. අති විශාල ටාටා ලොරිය. අප මිත‍්‍ර අජන්ත අලහකෝන් බුක් ලෝන්ච් එකකට පැමිණෙන නියායෙන්ම පැමිණ කුසුම්ව පැහැරගෙන යයි. ගෝනි බිල්ලා ලෙස ගොඩ නංවා ඇති විදුහල්පති චරිතය අමුම අමු විකාරයකි. ඔහු ගෝනි බිල්ලෙක් බව හැමෝම දන්නා බව පෙනේ. ඔහු අර්ධකාලීන රැකියාවක් ලෙස ගෝනිබිල්ලෙක් ව සිටිනවා වැන්න. මේ ජාතියේ නෝංජල් ගෝනි බිල්ලන් සිටියේ නම් 88-89 කාලයේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට රටේ බලය ලෙහෙසියෙන්ම අල්ලාගන්නට තිබුණි. ඔවැනි චරිත ක‍්‍රියාකළ ආකාරය දැනගන්නට නම්, ඒ කාලයේ ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය ජාතික පාසලේ වැඩ කළ ආකාරය කියවිය යුතු ය.

දෙබස් භාවිතය කිසිදු ලෙසකින් ජන ජීවිතයට සමපාත නැත. මෘදු සිනිඳු නාගරික බස්වහර හැමතැනම පොළාපැන තිබේ. ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයට ගොස් 80 දශකයේ පුවත්පත් ටික පෙරළා බලන්නට කාලය ගත්තා නම් සංජීවට මෙයට වඩා හොඳින් සිනමාපටය නිමවන්නට හැකිවනු ඇත. රුපියල් 350ක බඩු ඒ කාලයේ ගන්නට නම් අනෝමා ජිනා මැඩම් විය යුතුය. ඒකරේඛීය ලෙස ගලායන සිදුවීම් කෙසේවත් කිසිදු හැඟීමක් දනවන්නට සමත් වන්නේ නැත. වෙරළේ ‘පික්නික්’ අවස්ථාවේ ‘බයිලා ගමුද රීමික්ස් කරලා’ වයනවා සේම ය.

දැනෙන එක් කම්පනයක් පමණක් තිබේ. හුදු මානුෂීයත්වය නිසාම පොඩි දරුවන් කුසගින්නේ වැළැපෙන දර්ශන දකිනවිට දැනෙන දුක්බර හැ`ගීමය. ඒ නම් සිනමාපටයේ තිබෙන අපූරුවක් නිසා නොවන්නකි. හැන්දෑවට බොරැුල්ල උමංමාර්ගය අසල කුඩාවුන් කෑමට අයදින අයුරු දැකීමෙන්ද දැනෙන දුක්බර හැඟීමයි.

මෙලෙස අසාර්ථකභාවයෙහි සීමා තව තවත් දිගට ලියාගෙන යා හැකිය. සුනිල් ආරියරත්න සිනමාකරුගේ සමකාලීන සිනමාභාවිතයෙහි අකෘතිය සහ සංජීවගේ සිනමා ආකෘතිය වෙනස් වන්නේ අනුභූතිවලින් පමණකැයි කියන්නට සිදුවන තරමට ඒවා සමානය. නිකන්ම කතාවස්තුවක් ඕලාරිකව කියා පෑවා පමණි.

සිනමාරූප භාවිතය ගැන සැලකුවද වර්ණනාවක් කරන්නට තරම් දේවල් හමුනොවීම ඛේදයකි. ‘බිම්බාදේවී හෙවත් යශෝධරා’හි මෙයට වඩා හැඩ සිනමාරූප භාවිත කර තිබේ. රංගනය ගැන ද එසේ ම ය. අනෝමා ජනාදරීගේ පෙර රංගයන් මේ මතින් ඉක්මවා යන්නේ නැත. මතක සිටිනායුරින් රංගනයක් කිසිම තැනක දකින්නට නොවේ. චිත‍්‍රපටයේ චරිතය වෙනුවට එහිදී අපට හමුවන්නේ චාන්දනී සෙනවිරත්නය.
සිනමාකෘතිය විෂයෙහි ‘ගෙදර වැඩ’ නොකිරීම මෙහි ප‍්‍රධාන දුබලතාව ලෙස පෙනෙයි. ලාබ වැඩකි. පෙර භාවිතයන්ගෙන් උපයා ගත් කීර්තිය පැහැදිලි ලෙසම මෙහිදී දියකර හරින්නට සංජීව පුෂ්පකුමාර වැඩකටයුතු කරගෙන තිබේ. සිනමාපටය මෙහිදී කප්පාදු කළේ යැයි කියා ගැලවෙන්නට ද ඔහුට හැකියාවක් නැත්තේ මෙය ප‍්‍රදර්ශනය කෙරෙන්නේ ඔහුගේ කැමැත්ත අනුව නිසාවෙනි.

‘දැවෙන විහඟුන්’ ලෙස නම් කර තිබුණ ද එහි හැඩතල අනුව අප දැක්කේ ‘පිච්චෙන කුරුල්ලන්’ය. තනිකරම පාහේ ‘විශ්වාසඝාතක සිනමාපටයකි’. අඩුම තරමේ වාර්තා චිත‍්‍රපටයකින් ලැබෙන දෙයක්වත් මෙයින් පේ‍්‍රක්ෂකයාට ලැබෙන්නේ නැත. මන්දයත්, වාර්තා සිනමාපටයකින් තත්කාලීන සමාජ, දේශපාලන ආර්ථික තතු විත්තිය අනලස්ව ගෙනෙන බැවිනි.//

සඳුන් ප‍්‍රියංකර විතානගේ

Share

නූතන ලාංකීය සිනමා විචාර සහ අපි –සටහන Kalpana Ambrose

$
0
0

සටහන : Kalpana Ambrose

*************************************************

චිත්‍රපටයක් නැරඹූ පිරිසට වඩා වැඩි ගණනක් විචාර ලියැවුණු ලොව එකම චිත්‍රපටය ට අදාළ එව්වා මෙව්වා දැක බය වී ඒත්තු ගිය කාරණා කෙටියෙන් මෙසේ ය.

# සම්භාව්‍ය චිත්‍රපටියක් බලා ලියන ඕනෑම සටහනක්/ රසවින්දනයක්/ ෆේස්බුක් කමෙන්ට් එකක් යනු ‘සිනමා විචාරයක්’ ලෙස අර්ථ ගැන්වේ. (ලියූ එකා කොච්චර නෑ කිව්වත්) ලියූ සැනින් ඒවා විචාර ගනයට වැටෙන අතර ඒ දුර්වල, චපල,අබල, දුබල විචාරය නිසා අපාගත වීමට සූදානම් විය යුතුය.

# නිසා පුහුදුන් හුදු සිනමා රසික⁣යින් ඒවා නො ලිවිය යුතුය. මන්ද සිනමා විචාරය ඔවුන් වැනි දුහුනන්ට අයිති එකක් නොවේ.

#කොටින්ම සිනමා භාෂාව, සිනමාවේ පාට, සිනමාවේ උස, සිනමා රීති නො දැන මෙබඳු විශේෂිත ලෝක පූජිත කෘති ප්‍රදර්ශනය කරන සිනමා ශාලාවල පස් නො පෑගිය යුතු⁣ය.

