Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

ගින්නෙන් උපන් සීතලෙන්, මා දුටු විජේවීර –කාංචනා ප්‍රියකාන්ත

$
0
0

සටහන : කාංචනා ප්‍රියකාන්ත

****************************************

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවන රෝහණ විජේවීරගේ චරිතය පිළිබඳ විවධ මතිමතාන්තර අසා ඇතත් ඔහුගේ චරිතය පිළිබඳ සොයා බැලීමට මින් පෙර කැමැත්තක් ඇති වී නැත. ගින්නෙන් උපන් සීතල තුළින් මා දුටු විජේවීර ගැන ලියා පසුදිනක ඔහුගේ චරිතය සහ පක්ෂය පිළිබඳ පසුව කියවා බැලීමට බලාපොරොත්තු වෙමින් මේ සටහන ලියමි.

රුසියාවේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය විද්‍යාව හැදෑරු ඔහු භාෂා 5ක් දන්නා බව චිත්‍රපටය තුළ පැවසේ. මෑත ඉතිහාසයේ ජීවත්ව ඝාතනයට ලක් වූ චරිතයක් ලෙස චිත්‍රපටය හරහා කියවෙන කරුණු සියල්ල නිවැරදි යයි උපකල්පනය කළහොත් මේ චරිතය උගත් බුද්ධිමත් චරිතයක් ලෙස විජේවීර ගැන කිසිවක් නොදන්නා කෙනෙකුට පවා නිගමනය කළ හැකි දෙයකි. විජේවීර දක්ෂ කථිකයෙකු බව මම අසා ඇත්තෙමි. (චිත්‍රපටය තුළින් එවැන්නක් පිළිඹිබු නොවුණත් එහි නිරූපණය වන්නේ ඔහු හිරෙන් නිදහස්ව සැඟවී සිටි කාලය හා අවසානය යන කරුණු නිසා ඔහුට කතා පවත්වන්නට වැඩි ඉඩක් නොලැබෙන්නට ඇත. ) රටක තුන්වන දේශපාලන බලවේගය බවට පත්විය හැකි ප්‍රබල පක්ෂයක් නිර්මාණය කළ නායකයෙක් අනිවාර්යයෙන් මොළ කාරයෙකු සහ දක්ෂ කථිකයෙකු විය යුතු අතර ඔහු වටා පෙළ ගැසී සිටි පිරිසද බුද්ධිමත් තරුණ පෙළකි.

දේශපාලන නායකයකයා යනු ශක්තිමත් බුද්ධිමත් කෙනෙකි. සිය අනුගාමිකයන් , පාක්ෂිකයන් වෙනුවෙන් පමණක් නොව සමස්ත ජනතාව කෙරෙහි ඔහු වගකිව යුතුය. චිත්‍රපටය තුළ මා දකිනා විජේවීර එවැන්නෙක් නොවේ. ඔවුන්ගේ පක්ෂය තුළ කාන්තාවන්ට දැඩි ගරුත්වයකින් සැලකූ බව මම අසා ඇත. උදාහරණයක් ලෙස ඔවුන්ගේ සන්නද්ධ අරගලය තුළදී පෙම්වතා හෝ සැමියා මිය ගිය කාන්තාවන් හෝ අපයෝජනයන්ට ලක් වූ කාන්තාවන් පාක්ෂිකයන් විසින් විවාහ කොට ගෙන පිළිසරණක් වූ බව මා අසා ඇත. උපතිස්ස ගමනායක ඒ ආකාරයේ සියල්ලන්ටම එක හා සමානව ආදරය කළ මිනිසෙක් ලෙස චිත්‍රපටය තුළ පැවසේ. විජේවීර විවාහකරගන්නේ තමාට වඩා වයසින් ඉතා බාල දේශපාලනයට කිසිසේත් සම්බන්ධයක් නැති තරුණියකි. චිත්‍රපටය තුළ මා දුටු තරුණ චිත්‍රාංගනී තමාට විවාහ විය නොහැකි බව කියමින් හඬන්නීය . එම පක්ෂයේම සාමාජිකයෙක්වන ඇගේ දෙවන සොයුරා විජේවීර සමග ඉංග්‍රීසි ඉගෙනීමට ආසාවෙන් පසුවන ඇය විවාහ විය යුතුම බව පවසන්නේ විජේවීර භාෂා 5ක් දන්නා නිසාත් ඔහු කවදා හෝ රටේ ප්‍රධාන නායකයෙකු විය හැකි නිසාත්ය.

