
ඉන්දියානු සිනමා සංගීතයේ නොමැකෙන මතක සටහන් ඉතිරි කළ ලතා මන්ගේෂ්කර් තරමටම ජනප්‍රියත්වයට පත්වුණු, සිනමා තිරයට නැතිවම බැරි හඬක් මීට දශක දෙකකට පමණ පෙර ඉන්දියාවෙන් බිහි වනවා. Sa Re Ga Ma Pa නම් ජනප්‍රිය රියැලිටි වැඩසටහනේ ජයග්‍රාහිකාව ලෙස කලඑළි බසින Shreya Ghoshal එසැනින්, බොලිවුඩ් තිරය ආක්‍රමණය කරන්නේ සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ ඉමහත් ජනප්‍රියත්වයට පත් දේව්දාස් චිත්‍රපටයේ ගීත ගායනයට එක් වෙමින්. 2002 වසරේ ඉන්දීයාවේ National Film Awards සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සාමාන දිනු මේ යෞවනිය මේ වනවිට ඉන්දියානු මුහුදු සීමා අතික්‍රමණය කරමින් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන තරුවක් බවට පත්ව තිබෙනවා. පසුගියදා කේරලයේ ප්‍රසංගයකට සහභාගී වීමට කේරල ප්‍රදේශයට පැමිණි ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්චාවක සිංහල පරිවර්ථනයක් මේ.
ශ්‍රියා ගෝෂාල් කියන්නේ කවුද..?
මට ඒ ප්‍රශ්නෙට දෙන්න පැහැදිලි උත්තරයක් නැහැ. නමුත් මෙහෙම කියන්නේ. ඔයාට මාව හඳුන්වන්න පුළුවන් නිකන් සරල මනුස්සයෙක් කියල. මට බොහොම පුංචි දේවල් විඳින්න පුළුවන්, ජිවිතේ ගැන හුඟක් සරලව හිතන කෙනෙක්. මම හිතන්නේ ඒ තමයි මට මම ගැන කියන්න පුළුවන් හොඳම නිර්වචනය. සරළව, මම ජිවිතයට ආදරය කරන කෙනෙක්. ලොකු ලොකු දේවල් මම ජිවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලැබුන දේවල් ඕනෙවටත් වැඩියි කියලයි මම හිතන්නේ. මම අතීතයේ ජිවත් වෙන කෙනෙක් නෙමෙයි වගේම අනාගතය ගැන ලොකුවට හිතන ඒ ගැන, ප්ලෑන් කරන කෙනෙකුත් නෙමෙයි. මේ මොහොත විඳිනවා. එච්චරයි. දැන් මම කේරලයට ආව. ඔයා එක්ක මේ සම්මුඛ සාකච්චාවට සහභාගී වුනා. මේ හමුවීම්, ගමන් බිමන් සේරම මම ඒ මොහොතේ විඳිනවා. එච්චරයි. මේ අලුත් හමුවීම්, අලුත් මිතුරුකම්, සම්බන්ධතා, අත්දැකීම් මේ සේරම මම එන්ජෝය් කරනවා වගේම ඒවා මට වැදගත්. ඒ තමයි මම.
ඉන්දියාව වගේම ලෝකයම හඳුනන ගායිකාවක් කියන ටයිට්ල් එකෙන් එලියට ගියොත්, ශ්‍රියා ගෝෂාල් කියන්නේ මොන වගේ කෙනෙක්ද..?
වෘත්තීය ජිවිතයෙන් පිටත මම හරිම homely චරිතයක්. මම හරිම කැමතියි ගෙදරට වෙලා ඉන්න. මගේ අම්ම තාත්ත, මල්ලි, සැමියා සහ මගේ බල්ලා, මේ පිරිස එක්ක කාලය ගත කරන්න ලැබෙන එක මම හුඟක් එන්ජෝයි කරනවා. ඊටත් අමතරව මට මම කැමතිම රස කෑම, අහන්න කැමති සංගීතය සහ බලන්න හොඳ චිත්‍රපට තමයි විවේකි දවසකට මට ඕනේ කරන්නේ. මම ඒ වගේ බොහොම සරළ සහ පුංචි දේවල් වලින් තෘප්තිමත් වෙන්න පුරුදු වුන කෙනෙක්. මට තියෙන්නේ සංකීර්ණ ජිවන රටාවක් නෙමෙයි.
ඔබ භාෂා කියක් කතා කරනවද..? භාෂා කියක ගීත ගායනා කරලා තියෙනවද?