#ඒවා නො දැන බලන්න ගියා මදිවට රසවින්දන ( සමාවෙන්න) විචාර ලියන්න ගියාට ලාංකේය සිනමා රසිකයාට හොඳ වැඩේ ය.

#ලංකාවේ චිත්‍රපට වර්ග දෙකකි. එක වර්ගයක් චිත්‍රපට ය.ඒවා කැමති අය බලති.අකමැති අය නො බලා නිකම් ඉඳිති. අනිත් වර්ගය අන්තර්ජාතික සම්මාන ප්‍රොජෙක්ට්ස් ය. එ්වා බලන්නට හා ඒ ගැන කතා කරන්නට නිකං අයට බැරිය.

#ඒවාට අනන්‍ය ලක්ෂණ අටෝරාසියකි. වෙනත් සම්භාව්‍ය චිත්‍රපටවලින් ගත් කෑලි එසෙම්බල් කිරීම, රූගත කිරීම් අවසාන වන විට දහදුක් වින්ද ෆිල්ම් කෲ එක හොම්බෙන් යැවීම, විචාරකයින්ට තර්ජනය කිරීම, මාධ්‍යවලින් තමන් අකමැති ලිපි ඉවත්කරවීම, ෆේස්බුක් කමෙන්ට් ප්‍රින්ට් කිරීම , රටින් රටට දැයෙන් දැයට පිටපත වෙනස් කිරීම ඉන් කීපයක් පමණි. ඒ වුනාට සිනමා මාන නො දන්නා සිල්ලර රසිකයින් ඒවා කතා කළ යුතු නැත. ඉන් දිස් පෝස්ට් මොඩර්න් එරා ‘ දි ඕතර් ඉස් ඩෙඩ්’ ය.

ඉතිං දැන් නම් මට ද හීනයක් තිබේ. ඒ් මගේ් මිතුරන් මෙන් ඒ අන්තර්ජාතික සිනමාව දැන හෝ නො දැන විචාරය කර අද්යස්සලාගේ තර්ජනවලට මූණ දෙන්නට හෝ එයාගෙ යාළුවන්ගෙන් නව නිංගිරා විඳින්නට නොවේ.

දවසක ස්පිල්බර්ග් එක්ක ද ඊළඟට අබ්බාස් කියරොස්තාමි එක්ක ද (හරි, දැන් එයා මැරිලා නිසා එයාගෙ පිළිමයක් එක්ක) වෙන වෙනම මුත් එකම රොමෑන්ටික් මූඩ් එකෙන් ෆොටෝ අරං ෆේස්බුක් දාන්නට ය. එය මගේ් පෘථුල සිනමා දැක්ම ද පතුල නො පෙනෙන අන්ටැන්ජිබල් සිනමා දැනුමේ ගැඹුර ද විදහා පෙන්වනු ඇත.

ප.ලි.
දැන් ඉතිං හිතවත් සම්භාව්‍ය සිනමාවේදීනි, උගතුනි, මගේ ලේ් බොන්නට නො එන්න. ඔබ දැනටත් දන්නා පරිදි මම හුදෙක් යාශ් චොප්රා රසිකයෙක් පමණක් මි. මේ පහුගිය ටිකේ ෆේස්බුක් බලා මා උගත් දේ පමණි.

ප.ප.ලි.
මා නො දන්නා ඔබ දන්නා ඉරානයේ සිනමාකරුවෙක් වරක් මෙසේ කියා ති⁣බේ.
“When I’m in the process of making a movie I’m not thinking about the finished result, and whether people have to see it once or more than once, and what the reaction to it will be. I just make it, and then I live with the consequences, some of which may not be as pleasant as I’d like! “
-Abbas Kiarostami

Share

Let There Be Light ප්‍රදර්ශනය කොළඹදී

$
0
0
Let There Be Light ”  නමින් විවිධ මාදිලියේ කලාකෘති සහිත ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට සුදානම්.  ජුලි 14 සිට 15 දක්වා ලයනල් වෙන්ඩි කලාගාරයේදී මෙම ප්‍රදර්ශනය  පැවැත්වෙනවා.  ප්‍රදර්ශනය උදෑසන 9.00 සිට  සවස 7.00 දක්වා  මෙම ප්‍රදර්ශනය සංවිධාන කෙරෙනවා.  ප්‍රදර්ශනයේ මුලිකත්වය  Chandrika Maelge කලාකාරිනියගේ කලා නිර්මාණ වලට හිමිවෙනවා.  එමෙන්ම  Aamina Nizar ගේ Photos exhibition, Chandrika Maelge කලාකාරිනියගේ  සිතුවම්, Hilusha Hewagama ගේ Arise වීඩියෝ කලාකෘතිය, Kesara Ratnavibhushana ගේ ජායාරූප, Nuzaifa Hussain ගේ කලාත්මක රචනා ආදී කලාකෘති මෙම ප්‍රදර්ශනයට ඇතුළත්. ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘත වනවා. වෙනස් ආකාරයක කලාකෘති රසවිඳීමට අවස්ථාවක් හිමිවන මෙම ප්‍රදර්ශනය සඳහා සම්බන්ධ වීමට ඔබ සැමට ඇරියුම් කෙරෙනවා.
 

Share

ඒ රංගනය අද්විතීයයි – Darkest Hours චිත්‍රපටය පිලිබඳ Sajith Alwisගේ අදහස්

දමිළ වාණිජ සිනමාවේ තවත් අපූරු නිමැවුමක් – Iravukku Aayiram Kangal

$
0
0

සටහන : Jegan Ganeshan

*****************************************************************

අදුරකට අැස් කීයක් ද කියා ඔබෙන් අැසුවොත් එයට නිශ්චිත පිළිතුරක් ලබා දීමේ හැකියාවක් ඔබටත් නැත. මටත් නැත. එක් රාත්‍රීයක දී සිදුවන එක් මිනිමැරුමක් වටා ගෙතුණ චිත්‍රපටියයි Iravukku Aayiram Kangal, Mu. Maranගේ අධ්‍යක්ෂණයෙන් Arulnithi, Ajmal, Mahima Nambiar, Vidya Pradeep, Chaya Singh යන අයගේ රංගනයෙන් මැයි මස මෙම චිත්‍රපටිය තිරගත විය.