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසුව විවිධ තැන්වල සැඟවෙමින් සිටිනා රෝහණ විජේවීර කැලෑවකට වී පොත් කියවයි. ඔහු වෙනුවෙන් දිවි හිමියෙන් ජීවිත පූජාවෙන් කටයුතු කරනා තරුණ පිරිස දුටු මා හට ඇති වූයේ ශෝකයකි. නායකයා ඕනෑම අරගලයකදී , විප්ලවයකදී මෙන්ම තරඟයකදී වැදගත්ය. චෙස් තරඟයකදී පවා ජයග්‍රහණය උදෙසා ජීවිත පූජාව සඳහා ඉදිරියට යවන්නේ pawnවරුන්ය. pawnවරයෙකු අහිමිවීම තරඟයේ ජයග්‍රහණය උදෙසා විශාල බලපෑමක් නොකරයි.නමුත් අරගලයකදී මිය යන සෑම මිනිසෙකුම වැදගත්ය. ඔහුට සැඟවීමට සිදුවුණු අවස්ථාවේදී ඔවුන්ට සම්බන්ධකම් කියූ පාක්ෂිකයන් මෙන්ම නිර්පාක්ෂිකයන්ද වදබන්ධනයන්ට ලක්වෙමින් මිය යද්දී ඔහුගේ පාක්ෂිකයන් විජේවීර ඇතුළු ඔහුගේ මුළු පවුලම ආරක්ෂා කරමින් ආරක්‍ෂිත ස්ථානවල ඔවුන් සඟවයි. සන්නද්ධ කැරැල්ලකින් සිය දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන මේ මිනිසා විවාහ වී සීඝ්‍රයෙන් දරුවන් හදමින් සිය පාක්ෂිකයන්ගේ ජීවිත අනතුරට ලක් කරන්නේ ආත්මාර්ථකාමී ලෙස යයි මට හැඟේ . මෙයින් අදහස් වන්නේ විජේවීර විවාහ වීම හෝ දරුවන් සෑදීම වැරදි බව කීමක් නොවේ. ඔහු පක්ෂය අරඹන්නේම සන්නද්ධ අරගලයක් තුළිනි. ඔහුව විශ්වාස කොට දහස්ගණන් තරුණ තරුණියන් සිය ජීවිත අහිමි කර ගත්හ. එවැනි අවස්තාවක ඔහු බැඳීම් වැඩි කරගනිමින් ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද , පාක්ෂිකයන්ගේ ජීවිත අනතුරක හෙලන්නේ අදූරදර්ශී ලෙසය. චිත්‍රපටයේ එක රූපරාමුවක ඔහු මුල් කරගෙන ඇති වූ කැරැල්ලේ තරුණයන් වද බන්ධනයන්ට මුහුණ දෙමින් මිය යද්දී සිය දියණියගේ උපන්දිනය සමරන නායකයෙකි ඔහු. ඔහු තාත්තා කෙනෙක්වග කෙනෙකුට තර්ක කළ හැකි වුවත් නායකයෙක්ට මිනිසුන් කෙරෙහි වූ වගකීම ඊට වඩා වැඩි විය යුතුය. එසේනම් සිය දරුවන්ට යුතුකම් ඉෂ්ට කිරීමට රාජ්‍ය දේපල අවභාවිතා කළ සියලුම දේශපාලඥයන්ට තාත්තා යන තනතුර නිසා සමාව දිය යුතුය.

පක්ෂයේ මුල් පෙළ සාමජිකයන් දඩයම් වෙද්දී තවමත් පක්ෂපාතිව විජේවීර ආරක්ෂා කරන්නට තැත් කරනා මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙලමින් ඔහු අවසාන මොහොතේදී ක්‍රියා කරනා ආකාරය නායකයෙක්ට නම් උචිත නැත.

පුද්ගලයෙකු නායකයෙකු වූ පසු සිය පෞද්ගලික ජීවිතයට දැඩිව බැඳෙනවා නම් ඔහු කළ යුත්තේ දේශපාලනයෙන් සමුගෙන සාමකාමී පවුල් ජීවිතයක් ගත්කිරීමයි. මිනිසෙකු නායකයෙකු වුණු පසු ඔහු වගකිව යුත්තේ සමස්ත රටකටය.ජාතියකටය. මිනිසුන්ටය.

එළාර රජ රජකම් කරන සමයේ සිය පුතණුවන්ගෙන් සිදු වූ වරදකට ඔහුට දඬුවම් කළ බව සැලවේ . එසේ බැලූ කළ ඔහු නායකයෙක් ලෙස අගය කළ හැකි චරිතයකි.

ප්‍රභාකරන් චරිතය හා සංසන්දය කිරීමේදී නායකයෙකු ලෙස ප්‍රභාකරන් ඉදිරියෙන් සිටී යයි මට සිතේ.

ඔහුට බහුතර දමිළ ජනතාවකගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වූ අතර සිය සතුරාගේ අතට සිය සාමාජිකයන් හසු වූ විට ලැබෙන දැඩි වද බන්ධනයන්ගෙන් මිදීමට ඔහු සිය අනුගාමිකයන්ට සයනයිඩ් කරලක් ලබා දෙයි. එයින් සතුරාගේ අතට පත් වී දැඩි වද වේදනාවන්ට මුහුණ දී මරණයට ලක්වීමට වඩා පහසු මරණයක් ඔවුන් අත්කර ගන්නා අතර වද බන්ධනයන්ට මුහුණ දීමේදී රහස් එළිදරව් වීමට ඇති සම්භාවිතාවයද අවම වේ. එවිට පාවාදීම් අඩු කරගත හැකිය.

කෙසේ වුවත් බොහෝ දේ සන්නද්ධ අරගලයකින් ජයගත හැකි එකකට වඩා බුද්ධිමය සහ ආකල්පමය අරගලයකින් ජයගත හැකි බව මාගේ පෞද්ගලික විශ්වාසයි. මතක තබා ගත යුතු දෙයක් ඇත.චීන කොලනියක් වීමේ සම්භාවිතාව වේගයෙන් ඉහල යමින් තිබුණත් ශ්‍රී ලංකාව යනු චීනය, කියුබාව, ප්‍රංශය හෝ රුසියාව නොවේ. විජේවීරට අමතක වූයේ එය බව සිතේ.

– කාංචනා ප්‍රියකාන්ත –

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>