
ඉන්දියානු සිනමාව ඇතුළේ බෙහෝ විට නිර්මාණය වන්නේ පුරුෂමූලික සිනමාපට. කාන්තා මූලික සිනමාපට බිහි වුණත් බොහෝ විට ඒවා කලාත්මක සිනමාපට විදිහට වර්ග කෙරෙනවා. ප්‍රධාන ශානරයේ වාණිජ සිනමාව ඇතුළේ එවැනි Women Centric සිනමාපට බිහි නොවන තරම්. එහෙම කලාතුරකින් බිහි වූ, නමුත් වාණිජ සිනමාව තුළත් තමන්ගේ සාර්ථකත්වය තහවුරු කළ මෑතකාලයේ සාර්ථකම සිනමාපට කිහිපයක් පිළිබඳවයි මේ.
Kanaa (2018)
බොහෝ අවස්ථාවලදී කාන්තා මූලික සිනමාපට නිර්මාණය වුනේ සමාජ ප්‍රශ්න මූලික කරගෙනයි. එහෙමත් නැත්නම් ප්‍රධාන ස්ථරයේ පවුලක සමාජ බලපෑම් මූලික කරගෙන. නමුත් Kanaa දමිළ චිත්‍රපටය ගලා යන්නේ ඊට වෙනස් තේමාවක් ඔස්සේ වීම විශේෂත්වයක්. කෞශල්‍යා නැමැති කුඩා දමිළ තරුණිය, තමන් කුඩා කාලයේ සිටම දුටු සිහිනය සැබෑ කරගන්නා ආකාරයත්, සාම්ප්‍රදායික ඉන්දීය සමාජය විසින් ඇයගේ සිහිනයට එදිරිව ක්‍රියා කරන ආකාරයත් මෙයින් ඔබට නරඹන්නට පුලුවන්. ක්‍රීඩාව යනු පිරිමින්ට පමණක් අයිති දෙයක් ලෙස හංවඩු ගැසූ සමාජයක ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම දක්වා ඇය ගමන් කරන ගමන් මඟ Kanaa සිනමාපටයට මුල් වනවා.
Aishwarya Rajesh සහ Sivakarthikeyan විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය Arunraja Kamarajගේ කුළුදුල් අධ්‍යක්ෂණයයි.
Queen (2014)
බොලිවුඩය වැනි පුරුෂාධිපත්‍ය දැඩිව තිබෙන සිනමාවක කාන්තාව අළලා නිර්මාණය වුනු මෑතකාලීන හොඳම චිත්‍රපටයක් ලෙස මෙම Queen (2014) සිනමාපටය ගැන කියවෙනවා. Women Centric චිත්‍රපට ගැන මතක් කරන විටම ඔබට වුණත් පළමුවෙන්ම සිහියට එන්න ඇත්තේ මෙය වන්නට පුලුවන්. සිනමාපටයට අනුව රාණි නැමැති ඉන්දීය මධ්‍යම පාන්තික තරුණිය පෙමින් බැඳෙන්නේ විදේශයක ඉගෙනුම ලැබූ තරුණයෙකු වන විජේ සමඟයි. මව්පිය ආශිර්වාදය ඇතුව ඔවුන් විවාහ වීමට සියලුම කටයුතු සූදානම් කළත්, ඒ සෑම දෙයක්ම කණපිට හැරවෙන්නේ විවාහ මංගල්‍යයට පෙර දිනයේදී යි. විජේ ඇයව විවාහ කර ගැනීමට අකමැත්ත පළ කරමින් කසාදයට පිටු පානවා. චිත්‍රපටය ඇරඹෙන්නේ මෙතැනින්.
කාන්තාවක විදිහට රාණි මේ මොහොත බාර ගත්තේ කොහොමද? තමන්ගේ සියලුම සිහින එක් ක්ෂණයකින් බිඳ වැටුණු පසු රාණිගේ ප්‍රතිචාරය කෙසේ වන්නට ඇත්ද? ඇගේ ඊළඟ පියවර වන්නට ඇත්තේ කුමක්ද? මේ දේවල් දැනගන්නට නම් ඔබට Queen (2014) සිනමාපටය බලන්නටම සිදු වෙනවා. 2015 ජාතික සම්මාන උළෙලේදී වසරේ හොඳම හින්දි චිත්‍රපටය ලෙසින් Queen සම්මාන ලබද්දී, වසරේ හොඳම නිළියට හිමි සම්මානය ලබාගත්තෙත්, Queen වෙනුවෙන් Kangana Ranaut විසින්මයි.