භරත් ටැක්සි රියදුරෙක් මෙන්ම වෙෙජයන්ගේ නම් කතුවරියකගේ රසිකයෙක් ද වෙයි. ඔහු පෞද්ගලික රෝහලක සේවය කරන සුසීලාට අාදරය කරයි. මේ අතර සුසීලා දිනක් පාරේ දී කරදරයකට මුහුණ දුන් අවස්ථාවේ දී අැයගේ සහයට ගනේෂ් පැමිණෙන අතරම ගනේෂ් ද අැයට අාදරය කරන්නට පටන් ගනියි. මොවුන්ගේ ජීවිතය මෙසේ යන අතරතුර ගනේෂ්ට හා සුසීලාට සුසීලාගේ හිතවතියක් වන රූපලා යම් ප්‍රශ්නයක පැටලි අැති බව දැනගන්නට ලැබෙයි. අැයගේ ප්‍රශ්නය වන්නේ කවුරුන්හෝ කෙනෙක් අැයගේ නිරුවත විඩියෝ කර අැයගෙන් මුදල් ඉල්ලා තර්ජනය කිරීමයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස එම විඩියෝව රැගෙන යාමට භරත් පිටත් වෙයි. ඔහු එසේ විඩියෝව සොයා යන නිවසේ, සිදු වී අැති මිනිමැරුමට ඔහු වැරදිකරු වි පොලිසියේ අත්අඩංගුවට පත් වෙයි. ඉන් පසුව පොලිසියෙන් බේරි මිනිමැරුමේ සුළ මුල භරත් සොයාගන්න අාකාරය ඉතා රසවත් අන්දමින් තිරරචනය කිරීමට එහි තිරරචකයා දස්කම් දක්වා අැත.

එක් මිනිමැරුමක් මේ තරම් කුතුහලය දනවන අයුරින් ඉදිරිපත් කළ හැකි ද.? යන ප්‍රශ්නය සිනමාපටය නැරඹීමෙන් ඔබටත් මතු විය හැක. නමුත් චිත්‍රපටියේ අාරම්භයේ පටන් අවසානය දක්වා චිත්‍රපටිය ඉතා රසවත් එකක් ලෙස ඉදිරිපත්කිරීමට සිනමාකරුවා සමත්ව තිබේ. චිත්‍රපටයේ කතාව සහ තිර රචනය මගින් එයට ලබාදී ඇති වටිනාකම ඉමහත් බව කිව යුතුය. විශේෂයෙන් දමිළ වාණිජ සිනමාවේ චිත්‍රපට අතර ඉතා අනර්ඝ රූප රචනාවක් සහිත චිත්‍රපටයක් ලෙස මෙය නම්කළ හැක්කේ එහෙයිනි. එකිනෙක සිදුවීම් ගලපාගැනීම, පෙළගැස්වීම ආදිය ප්‍රේක්ෂකයාට මෙය සිනමාපටයක් බව මතක කිරීමට පවා සමත් වන්නේ එහි අපුරු ගලායාමක් සහිත තිර රචනය හේතුවෙනි. චිත්‍රපටියේ රසවත්බාවය දිගටම පත්වාගෙන යාමට එම චිත්‍රපටියට යොදා අැති පසුබිම් සංගීතයත් ඉතා අනර්ග මට්ටමක තිබුණි. තවද මෙම චිත්‍රපටියේ වැදගත්ම දෙය එහි කැමරා අධ්‍යක්ෂකවරයායි. ඔහු තම කැමරා කෝණය ඉතා සියුම් ලෙස භාවිතා කර තිබෙන බව හඳුනාගත හැකිය. අපරාධ කතා බොහෝමයක් එකම ධාරාවක ඒකාකාරී අයුරින් ගලාගෙන යන්නේ වුවත් මෙම චිත්‍රපටය එම ඒකාකාරී රටාවෙන් වෙනස් කිරීමට කැමරා අධ්‍යක්ෂවරයාගේ ප්‍රබල දායකත්වයක් ලැබී තිබේ.  මේ චිත්‍රපටියේ එවැනි අපට සුපුරුදු ඒකාකාරී සහ ගැටළු මතුවිය හැකි මට්ටමේ (විශ්වසනීයත්වය බිඳවන මට්ටමේ) ලක්ෂණ නොතිබුණ තරම් ය. IMDb ශ්‍රේණිගත කිරීම්වි අනුව මෙම චිත්‍රපටියට ලකුණු 7.4ක් ලබා දී තිබිණි.

 

 

සටහන : Jegan Ganeshan

Share

“Sliver Screen”සතියේ සිනමා සයිබර් ටීකාව – (Epi 01)


අහස උසට නිමැවූ මන්දිරයේ බිහිසුණු අත්දැකීමක් – Skyscraper අද (13) සිට

$
0
0

හොලිවුඩ් සිනමාවට ආදරය කරන හොලිවුඩ් චිත්‍රපට නැරඹීමට කැමති සිනමා රසිකයින් වෙනුවෙන් අලුත්ම සුන ආරංචියක් ගෙන එන්නයි සුදානම. ඒ අලුතින්ම නිර්මාණය කෙරුනු අද සිට තිරගත වීම් ආරම්භ වුනු ක්‍රියාදාම චිත්‍රපටයක් පිළිබඳව තොරතුරු. චිත්‍රපටයේ නම Skyscraper.  හිටපු ෆෙඩරල් පරීක්ෂක (FBI Agent) Will Sawyer සිය පවුල සමගින් Hong Kong හි The pearl නම්වූ අධි ආරක්‍ෂිත දැවැන්ත උස් ගොඩනැගිල්ලේ වාසය කරනවා. මේ ගොඩනැගිල්ල කෙතරම් ආරක්ශිතද කියනවා නම්, එහි ඇතුළත ජිවත් වන්නන්ට එය වෙනම සමාජයක් ලෙස හැඟී යන අයුරින් සකස් කොට තිබෙනවා. ගොඩනැගිල්ලේ ආරක්ෂාව පිලිබඳ දැඩි පිළිවෙත් අනුගමනය කර තිබෙන නිසාම මේ තුළ ජිවත් වන්නන්ට නිදහසේ ආරක්ෂිතව ජිවත් වීමට හැකියි. කෙසේ රැකවල් යෙදුවත් මේ ගොඩනැගිල්ලත් සූක්ෂම ලෙස සැළසුම් කළ ත්‍රස්ත ප්‍රහාරයකට නතු වනවා. ත්‍රස්ත ප්‍රහාරයත් සමග ගොඩනැගිල්ලේ වාසය කරන්නන්ට කුමක් සිදුවේද..? Will Sawyer සහ පවුල මෙම ගැටලුවට කෙසේ මුහුණ දෙන්නේද.? මේ සිදුවීම් හරහා චිත්‍රපටය ගොඩනැගී තිබෙනවා.

