
සටහන : කවිනු වීරක්කොඩි
පසුගිය අප්‍රේල් 25වනදා පැවැත්වුණු 93වන Academy Awards සම්මාන උළෙල තවමත් දෙස් විදෙස් මාධ්‍ය තුළ ප්‍රධාන සිරස්තල මවනවා. සම්මාන උළෙලේදී සම්මානිත වූවන් පිලිබඳ සවිස්තර සටහනක් මෙලෙස cinema.lk පාඨකයින් වෙත ගෙන එන්නේත් හොලිවුඩයට වගේම ලොවපුරා විසිර සිටින බොහෝ සිනමා රසිකයින්ට මේ තොරතුරු වැදගත් වන නිසාමයි.
Best Picture – හොඳම චිත්‍රපටය
93වන ඇකඩමි සම්මාන උළෙලේදී හොදම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුයේ Chloe Zhao විසින් අධ්‍යක්ෂණය කළ Nomadland චිත්‍රපටයයි. වසරේ විශිෂ්ටතම සිනමාපටයක් ලෙස බොහෝ විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගෙන් පැසසුම් ලැබූ Nomadland සිනමාපටය මෙවර Golden Globes උළෙලේදී ද හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන දිනා ගත්තා. මීට අමතරව විවිධ සම්මාන උත්සවයන් තුළින් දිනා ගත් සම්මාන 101ක් Nomadland සතුයි.
Best Director – හොඳම අධ්‍යක්ෂණය
හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේද Nomadland අධ්‍යක්ෂණය කළ චීන ජාතික Chloe Zhao විසිනුයි. මේ සමඟින් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත් දෙවන කාන්තාව බවට ඇය පත්වුණා. එමෙන්ම, සුදු ජාතික නොවන කාන්තාවක් විසින් ලබා ගත් පළමු Best Director ඇකඩමි සම්මානය වන්නේද මෙයයි.
Best Actor – හොඳම නළුවා
මෙවර හොඳම නලළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටියේ, චැඩ්වික් බොස්මන්ටයි. නමුත් එය එසේ නොවෙමින් මෙවර හොඳම නලුවා බවට පත් වුනේ The Father චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු Anthony Hopkins රංගන ශිල්පියාට වීම විශේෂත්වයකි. අවුරුදු 83ක් වයසැති ඇනිතනිගේ මෙම සම්මානය වාර්තා පොත් අලුත් කරන්නත් සමත් වුණා. ඒ, ඔස්කාර් සම්මානයක් ලබාගත් වයස අධිකම පුද්ගලයා බවට පත්වෙමිනි.
Best Actress – හොඳම නිළිය
Nomadland සිනමාපටයේ fernගේ චරිතය රඟපෑ Frances McDormand හොඳම නිළියගේ සම්මානය දිනා ගැනීමත් සමඟ එම සිනමාපටය සතු සම්මාන ගණන 03 දක්වා ඉහළ ගියා. විශේෂත්වය වන්නේ, Nomadland නිෂ්පාදනයටද ඇය දායක වී තිබීමයි. මීට පෙරත් ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මාන ද්විත්වයක්ම ජයග්‍රහණය කර තිබුණා.
Best Supporting Actor – හොඳම සහය නළුවා
තමන්ගේ පළමු ඔස්කාර් ජයග්‍රහණය තහවුරු කරමින් මෙවර හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුයේ Daniel Kaluuyaය. Judas and the Black Messiah සිනමාපටය උදෙසා ඔහු දිනාගත් එම සම්මානයට අන්තර්ජාලය හරහා බොහෝ පැසසුම් ලැබී තිබිණි. එමෙන්ම, මෙවර හොඳම චිත්‍රපට ගීතයට සම්මාන දිනාගත්තේම මෙම චිත්‍රපටියමයි.
Best Supporting Actress –
මෙම වසරේ හොඳම සහය නිළියට හිමි සම්මානය ලබා ගත්තේ කොරියන් ජාතික YounYuh-Jung ශිල්පිනියයි. එසේම මෙය ඇයගේද පළමු ඔස්කාර් ජයග්‍රහණය වනවා.
මීට අමතරව මෙවර 93වන ඇකඩමි සම්මාන උළෙලේදී ජයග්‍රහණය කළ ප්‍රධාන සම්මාන පිළිබඳ තවත් දිගුවක් පහත දැක්වේ.
හොඳම පරිගණක සජීවීකරණ සිනමාපටය – Soul
හොඳම විදේශ භාෂා සිනමාපටය – Another Round
හොඳම වාර්තාමය සිනමාපටය – My Octopus Teacher
හොඳම සංස්කරණය – Sound of Metal
හොඳම ඇඳුම් නිර්මාණය – Ma Rainey’s Black Bottom
හොඳම දෘශ්‍ය ප්‍රයෝග – Tenet
හොඳම සිනමාකරණය – Mank
අප කලින් ලිපියේ සඳහන් කළ ආකාරයටම වැඩිම නිර්දේශවීම් ප්‍රමාණයකට හිමිකම් කියූවේ David Fincher අධ්‍යක්ෂණය කළ Mank චිත්‍රපටයයි. නමුත් සම්මාන ජයග්‍රහණය කිරීමේදී එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනු දක්නට ලැබිණි. Mank චිත්‍රපටයට දිනාගත හැකි වූයේ සම්මාන 10න් 02ක් පමණි.
හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිළියට හිමි සම්මාන තුනම දිනාගනිමින් මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත්තේ Chloe Zaho අධ්‍යක්ෂණය කළ Nomadland සිනමාපටයයි.
මෙවර ඇකඩමි සම්මාන උළෙල පිළිබඳව ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි නැරඹුම් වාර ගණනයි. මෙවර ඇකඩමි උළෙලේ නැරඹුම් සංඛ්‍යාව සඳහන් වී ඇත්තේ මිලියන 10.4ක් ලෙසයි. එය ඇකඩමි උළෙලක් වාර්තා කළ අඩුම නැරඹුම් වාර සංඛ්‍යාව ලෙසද සඳහන් වේ.