
Jacqueline Fernandez ගැන ලාංකිකයින් හැමෝම දන්නවා. ශ්‍රී ලාංකික සුරූපිනියක් වුනු ඇය මේ වෙද්දී බොලිවුඩ් පුරයේ සුපිරි තරුවක් බවට පත්වී අවසන්. බොලිවුඩ් චිත්‍රපට ගණනාවකට දායක වුනු ඇය ඒ හරහා ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේම අවදානය දිනා ගැනීමට සමත් වුනා.
ඇය බොලිවුඩ් සිනමාවේ තරුවක් වුනත්, ශ්‍රී ලාංකීය චිත්‍රපටයකටත් දායක වී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Chandran Ratnum විසින්. ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක් ලෙසින් වගේම සිනමා කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනගිය චරිතයක් ලෙසත් චන්ද්‍රන් රත්නම් ප්‍රසිද්දයි. ඔහු නිර්මාණය කළ According to Mathew චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සමගිනුයි Jacqueline මෙලෙස දේශීය සිනමාවට සම්බන්ධ වන්නේ.
1979 පමණ සිදුවුණු සත්‍ය සිදුවීමක් ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. Father Mathew ගේ චරිතය ඇසුරිනුයි චිත්‍රපටය නිර්මාණය වන්නේ. ඔහු අදාළ කාල වකවානුවේ සිය බිරිඳත් සිය පෙම්වතියගේ ස්වාමියාත් ඝාතනය කළ චූදිතයකු බවට පත් වනවා. මේ සිදුවීම් වටා ගොඩනැගුනු කතාවක් සිනමාවට ගෙන ඒමට චන්ද්‍රන් සමත්ව තිබෙනවා.
චිත්‍රපටයේ කතානායකයා වන මැතිව්ස් පියතුමාගේ චරිතයට Alston Koch රංගනයෙන් දායක වනවා. Jacqueline Fernandez මෙහි ඔහුගේ පෙම්වතිය වන Daphne Reynolds ගේ චරිතය නිරූපණය කරනවා. Kian O’ Grady චිත්‍රපටයේ Daphneගේ ස්වාමියා ලෙසිනුත් බිම්සරා ප්‍රේමරත්න මැතිව්ස් පියතුමාගේ බිරිඳ වන Eunice Pieris ලෙසත් රංගනයෙන් දායකව තිබෙනවා. Ryan Wijayarathne, Gavin Ludewyke චිත්‍රපටයේ චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටයේ තිර රචනය Christie Eliezer අහ James Ratnaumගෙන්. දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාහල්වල නොවැම්බර් 23 වැනිදා සිට මෙම චිත්‍රපටය තිරගත වනවා.