2017 වසරේ සැප්තැම්බර් මස නිළ වශයෙන් නිෂ්පාදන කටයුතු ආරම්භ කළ මේ චිත්‍රපටය 2016 වසරේ සිට මුලික අදියරේ සැලසුම් වල තිබූවක්. කැනඩාවේ British columbiaහි චිත්‍රපටය වැඩකටයුතු ආරම්භ වූ බව මාධ්‍ය වාර්තා කොට තිබුනා. චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය Rawson Marshall Thurberගෙන්. කැමරා අධ්‍යක්ෂවරයා වන්නේ Robert Elswit. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Will Sawyer ලෙස රංගනයේ යෙදෙන්නේ Dwayne Johnson. ඔහු මෙහි හිටපු FBI නිලධාරියා ලෙස රංගනයේ යෙදෙනවා.  චිත්‍රපටය පිලිබඳ විචාරක අදහස් වලට අනුව Dwayneගේ රඟපෑම් විශිෂ්ට බව පැවසෙන නමුත් චිත්‍රපටයේ තිර රචනය Die Hard සහ The Towering inferno යන චිත්‍රපට වලට සමානකමක් දක්වන බව පැවසෙනවා. Neve Campbell, Chin Han, Roland Moller, Noah Taylor, Byron Mann, Pablo Schreliber ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. විනාඩි 102 ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයට වැයකළ මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 125ක් බව පැවසෙනවා. මේ අපූරු අත්දැකීම විඳීමට අද (ජූලි 13 වැනිදා) සිට ලොව පුරා සිනමා රසිකයින්ට අවස්ථාව හිමිවනවා.

Share

කළුකුමාර සමග ජයන්ත චන්ද්‍රසිරි –“ඝරසරප”අගෝස්තු 10 වැනිදා සිට

$
0
0

දේශීය සිනමා ප්‍රේක්ෂකයින් අතර අමතක නොවන මතක සටහන් කිහිපයක් ඉතිරි කළ අධ්‍යක්ෂවරයෙක් ජයන්ත චන්ද්‍රසිරි.  ගරිල්ලා මාකටිං, අග්නිදාහය, සමනළ සංධ්වනිය වැනි නිර්මාණ හරහා ඔහු ප්‍රේක්ෂක සිත් බැඳගන්නට සමත් වුනා. මහරජ ගැමුණු සිනමාපටයෙන් පසු ජයන්ත චන්ද්‍රසිරි ගැන ප්‍රේක්ෂකයින් විමසිල්ලෙන් පසුවුනේ ඔහුගේ ඊළඟ නිර්මාණය කුමක් වේවිදැයි සිතමින්. කෙසේ නමුත් ප්‍රේක්ෂකයින්ගේ මේ ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයමින් ජයන්ත චන්ද්‍රසිරි නම් සිනමාකරුවා ඔහුගේ නවතම සිනමා නිර්මාණය සමග ප්‍රේක්ෂකයින් හමුවට එනවා. අගෝස්තු 10 වැනිදා තිරගත වීම් ආරම්භ වන ඔහුගේ මේ නවතම සිනමා නිර්මාණය “ඝරසරප” ලෙස නම්කොට තිබෙනවා.

අතීතය සහ වර්තමානය අතර දෝලනය වන අපුරු කතා තේමාවක් සහිත මේ චිත්‍රපටයත් ආදර කතාවක් බව පැවසෙනවා. නමුත් සාමාන්‍ය ආදර කතාවකින් වෙනස් වුනු අතීතය සහ වර්තමානය එකිනෙක සම්බන්ධ වන අපූරු ආදර කතාවක් බව පුර්ව ප්‍රචාරක දැන්වීමෙන් පෙන්නුම්කොට තිබෙනවා. චිත්‍රපටය පිලිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් කිහිපදෙනෙක් අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

“මේක මයාවත් තාත්විකත්වයත් අතර දෝලනය වන නිර්මාණයක්, ජයන්තගේ සිනමා ආනන්‍යතාව රැකගෙන මේ නිර්මානයත් කරල තියෙනවා කියල කියන්න පුළුවනි, ජයන්ත කොහොමටත් තාත්විකත්වයෙන් එහාට ගිහින් නාට්‍යමය භාවිතාවක් ඇතුලේ සිනමාව හසුරුවන්නෙක්, ආදරය පිලිබඳ ඉතාම රසවත් අත්දැකීමක් ගෙනදෙන චිත්‍රපටයක් බවත් කියන්න පුළුවන්, අපි හැමෝම ආදරණිය මතකයන් එක්ක තනිවෙන්න කැමතියි කියල මම හිතනවා, අන්න ඒ වගේ අත්දැකීමක් මේ චිත්‍රපටයෙන් ලැබෙනවා කියල මට හිතෙනවා” චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයෙන් පසු අදහස් දැක්වූ ප්‍රවීණ සිනමාවේදී අසෝක හඳගම ප්‍රකාශ කළා.

“ජයන්ත කියන්නේ හරි අපුරු ප්‍රේම කතා ගොතන්නෙක්, සමනළ සන්ධ්වනියේදී අපි ඒ වගේ අපුරු අදාර කතාවක් රසවින්දා. මේක වෙනත් අන්තයක සිට නිර්මාණය කෙරුනු සිනමාපටයක්. ආදරය පිලිබඳ වෙනස් අදහසක්. ජයන්ත ඇතුලේ හරි අපුරු තරුණයෙක් ජිවත් වෙනවා. මම හිතන්නේ මේ කතා කියන්න අන්න ඒ තරුණයා කියලයි, කොහොම වුනත් මේක ලෝක දෙකක් අතර දිවෙන අපුරු ආදර කතාවක්” මහාචාර්ය සුනිල් ආරියරත්න චිත්‍රපටය පිළිබඳව එලෙසින් පවසා තිබුනා.

චිත්‍රපටයේ පියතුමකුගේ චරිතයක් නිරුපණය කරන රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් චිත්‍රපටය ගැන අදහස් පල කළා. “අතීතයේ කලබලකාරී ප්‍රේමනීය සිතිවිලි ධාරාවක් වර්තමානයට භාවනාවක් වගේ රසවිඳින්න ජයන්ත අපට යෝජනා කරනවා. ජයන්තගේ නිර්මාණ රැසකට වේදිකාවේ, ටෙලි මාධ්‍යයේ වගේම සිනමාවේත් සම්බන්ධ වුනු කෙනෙක් හැටියට ජයන්තගේ මේ භාවිතාව මමත් විඳිනවා කිවොත් හරි. මේක මට විශේෂිත අත්දැකීමක්”

තමාට චිත්‍රපටයේ අවසන් දර්ශනයට පමණක් පෙනී සිටීමට අවස්ථාවක් ලැබුණු බවත් තමා ඉතා කැමැත්තෙන් එම චරිතය බාරගෙන හැකි උපරිමයෙන් එම කාර්ය සිදුකළ බවත් රංගන ශිල්පිනි සංගීතා වීරරත්න ප්‍රකාශ කළා. මිට පෙර කිසිදාක රඟපෑම ගැන අත්දැකීම් ලාඅ නැති තමාට මෙම චරිතය නිරුපණය කිරීමට ආරාධනා කිරීමේදී තමා විශ්මයට පත්වූ බවත් ජයන්ත චන්ද්‍රසිරිගේ මෙහෙයැවීමෙන් තමා ඊට උපරිමය ඉටුකළ බවත් තරුණ පරපුරේ ශිල්පිනියක් වන කාවින්ද්‍යා අධිකාරි පවසා තිබුනා.

අගෝස්තු 10 වැනිදා සිට දිවයින පුරා මේ චිත්‍රපටය තිරගත වනු ඇති. මේ අපූරු ආදර කතාව රසවිඳින්නට අගෝස්තු 10 වැනිදා සිට සිනමා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනවා.

