
බ්ලැක් කොමඩි ශානරයට අයත් සිංහල චිත්‍රපටයක් ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින්ට නොවැම්බර් 22 වැනිදා ඉඳන් නරඹන්න අවස්ථාව උදා වෙනවා. මේ චිත්‍රපටයේ නම “රිලෝඩ්”. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ සුසන්ත ධර්මප්‍රිය. මහින්ද උඩුවන, කමල් ධර්මප්‍රිය සහ ධම්මිකා ප්‍රියදර්ශනී මේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුනා. හුදු හාස්‍යයට එහා ගිය යටි පෙළක් සහිතව ගලාගෙන යන අපූරු හාස්‍ය උත්පාදක සිනමා නිර්මාණයක් බව තමයි දැනගන්න ලැබෙන්නේ. චිත්‍රපටයේ කතාව දෙබස් සහ තිර රචනය හරිත් වාසලගෙන්. මහේෂ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුනු මේ චිත්‍රපටයට දිල්හානි ඒකනායක ,කුමාර තිරිමාදුර ,ගිරිරාජ් කෞෂල්‍ය ,තාරුකා වන්නි ආරච්චි ,සරත් චන්ද්‍රසිරි ,රොෂාන් පිලපිටිය ,හරිත් වාසල,හේමන්ත ඊරියගම ,ගයත්‍රී ඩයස් ,මහින්ද පතිරගේ ,මංජුල මොරගහ,නන්දන හෙට්ටිආරච්චි,ශානි පෙරේරා,ඉන්දික දේශප්‍රිය ඇතුළු නළු නිළියන් බොහෝ පිරිසක් රංගනයෙන් දායක වනවා.
දුරාචාරය මුල් කරගත් ජීවිතයක් ගෙවූ ඇමති ඇලපාත සහ ඔහුගේ ගෝලයා සනා, හදිසි අනතුරකින් මියගොස් අපාගත වනවා. අපායේ යම රජු සතු බලගතු දියමන්තියක් ආධාරයෙන් යම රජුගේ දියණියත් රවටාගෙන, තමන්ගේ ගෝලයා අපායේ තනිකරල ඇලපාත ආපහු ලංකාවට එනවා. ඔහු නිවසට යද්දී ඔහුගේ මළගෙදර වැඩ කටයුතු සිදු වෙමින් තියෙන බව ඔහු දකිනවා. මියගිය පුද්ගලයෙකුට ආපහු මේ සමාජයේ ජිවත් වෙන්න නොහැකි බව ඇලපාතට වැටහෙන්නේ එතකොටයි. ඔහු මේ විදිහට ආපහු පැමිණීම නිසා ඇතිවන සිදුවීම් හාස්‍යජනකයි. ඔහු සමග පැමිණි යම රජුගේ දියණිය චායා මේ සමාජය කියවීමට උත්සාහ ගන්නවා. ඇයට කෙනෙකුගේ ඇස් දෙක දෙස බලා හිත කියවීමේ බලයක් තියෙනවා. නමුත් මේ මිනිසුන් හිතන්නේ එකක්, කියන්නේ තවත් එකක්, කරන්නේ තවත් වෙනත් ම දෙයක්, ඇයට මෙය පුදුමය දනවන කරුණක් බවට පත් වෙනවා විතරක් නෙමෙයි, ඇයට තිබෙන බලය පාවිච්චි කරමින් සමාජය වෙනස් කිරීමට උත්සාහ ගන්නවා. නිළ බලය, ධන බලය අහිමි අලපාතට කුමක් සිදුවේද..? චායාගේ උත්සාහය සාර්ථක වෙයිද..? මේ සියලු සිදුවීම් හාස්‍ය උත්පාදක ආකාරයෙන් “රිලෝඩ්” සිනමාපටයෙන් ඉදිරිපත් කෙරෙනවා.
“මේක සාම්ප්‍රදායික කොමඩි චිත්‍රපටයක් නෙමෙයි, බ්ලැක් කොමඩි ශානරය ඇසුරින් ලියවුනු එකක්, බාල බොළඳ විහිලු වලින් ප්‍රේක්ෂකයා හිනැස්සවිම, දෙපැත්ත කැපෙන වචන පාවිච්චියෙන් මිනිසුන් සිනා ගැන්වීම වගේ තැනකට නොගිහින් වෙනස් විදිහකට හාස්‍ය උපදවන නිර්මාණයක් කරන්නයි අපි උත්සාහ කරේ, මෙතැනදී විශේෂයෙන්ම කියන්න ඕන කාරණය තමයි චිත්‍රපටයේ රංග කාර්‍ය. මේ නිර්මාණයට දායක වුනු පිරිස ඉතාම දක්ෂ ශිල්පීන් පිරිසක් වගේම ඔවුන් තමන්ගේ උපරිමයෙන් නිර්මාණය එක්ක වැඩ කළා. ඒ නිසාම ගුණාත්මක හාස්‍ය රසයක් තියෙන නිර්මාණයක්, ප්‍රේක්ෂකයාට බලන්න Boring නැති චිත්‍රපටයක් නිර්මාණය කරන්න අපිට හැකි වුනා, නොවැම්බර් 22 වැනිදා සිට මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට අපි සැලසුම් කරනවා” යැයි චිත්‍රපටයේ තිර රචක හරිත් වාසල අප සමග පැවසුවා.