English Vinglish (2012)
තම දරුවන් රැක බලා ගනිමින් සැමියා සමඟ ජීවිතය ගත කරන ගතානුගතික ඉන්දියානු ගෘහණියක් ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නේ මෙතරම් කාලයකට ඇයට අහිමි වුණු සතුට ද සොයා යමින්. ඇය තමන්ගේ ලොකුම දුර්වලතාවය වුණු ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිමින් ලෝකය අලුත් ඇහැකින් නැරඹීමට පටන් ගන්නවා. ස්වාධීන කාන්තාවක් ලෙසින් තමන්ව මෙතෙක් කාලයකට බැඳ තිබූ සමාජ බැඳීම් ලෙහන්නට පටන් ඇය පටන් ගන්නවා. සෂී නැමැති මෙම චරිතය අපිට සමීප කළේ ප්‍රවිණ රංගන ශිල්පිනී Sri Devi විසිනුයි. සාම්ප්‍රදායික ඉන්දියාවත්, නිදහස් අදහස්වලින් පිරි විදේශිය රටකුත් සංසන්දනය කිරීමට උත්සාහ දරමින් සිනමාපටය නිපදවූ අධ්‍යක්ෂක Gauri Shindeට 58වන Filmfare උළෙලේදී Best Debut Director සම්මානය ලැබුණේද මේ සිනමාපටය වෙනුවෙනුයි.
Mary Kom (2014)
Mary Kom කියන්නේත් Kanaa සිනමාපටය වගේම ක්‍රීඩාව මුල් කරගනිමින් බිහි වුණු Women-Centric නිර්මාණයක්. තුන් වතාවක් ලෝක ශූරතාවය දිනා ගත් MC Mary Kom නැමැති ඉන්දීය බොක්සිං ක්‍රීඩිකාවගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් නිමැවූ මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Omung Kumar විසින්. සුරූපී නිළි Priyanka Chopra, Mary Komගේ චරිතයට පණ පොවන අතර අතිශය සාර්ථක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්නත් මෙය සමත් වුණා. කුඩා කාලයේ සිටම තමන්ගේ ආශාව වුණු බොක්සිං ක්‍රීඩාව හමුවේ ඇගේ දෛවය කෙබඳු වේද? පිරිමියෙකු මෙන් බොක්සිං ක්‍රීඩා කරන තම දියණියට එරෙහි වන පියෙක්… ආදරය සහ විවාහය හමුවේ සිහින කඩා වැටෙන ක්‍රීඩිකාවක්… තමන්ගේ දරුවන් ඉදිරියේ පවා ඇය දකින වාර්තාගත සිහිනයක්මේ. තමයි Mary Kom සිනමාපටයේ සාරාංශය.
Uyare (2019)
නව රැල්ලේ මලයාලම් සිනමාවෙන් බිහි වුණු දැවැන්තම Women Centric චිත්‍රපටය විදිහට Uyare හඳුන්වන්නට පුලුවන්. බොහෝ සිනමා විචාරකයින්ට අනුව Parvathy Thiruvothuගේ සිනමා ජීවිතයේ විශිෂ්ටතම රංගනය දැකගන්න පුලුවන් මේ සිනමාපටයේදීයි. කෙසේ වෙතත්, විචාරක ප්‍රතිචාර වගේම ප්‍රේක්ෂක මනාපය සහ විශාල ආදායම් වාර්තාවකුත් රඳවගන්න Uyare සමත් වුණේ මෙහි සාර්ථකත්වය තවදුරටත් සනාථ කරමින්. පල්ලවී කුඩා කාලයේ සිටම ගුවන් නියමුවරියක වෙන්න සිහින දැකපු තරුණියක්. හැබැයි තමන්ගේ සිහිනයට දුවන මේ තරුණියට විරුද්ධ වෙන්නේ ඔහුගේම ආදරවන්තයා ගෝවින්ද්. මේ ගැටුම අවසාන වෙන්නේ ගෝවින්ද්ගෙන් පල්ලවිගේ මුහුණට විසිවන ඇසිඩ් ප්‍රහාරයකින්!
මෙතැන් සිට ඉදිරියට දිවෙන කතාව ගැන වචනයක් හෝ කිව්වොත්, එය ඔබට කරන අසාධාරණයක්. හැකි නම් හොයාගෙන නරඹන්න.