
ලංකාවට ආනයනය කරන චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පිලිබඳ සොයාබැලීම සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම අද (පෙබරවාරි 06 වැනිදා) සිදු කෙරුණා. උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන, තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නියමයෙන් මේ සමීක්ෂණ මණ්ඩලය පිහිටවා තිබෙනවා.
අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා ඇතුළු නිලධාරින් මෙන්ම කලාකරුවන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් පිරිසක් මෙම සමීක්ෂණ මණ්ඩලයට ඇතුළත්.
පසුගිය කාලයේ ආනයනය කළ සමහර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හේතුවෙන් මෙරට දේශීය සංස්කෘතිය අපගමනය වූ බවත්, මෙම නව සමීක්ෂණ මණ්ඩලයේ එම තත්වයන් පාලනය වනු ඇතැයි තමන් විශ්වාසය පලකරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම අවස්ථාවේ ප්‍රකාශ කළා. “පහුගිය කාලේ ආනයනය කළ වගේම මෙරට නිපදවන ලද නිර්මාණ නිසා අපේ දේශීයත්වය, සංස්කෘතික හැර පද්ධතිය අපගමනය වෙලා තියෙනවා, අපේ දේශීයත්වයට සංස්කෘතියට හානිවන, මනුස්සකම පහතට හෙලන නිර්මාණ සමාජගත කරන්න අපි හවුල් වුනාද කියන ප්‍රශ්නයත් මතුවෙනවා, ඒ නිසා අපේ දේශීයත්වයට සංස්කෘතික හැර පද්ධතීන්ට හානි නොවන නිර්මාණ ආනයනය කිරීම සම්බන්ධයෙන් අපට ලොකු වගකීමක් තියෙනවා. අපි ඒ නිසා මේ සමීක්ෂණ මණ්ඩලය පත් කරලා ඒ හරහා ලැබෙන නිර්දේශ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.