 

 

Share

ලංකා බණ්ඩාරනායක සහ ජූඩ් රත්නම් ලොකර්නෝ යති

$
0
0

ලෝකර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ (Open doors) කාණ්ඩය සඳහා ශ්‍රී ලාංකික සිනමාකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන ඇති බව Locarno festival වෙබ් අඩවිය පසුගියදා නිවේදනය කළා. Locarno සිනමා උළෙලේ වෘතාන්ත චිත්‍රපට සහ කෙටි චිත්‍රපට යන අංශ දෙක සඳහා මෙලෙස ලාංකික චිත්‍රපට දෙකක් තේරී තිබෙනවා.  ජූඩ් රත්නම් නිර්මාණය කළ වෘතාන්ත වාර්තා චිත්‍රපටයක් සහ ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් මෙලෙස තේරී ඇතැයි සඳහන්. Open Doors කාණ්ඩය යටතේ දකුණු ආසියානු කලාපයේ නිර්මාණ කරුවන් පිරිසකගේ නිර්මාණ මෙලෙස තෝරාගෙන තිබෙනවා. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් අතුරින් මෙලෙස නිර්මාණ තෝරාගෙන තිබෙනවා.

ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ Tradition හෙවත් “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටයත් මෙවර ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors කාණ්ඩය යටතේ තෝරාගෙන තිබෙනවා. සාම්ප්‍රදායික විවාහ මංගල්‍ය අවස්ථාවකදී මිත්තනියක් තරුණියකට සාම්ප්‍රදායික ආභරණ පළඳවන අතරතුර ඒ ආභරණ කොටස් වලින් කියවෙන අර්ථය පැහැදිලි කරදෙන අයුරු සහ එය අගේ ජීවිතය සමග සම්බන්ධ වන අයුරු ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර වශයෙන් ඇය මෙම කෙටි චිත්‍රපටය සඳහා සම්මාන දිනාගෙන තිබෙනවා. මෙවර ලෝකර්නෝ සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශයට මෙම නිර්මාණය තෝරාගෙන තිබෙනවා. රංගන ශිල්පිනියක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලංකා, 1998 සිට මේ දක්වා සම්මානනීය රංගන ශිල්පිනියක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ නාට්‍යවේදිනියක් ලෙස කටයුතු කොට තිබෙනවා. Tradition ඇගේ පලමු කෙටි චිත්‍රපට නිර්මාණයද වනවා.

Jude Rathnam නිර්මාණය කළ Demons in paradise චිත්‍රපටය ප්‍රංශය සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්. 2017 වසරේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය සහ ඒ ආශ්‍රිත දේශපාලනික වටපිටාව ඇසුරින් නිර්මාණය වූවක්. සත්‍ය සිදුවීම් සහ චරිත පදනම් කරගනිමින් ජූඩ් මෙම චිත්‍රපටය වාර්තා චිත්‍රපට ශානරයෙන් නිර්මාණය කොට තිබුනා.

 

Share

තුන්දෙනෙක් නිර්මාණය කළ “තුන්දෙනෙක්”ලෝකර්නෝ උළෙලට

$
0
0

දේශීය සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් එක්ව නිර්මාණය කළ “තුන්දෙනෙක්” (Her, him & the other) 2018 ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors කාණ්ඩය යටතේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ රටවල නිර්මාණකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන මෙම Open doors කාණ්ඩය යටතේ තිරගත කෙරෙන වෘතාන්ත චිත්‍රපට සහ කෙටි චිත්‍රපට අතරට මෙම චිත්‍රපටයද ඇතුලත් බව ලෝකර්නෝ සිනමා උළෙල වෙබ් අඩවිය නිවේදනය කොට තිබුනා.

මෙරට සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අසෝක හන්දග්ම් එක්ව මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. Her හෙවත් ඇය ප්‍රසන්න විතානගේ නිර්මාණයක්. Him (ඔහු) විමුක්ති ජයසුන්දර විසින් නිර්මාණය කොට තිබෙනවා. The other අසෝක හඳගමගේ නිර්මාණයක්. ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සමයේ සමාජ දේශපාලන වටපිටාව මෙම චිත්‍රපටය හරහා කතාබහට ලක්කෙරෙනවා. මෙවර ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors කාණ්ඩය යටතේ මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජූඩ් රත්නම් නිර්මාණය කළ Demons in paradise චිත්‍රපටයත් වෘතාන්ත චිත්‍රපට කාණ්ඩයේ ප්‍රදර්ශනය කෙරෙද්දී ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ Tradition කෙටි චිත්‍රපටයත් ලෝකර්නෝ Open doors කාණ්ඩයේ තිරගත කෙරෙනු ඇති.

 

Share

වෙනස් ආදර කතාවකට ඉඩක් – The other love story විශේෂ දැක්මක්

$
0
0

ආදරය කියන්නේ මොකක්ද, ඒක අර්ථ ගන්වන්නේ කොහොමද කියන ප්‍රශ්නයට දෙන්න පැහැදිලි පිළිතුරු කිසිවෙක් ළඟ නැහැ. ඒ සියල්ල පුද්ගලයාට සාපේක්ෂ කාරණා. ආදර දැනෙන විදිහ විඳින විදිහ වගේම ආදරය කරන විදිහත් එකිනෙකාට වෙනස් වනවා. නමුත් මේ “වෙනස” අවභෝධ කරගන්නේ යටත් පිරිසෙයින් මොන තරම් කුඩා පිරිසක්ද කියන එක නැවත සිතා බැලිය යුතු කාරණයක්.

ආදර කතාවක් හැම විටම සුපුරුදු සාම්ප්‍රදායික අයුරින්ම පැවතිය යුතුයැයි කිසිවෙකුටත් කියන්න බැහැ. ආදරයට සීමා මායිම් නැහැ කියන ප්‍රකට කියමන අතරට දැන් දැන් ලෝකය තවත් කොටස් එකතු කරමින් යනවා. “ආදරයට ලිංග භේදයක් නැහැ” කියන අදහස ලෝකයේ දියුණු රාජ්‍ය දැන් පිළිගෙන හමාරයි. නමුත් ආසියාතිකයින් විදිහට අපි තවමත් මේවා “අපරාධ” විදිහට හඳුනාගෙන තිබෙනවා. පසුගියදා මේ සම්බන්ධව යම් ඉදිරි පියවරකට යන්න ඉන්දියාව කටයුතු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. නෛතික කාරණය කවරක් වුවත් මානුෂීයව අනිකා දෙස සමානයින් ලෙස බැලිය හැකි මානසික සංවර්ධනයක් පොදු සමාජය තුළ ඇති කරවීමේ අරමුණින් යම් යම් ක්‍රියාකාරකම් අපේ රටේදීත් සිදු වනවා. “Chathra” සංවිධානය එවැනි ක්‍රියාකාරකම් රැසක් සිදුකරන එක කණ්ඩායමක්.