මම කතා කරන්නේ නම් භාෂා තුනයි. ඉංග්‍රීසි, හින්දි සහ බෙංගාලි. නමුත් ඉන්දියාවේ පාවිච්චි වෙන හුඟක් භාෂා වලින් මට ගීත ගායනා කරන්න නම් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කොච්චරක්ද කියන්න මට මේ වෙලාවේ හරියටම කියන්න බැහැ. නමුත් මම හිතනවා ඉන්දියාවේ පාවිච්චි වෙන භාෂා වලින් 80%ක විතර මම ගීත ගායනා කරලා තියෙනවා කියල.
ඔබ මලයාලි භාෂාවෙන් ගායනා කළ ගීත අහගෙන ඉද්දි ඒක ඔරිජිනල් මලයාලම් ගායිකාවක් කිවුවා වගේමයි දැනෙන්නේ. වචන උච්චාරණය පවා තියුණුයි සහ ඉතා නිවැරදියි. ඔබ 100% නිවැරදිව වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක් නේද..?
අනිවාර්යෙන්ම ඔව්. ඒකට මට එකඟ වෙන්න වෙනවා ඔබ එක්ක. මම හැම වෙලාවේම perfect විදිහට වැඩ කරන්න උත්සාහ කරනවා. ඉතිං මම perfectionist කෙනෙක් කියන එකේ වරදක් නැහැ. මම යමක් 100% සාර්ථක වනතුරු කී වාරයක් උනත් නැවත නැවත කරන කෙනෙක්. මම හිතන්නේ යමක් හරියට කරන්න නම් ඒ නැවත නැවත උත්සාහ කිරීම කියන එක හරිම වැදගත්. මගෙත් එක්ක වැඩ කරපු සංගීත අධ්‍යක්ෂවරු මේ කාරණේ ගැන සාක්ෂියි. සමහර වෙලාවට ඒ යට වදයක් වෙන තරම මම perfection කියන එක බලාපොරොත්තු වෙනවා. හැබැයි මම හිතන්නේ වෘත්තීය ජීවිතයේදී, විශේෂයෙන් කලා කෘතියක් කරන කෙනෙකුට ඒක හානිකර දෙයක් නෙමෙයි. ඉතා හොඳ දෙයක් කියලයි. විශේෂයෙන් මම වෙනත් භාශාවක ගීතයක් ගායනා කරද්දී මම වචන නිවැරදිව උච්චාරණය නොකළොත්, ඒක පද රචකයාට වගේම සංගීත නිර්මාණකරුවාටත් කරන අසාධාරණයක් වගේම අගෞරවයක්. ඒ නිසා මම හැම වෙලාවේම උත්සාහ කරනවා වැඩි වාර ගණනක් උත්සාහ කරලා හරි නිවැරදිම දේ කරන්න.
වයස 16 ශ්‍රියා ඝෝෂල් දැකපු හීනය මොකක්ද..?
මම හිතන්නේ ඒක එහෙම හීන දකින්න තරම් ප්‍රමාණවත් වයසක් නෙමෙයි. මම පටන් ගත්තෙම හීනයකින්.එක හරිම සුන්දර හීනයක්. පළවෙනි චිත්‍රපට ගීතය රිලීස් වෙනවා. ඒත් එක්කම මහා ගොඩක් දේවල් සිද්ද වෙනවා. ප්‍රතිචාර ලැබෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණ අයගේ ඇගයීම් ලැබෙනවා. ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. මේ හැම දෙයක් එක්කම මම හරිම excited ඒ කාලේ. ඒ නිසා මට හීන දකින්න විදිහක් තිබුනා කියල මම හිතන්නේ නැහැ. කොහොම වුනත් ඒ ලැබුණු සියලු දේවල් මම බොහොම උපේක්ෂාවෙන් බාරගත්තා කියල මට දැන් හිතෙනවා.
මේ වෙද්දී ඔබ ගීත කීයක් ගායනා කරලා තියෙනවද..?
මම දන්නේ නැහැ. මම ඔබට මුලින්ම කිවුව වගේ මම අතීතයේ ජිවත් වෙන්නේ නැහැ. අනාගතය ගැන හීන දකින්නෙත් නැහැ. ඉතිං මම සිංදු කීයක් කියල තියෙනවද කියල මම දන්නෙ නැහැ. තව කොච්චර කලක්, සිංදු කියක් කියයිද කියලත් මම දන්නේ නැහැ. මම මේ මොහොතේ ජිවත් වෙනවා. මේ මොහොත විඳිනවා. එච්චරයි.