යම් මතයක් සමාජගත කිරීමට මෙන්ම සමාජීය අවභෝධය ඇති කරවීමට සිනමාව සුදුසු මාධ්‍යයක් විදිහට ඔවුන් හඳුනා ගන්නවා. ඒ අනුව මාසික සිනමා දැක්මක් පැවැත්වීමට ඔවුන් කටයුතු කළා. චත්‍ර මාසික සිනමා දැක්මේ මේ මස පියවර ජුලි මස 20 වැනිදා පැවැත්වීමට සියල්ල සුදානම්. The other love story ඉන්දීය චිත්‍රපටය මෙවර තිරගත කෙරෙන බව ඔවුන් පවසනවා. 20 වැනි සිකුරාදා සවස 5.15 සිට මේ සිනමා දර්ශනය පැවැත්වෙනු ඇති. 0715153144 දුරකථන අංකයෙන් “වරා” අමතා වැඩි විස්තර දැනගැනීමට හැකියාව තිබෙනවා.

Share

සිනමා අධ්‍යයනය වෙනුවෙන් CFTA ඇරඹෙයි –ප්‍රධානි තනතුර විමුක්තිට

$
0
0

දකුණු ආසියානු කලාපයේ සිනමාවේ හෙට දවස පිලිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරවන ආරංචියක් ලංකාවෙන් පසුගියදා අසන්නට ලැබුනා. ඒ, දකුණු ආසියාවේ  සිනමාව පිලිබඳ හදාරන සිසුන් වෙනුවෙන් විවෘත වුනු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සිනමා පාසලක් පිළිබඳව. Colombo Film and Television Academy ලෙස මෙය නම්කොට තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Colombo school of business management ආයතනයට අනුබද්ධව මෙය ආරම්භ කොට ඇතැයි සඳහන්.

දකුණු ආසියානු කලාපයේ ඕනෑම රටක සිනමාව සහ රූපවාහිනීකරණය හැදෑරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්හට මෙම පාසල මගින් උසස් ජාතික ඩිප්ලෝමාවන් සඳහා අධ්‍යන කටයුතු සිදු කිරීමට හැකියාව තිබෙනවා.   ජූලි 19 වැනිදා සිට නිළ වශයෙන් අයදුම්පත් බාරගැනීමේ කටයුතු සිදුවන බව එහි අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක පවසනවා. CFTA ප්‍රධානි (Head) ලෙස සම්මානනීය සිනමාවේදී විමුක්ති ජයසුන්දර පත්කොට ඇති බව සඳහන්. මෙරට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ සම්මානනීය අධ්‍යක්ෂවරුන් සහ නිර්මාණවේදීන් මෙහි අධ්‍යයන කටයුතු සඳහා සම්පත්දායකයින් ලෙස කැඳවා ගැනීමට ආයතනයේ පාලනාධිකාරිය සැලසුම් කොට තිබෙනවා. දේශීය මෙන්ම ජාත්‍යන්තරවද කීර්තියක් ලැබූ, විෂය දැනුම සහිත ප්‍රවීනයින් සම්පත්දායකයින් ලෙස භාවිතා කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා. ඉදිරියේදී සිනමාව පිලිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියේ උපාධි ප්‍රධානය කරන ආයතනයක් දක්වා මෙය වර්ධනය කිරීම සිය අපේක්ෂාව බවත් ධනුෂ්ක ගුණතිලක පවසනවා.

කාලයක් පටන් මෙරට සිනමාව පිලිබන්ධ විධිමත්ව අධ්‍යයනය කළ හැකි සිනමා පාසලක අඩුවක් පැවති බවත් එම අඩුව සම්පුර්ණ කිරීමට CFTA සමත් වනු ඇති බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසවී තිබෙනවා.

Share

ලංකා බණ්ඩාරනායක , ජාත්‍යන්තර ජූරියකට

$
0
0

දේශීයව සිනමා ක්ෂේත්‍රයෙන් විවිධ ආකාරයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් වර්තමානයේ ශ්‍රී ලංකික නිර්මාණකරුවන් විසින් හිමිකර ගනිමින් සිටිනවා. ඒ සඳහා උදාහරණ බොහොමයි. විශේෂයෙන් නූතන ඩිජිටල් තාක්ෂණික පෙරළියත් සමග මේ තත්වයේ වැඩිවීමක් දක්නට තිබෙනවා. ලාංකික නිර්මාණ ශිල්පින් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල වලදී සම්මානලාභින් බවට පත්වීම වසරක් පාසා වැඩිවෙමින් තිබෙනවා. දේශීය සිනමා අධ්‍යක්ෂවරියක් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක පළමු අධියරේ ජූරි සභිකාවක් ලෙස තෝරා ගත බව පසුගියදා වාර්තා වුනා.

Sound and Image Challenge International Festival 2018 සම්මාන උළෙල මෙවර පැවත්වෙන්නේ 9 වැනි වතාවට. ලොව පුරා විසිරී සිටින කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් සහ Music videos නිර්මාණකරුවන් මෙන්ම Graphic designer ශිල්පීන් වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී සම්මාන ප්‍රධානය කිරීමට අපේක්ෂා කෙරෙනවා. 2018 දෙසැම්බර් 4 සිට 9 දක්වා කාලය තුළ Dom pedro V theater හෙවත් Macao theaterහිදී මෙම සිනමා උළෙල පැවැත්වෙනු ඇති. සිනමා සම්මාන උළෙලේ ජුරිය අදියර දෙකකින් සමන්විත බව සිනමා උළෙලේ වෙබ් අඩවිය සඳහන් කරනවා. ශ්‍රී ලාංකීය සම්මානනීය කෙටි චිත්‍රපට නිර්මාණවේදිනියක් සහ රංගන ශිල්පිනියක් වන ලංකා බණ්ඩාරනායක මෙම සම්මාන උළෙලේ පළමු අදියරේ ජුරිය සඳහා තෝරාගෙන තිබෙනවා.

ලංකා බණ්ඩාරනායක 1998 සිට රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නියක්. රංගනයෙන් වගේම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙසත් ජාතික මට්ටමේ සම්මාන රැසකට හිමිකම් කීමට ලංකා සමත් වුනා. ඉන් පසුව ලංකා නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසුනා. වේදිකා නාට්‍ය නිර්මාණ ශිල්පිනියක් ලෙසත් ඇය අත්දැකීම් සහිත ශිල්පිනියක් මෙන්ම සම්මානනීය ශිල්පිනියක්ද වනවා. 2016 වසරේ ලංකා සිය පළමු කෙටි චිත්‍රපටය නිර්මාණය කරනවා. Tradition ලෙසින් නම් යොදා ඇති මෙම කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ගැනීමට සමත් වුනා. ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත නිර්මාණකාරිනියක් ලෙස ඇය මෙලෙස ජුරි සාමාජිකාවක ලෙස තෝරාගෙන ඇති බව එම වෙබ් අඩවිය නිවේදනය කර තිබෙනවා. උළෙලේ පළමු අදියරේ ජූරියට විවිධ රටවලින් තෝරාගත් ශිල්පින් 13 දෙනෙක් ඇතුළත්. මෙවර Sound and Image Challenge International Festival 2018  සම්මාන උළෙලේ ජුරි සාමාජිකාවක ලෙස තේරී පත්වුනු ලංකා බණ්ඩාරනායක ශිල්පිනියට cinema.lk අපේ සුබ පැතුම්..!!

 

Share


ජපාන සිනමා අත්දැකීමක් –ජපන් සිනමා උළෙල කොළඹදී

$
0
0

ජපාන සිනමාව අපට එතරම්ම සමීප නොවුනත් සියවසකට අධික ඉතිහාසයක පටන් ජපාන ජාතිකයින් අතර සිනමාව ප්‍රචලිතයි. භාෂාව සහ වෙනත් විවිධ සංස්කෘතික කරනා නිසා අපට ජපාන සිනමාව එතරම් සමීප නොවනවා වන්නට පුළුවන්. ඒ නිසාම ජපාන සිනමා අත්දැකීම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කරවීමේ අරමුණින් ජපන් තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව ජපන් සිනමා උළෙලක් සංවිධාන කර තිබෙනවා.  සිනමාවක් සහිත ජපානයේ අපූරු චිත්‍රපට හතරක් තිරගත කෙරෙන මෙම ජපාන සිනමා උළෙල  ජූලි 21 සහ 22 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. එහි පළමු දිනය වන ජූලි 21 වැනිදා ශානර දෙකකට අයත් ජපාන සිනමාපට දෙකක් තිරගත කෙරෙනවා.

21 / 07       3.00pm        It’s a beutiful life (drama)

2012 වර්ෂයේ තිරගත වුනු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Osama Minorikawa විසින්. චිත්‍රපටය සඳහා තිර රචනය Noriko Nishiguchi විසින් සිදුකළා. Kazuko Yoshiyuki, Sumiko Fuji, Mie Nakao, Tatsuya Fuji, Yuta Hiraoka, Eri Murakawa, Shigeyuki Totsugi ඇතුළු පිරිසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වුයේ Isao Ishii විසින්. මෙම චිත්‍රපටය 21 වැනිදා සවස 3.00ට තරංගනී සිනමා ශාලාවේදී තිරගත කෙරෙනවා.

21 /07        5.30pm        The Complen (Horror)

21 වැනිදා සවස 5.30ට The Complen චිත්‍රපටය තිරගත කෙරෙනවා. මෙම චිත්‍රපටය Horror කාණ්ඩයට අයත් වන්නක්. 2013 වසරේ තිරගත කෙරුණු චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Hideo Nakata විසින්. Junya Kato, Ryuta Miyake දෙදෙනා විසින් චිත්‍රපටයේ කතාව සහ තිර රචනාව සිදුකොට තිබෙනවා. Atsuko Maeda, Hiroki Narimiya චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පින් වනවා. විනාඩි 160ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය 21 වැනිදා සවස 5.30ට තිරගත වනවා.

ජපන් සිනමා උළල සමග සම්බන්ධ වී ජපාන සිනමා අත්දැකීමක් විඳින ලෙස ජපාන තානාපති කාර්යාලය මෙරට සිනමාලෝලීන්ට ඇරියුම් කරනවා.

Share

Ishaan සහ Janhvi සමග Dhadak ජූලි 20 වැනිදා සිට…

$
0
0

බොලිවුඩ් සිනමාවට ආදරය කරන ලොව පුරා සිටින සිනමා රසිකයින්ට සුබ ආරංචියක් ගෙන එන්නයි මේ සුදානම. පසුගිය කාලය පුරා බොහෝ සිනමා රසිකයින් පිරිසක් පුල පුලා බලා සිටි අපූරු චිත්‍රපටයක් අද සිට (ජූලි 20 වැනිදා සිට) තිරගත කෙරෙනවා. ඒ “Dhadak” චිත්‍රපටය. 2016 වසරේ නිර්මාණය කෙරුණු Sairat මරාති චිත්‍රපටයේ නැවත නිර්මාණයක් ලෙස මේ චිත්‍රපටය නිමවා තිබෙන බවයි සඳහන් වන්නේ.

චිත්‍රපටය සඳහා තිර රචනය සිදුකලේ Shashank Khaitan විසින්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේත් ඔහුමයි. පසුගියදා ජිවිතයෙන් සමුගත් ඉන්දීය ජනප්‍රිය තරුවක් වූ ශ්‍රීදේවි කපූර්ගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Parthavi ලෙස රංගනයේ යෙදෙනවා. සිනමා පවුලකින් පවත එන තරුණ දක්ෂ ශිල්පියකු වූ Ishaan Kaitan මෙම චිත්‍රපටයේ Madhukar ලෙස රංගනයෙන් දායක වනවා. මීට පෙර ඉරාන ජාතික සම්මානනීය සිනමාවේදී Majid Majidi නිර්මාණය කළ Beyond the clouds චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේත් ඔහුමයි. ඔහුගේ රංගන හැකියාව පිලිබඳ බොහෝ දෙනා එම චිත්‍රපටයත් සමග කතාබහ කරන්නට පාටත් ගත්තා.

බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයකු වූ Karan Johar මෙහි නිෂ්පාදකයා වනවා. Ajay-Atul සහ John Stewart මෙම චිත්‍රපටයේ සංගීත නිර්මාණකරුවන් වනවා. Vishnu Rao චිත්‍රපටය සඳහා අපූරු දර්ශන නිර්මාණය කොට තිබෙන බව සඳහන්. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 137ක්. ජුලි 20 වැනිදා සිට ඉන්දියාව පුරාත් සමගාමිව ලොව පුරා වෙනත් රටවලත් චිත්‍රපටයේ තිරගත කිරීම් ආරම්භ වනවා.

Share

මාසික ඉරාන සිනමා දැක්ම –ජූලි කලාපය

$
0
0

ඉරාන සිනමා අත්දැකීමක් ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් වෙත සමීප කරවීම උදෙසා සෑම මසකම ඉරාන සිනමාපටයක් තිරගත කිරීම සිදු කෙරෙනවා. ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මෙම වැඩසටහන සංවිධාන කෙරෙනවා. Cinema of Iran නමින් නම්කොට ඇති මෙම වැඩසටහනේ ජූලි මස කලාපය පිලිබඳ තොරතුරුයි මේ.

ජූලි මස 26 වනි බ්‍රහස්පතින්දා දිනයේ සවස 5.30ට මෙවර ඉරාන සිනමාපටය තිරගත කිරීම සිදු කෙරෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා දර්ශනය පැවැත්වෙනවා. මෙවර ඉරාන සිනමා දැක්මේ තිරගත වන්නේ 2012 වර්ෂයේ ඔක්තෝබර් මස ඉරානයේදී තිරගත කිරීම් ආරම්භ වුනු චිත්‍රපටයක්. Someone wanna talk to you ලෙස ඉංග්‍රීසි නමින් නම්කෙරුණු මේ චිත්‍රපටයේ ඉරාන නම Yeki Mikhad Bahat Harf Bezane ලෙස සඳහන් වනවා. Manouchehr Hadi විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට Hadi සමග Saeed Dolatkkhani එක්ව තිර රචනය සිදුකොට තිබෙනවා. Anahita Ne’mati, Hamid Reza Pagah, Yekta Naser ඇතුළු නළු නිලියන් පිරිසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා.

Yasaman තම මව වූ Leila සමග ජිවත් වනවා. නමුත් Yasamanට කිසි දිනෙක ඇගේ පියා හමුවී නැහැ. අගේ පියා හමුවීමට මව Leila ඇයට අවස්ථාවක් උදාකර දී නැහැ. කෙසේ නමුත් හදිසි අනතුරකට මුහුණපාන Yasaman මොලය අක්‍රිය (Brain dead) තත්වයකට පත් වනවා. ඉන් අනතුරුව සිය දියණිය හමුවන ලෙස ඉල්ලීමක් කිරීමට Leilaට තම හිටපු සැමියා හමුවීමට සිදු වනවා. මෙම සිදුවීම වටා නිර්මාණය වූ අපුරු චිත්‍රපටයක් වන මෙය පැය 1 මිනිත්තු 30ක ධාවන කාලයකින් යුක්තයි.

37287492_10156701860910712_4287766074658652160_n

 

Share

සරසවි සිනමා සතියෙන් ජනප්‍රිය චිත්‍රපට හතරක්

$
0
0

සරසවිය පුවත්පත Cargills ceylon ආයතනය සමග එක්ව 34 වැනි සරසවි සිනමා සම්මාන උළෙල සංවිධාන කෙරෙනවා. සරසවි සම්මාන උළෙල මෙරට දේශීය සිනමාවේ ප්‍රමුඛ සහ මුල්ම සම්මාන උළෙල ලෙස ප්‍රසිද්දියට පත්වුනා. සිනමාව උදෙසාම වෙන්වුනු සරසවිය පුවත්පත මෙම සිනමා උළෙල ආරම්භ කළා. මෙවර සරසවිය සිනමා උළෙල සඳහා ප්‍රධාන දායකත්වය සැපයීමට Cargills සමාගම එක්ව සිටිනවා.

සරසවි සිනමා උළෙලට සමගාමිව පසුගිය වසර වල තිරගත වුනු චිත්‍රපට අතුරින් ජනප්‍රිය චිත්‍රපට 4ක් තිරගත කෙරෙන සිනමා උළෙලක් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කොට තිබෙනවා. ජූලි 24 වැනිදා සිට ජූලි 28 වැනිදා දක්වා මෙම සිනමා උළෙල පැවැත්වීමට නියමිතයි. දින හතරේම සවස 7.00ට කොළඹ රීගල් සිනමා ශාලාවේදී මෙම චිත්‍රපට තිරගත වීම සිදු කෙරෙනවා. මෙම සිනමාපට නැරඹීමට ඕනෑම අයෙකුට සහභාගී විය හැකි බවත් සිනමා උළෙල සම්පුර්ණයෙන් නොමිලේ පැවැත්වෙන බවත් සංවිධායකයින් දැනුම් දෙනවා.

තිරගත කෙරෙන චිත්‍රපට මෙසේයි.

24 අඟහරුවාදා – පත්තිනි

25 බදාදා  –  මායා

26 බ්‍රහස්පතින්දා – ආලෝකෝ උදපාදී

27 සිකුරාදා –  ධර්ම යුද්ධය

මෙම චිත්‍රපට නැරඹීම සඳහා සිනමාලෝලීන් සැමට උළෙල සංවිධායකයින් විවෘත ආරාධනයක් සිදුකරනවා.

37658560_1885132658196703_7696492123536752640_n

Share

සිංගප්පූරු සිනමාපටයක් සහ සංවාදයක් භූපති සමග

$
0
0

සිංගප්පූරු සිනමාපටයක අත්දැකීම විඳගැනීමට ලැබෙන අපුරු අවස්ථාවක් ගැන තොරතුරු ලැබෙනවා. වැඩසටහන සංවිධාන කෙරෙන්නේ සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කළා අනුකමිටුව විසින්. “හිරුටත් කලින් ඇහැරෙන්න 2018” දෘශ්‍ය හා ප්‍රාසාංගික කලා උළෙලට සමගාමිව මෙම වැඩසටහන සංවිධාන කෙරෙනවා. ජූලි මස 25 වැනි බදාදා දිනයේ සවස 3ට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය දෘශ්‍ය කලාපීට ශ්‍රවණාගාරයේදී මෙම සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය පැවැත්වෙනු ඇති. සිනමාපටය ප්‍රදර්ශනයෙන් පසුව සංවාද මණ්ඩපයක් පැවැත්වීමට සංවිධායකයින් අපේක්ෂා කරනවා. භූපති නලින් වික්‍රමගේ මේ සිනමා සංවාදය සඳහා සහභාගී වීමට නියමිතයි.

37679795_10216075533382313_8777705077507883008_n

සිංගප්පූරු සිනමාව අපට එතරම්ම සමීප අත්දැකීමක් නොවෙයි. 2013 වසරේ සිංගප්පූරුවේ නිර්මාණය කෙරුනු සම්භාව්‍ය චිත්‍රපටයක් වන ILO ILO මෙවර ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබෙනවා. වීදුරු නිෂ්පාදනය කරන සමාගමක අළෙවිකරුවකු ලෙස සේවය කරන මධ්‍යම පාන්තික පිරිමියෙක් සහ පෞද්ගලික සමාගමක ලේකම්වරියක ලෙස සේවයන කරන ඔහුගේ බිරිඳත් 10 හැවිරිදි පුත්‍රයාත් මෙම චිත්‍රපටය ගොඩනැගීමට භාවිතා කොට තිබෙනවා. මේ පවුලේ බිරිඳ නැවත ගැබ් ගැනීමත් සමග නිවසේ සහයට පිලිපනයෙන් සංක්‍රමණය වන Teresa නම් නැනී කෙනෙකු ගෙන්වා ගැනීමට මෙම පවුල තීරණය කරනවා. මේ සිව්දෙනා වටා චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙනවා.

Anthony Chen අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට Chen Tianwen, Yeo Yann Yann, සහ Angeli Bayani රංගනයෙන් දායක වනවා. ළමා නළුවා ලෙස Koh Jia Ler චිත්‍රපටයට දායකවී තිබෙනවා. විනාඩි 99ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටය ලෝකයේ විවිධ සිනමා උළෙල වලදී තිරගත කොට තිබෙනවා. 86 වැනි ඇකඩමි සම්මාන උළෙලේ “හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය” යන කාණ්ඩය යටතේ සිංගප්පුරුව නියෝජනය කිරීමට මෙම චිත්‍රපටය සමත් වුනා. ජූලි 25 වැනිදා සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේදී මෙම සිනමාපටය රසවිඳීමට අවස්ථාව උදාවී තිබෙනවා.

Share

Viewing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>