Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

සූරිය සුළඟ –ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන හත්වන සිනමාපටය

$
0
0
දේදුනු ආකාසේ, ආදරණීය කතාවක් වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය, “සූරිය සුළඟ (Suriya Sulanga)” හි මුහුරත් උළෙල බත්තරමුල්ල වෝටර්ස් -ඒජ් පරිශ්‍රයේදී පසුගියදා ඇරඹුනා.
ප්‍රියන්ත කොළඹගේ විසින් මීට පෙර නිර්මාණය කළ සියලුම සිනමාපටවලට වඩා වෙනස් සහ නැවුම් කතා තේමාවක් ඔස්සේ ගලා යන මෙහි රූපගත කිරීම් එළඹෙන අගොස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. චිත්‍රපටයේ මූලික දර්ශන රූපගත කිරීමට තෝරාගෙන තිබෙන්නේ කොළඹ, නුවර සහ ගාල්ල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකුයි.
“සූරිය සුළඟ” චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ  තරුෂි නැමැති ප්‍රබල දේශපාලන සබඳතා ඇති පවුලක දියණියක හා පෙමින් බැඳෙන සාමාන්‍ය පවුලක තරුණයෙකුගේ කතාවයි. සිදත් නැමැති මෙම තරුණයා, ඇය හා විවාහ වීමට සූදානමින් සිටින නමුත් ඇගේ පියා ඊට කිසිසේත්ම එකඟ වන්නේ නැහැ. නමුත් ඔහු ඔවුන් ඉදිරිපිට ප්‍රසිද්ධියේ තම විරෝධය නොපෙන්වන අතර ඒ වෙනුවට සිදත්ගෙන් පළි ගැනීමටයි ඔහු උත්සාහ දරන්නේ.
නොකළ අපරාධයකට සිදත්ව කොටු කර, අපරාධකරුවෙකු ලෙසින් ඔහුව හංවඩු ගසා තම දියණියව සිදත්ගෙන් ඈත් කරන්නටයි තරුෂිගේ පියා සැලසුම් කරන්නේ. සිය දේශපාලන සහ මැර බලය පාවිච්චියෙන් සිදත්ගේ ජීවිතය කණපිට ගසන්නට ඔහු දරන මේ උත්සාහය අවසානයේදී සිදත්ට තම පෙම්වතියගේ ආදරය පවා අහිමි වනවා.
“සූරිය සුළඟ” සිනමා නිර්මාණයට පාදක වී තිබෙන්නේ තමන්ට අහිමි වූ ආදරයට සහ, නොකළ අපරාධයකට සමාජය ඉදිරියේ සිදුවූ අවමානයට හේතු සොයන සිදත් අවසානයේදී මෙම සෑම ගැටලුවකටම පිළිතුරු සොයමින් අනීතික දේශපාලන බලයට එරෙහිව මුහුණ දෙන ආකාරයයි.
චිත්‍රපටය තුළ සිදත් නැමැති තරුණයාගේ මුල් භූමිකාවට පණ පොවන්නේ විහඟ සූරියආරච්චියි. නව පරපුරේ නැඟී එන රංගන ශිල්පියෙකු වන විහඟ සූරියආරච්චි පසුගිය වසරේදී තිරගත වූ ‘සිනේ මා’ චිත්‍රපටයේ සහ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘නන්නත්තාර’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත සඳහා ද එක්වුනා. ඉදිරියේදී තිරගත වීමට නියමිත මැරීන් ඩ්‍රයිව් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහුයි.
මීට අමතරව ප්‍රියන්ත කොළඹගේ විසින්ම අධ්‍යක්ෂණය කළ, නුදුරේදීම තිරගත වීමට නියමිත මන්දාරා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ද විහඟ සූරියආරච්චියි.
සිනමාපටයේ ප්‍රධාන කාන්තා භූමිකා ද්විත්වයටම එක්වන්නේ නවක නිළියන් දෙදෙනෙකු වන අතර ඔවුන් නමින් සජිනි රෝයි සහ නිහාරි පෙරේරායි. මීට අමතරව අශාන් ඩයස්, සනත් ගුණතිලක, සේමිණී ඉද්දමල්ගොඩ, බිමල් ජයකොඩි, අතුල ජයසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මුතු තරංගා, යශෝධා රාජක්‍රිෂ්ණා, ප්‍රියංකර රත්නායක, ප්‍රින්සි ප්‍රනාන්දු, ෂාම් ප්‍රනාන්දු, කීර්ති රත්නායක, සමාධි පතිණ, හර්ෂිකා රත්නායක, චින්තක වාස්, සඳුන් බණ්ඩාර සහ මෞලි ෆර්නෑන්ඩු ඇතුළු ප්‍රවීණ සහ අද පරපුරේ නලු නිළියන් රැසක්ම සූරිය සුළඟ තුළින් ඔබට දැකගත හැකියි.
සූරිය සුළග, ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන හත්වන සිනමාපටයයි. 1998 වසරේදී දැහැන සිනමාපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසෙන ඔහු අරුමෝසම් වැහි, විමුක්ති, ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ, මන්දාරා වැනි චිත්‍රපට 06ක් මීට පෙර අධ්‍යක්ෂණය කළා. ඔහුගේ අවසාන නිර්මාණය වන “මන්දාරා” ත් මෙම වසරේදී දිවයින පුරා සිනමාහල් වලට මුදා හැරීමට නියමිතයි.
මෙහි කැමරා අධ්‍යක්ෂණය හසුරුවන්නේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ කැමරා ශිල්පියෙකු වන රුවන් කොස්තායි. 2002 වසරේදී අග්නිදාහය චිත්‍රපටය හරහා සිනමා කැමරාකරණයට පිවිසි ඔහු ඉන්පසුව ගරිල්ලා මාකටින්, සිකුරු හතේ, සුපර් සික්ස්, සැමීගේ කතාව, ආශාවරී, දඩඉම, ඒලෙවල්, මහරජ ගැමුණු ඇතුළු ලාංකීය සිනමාපට 20කට අධික ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙනවා.
සංස්කරණය සහ වර්ණ සංයෝජනය මේඝ කොළඹගේ විසිනි. සූරිය සුළඟ හි තිර පිටපත රචනා කර තිබෙන්නේ ද අධ්‍යක්ෂකවරයා වන ප්‍රියන්ත කොළඹගේ විසිනි. ඒ සඳහා ඔහුට වජිර කස්තුරු සහාය වී තිබෙනවා. ප්‍රවේගය සහ මායා අධ්‍යක්ෂණය කරමින් මෙරට වාණිජ සිනමාවට නොමැකෙන මතකයක් එක් කළ ඩොනල්ඩ් ජයන්ත මෙහි සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් සම්බන්ධ වනවා. කලා අධ්‍යක්ෂණය ලෙස්ලි විමලවීරයි. ඇඳුම් නිර්මාණකරණය ලෙස්ලි උඩුකුඹුරයි. ගීත රචනය චමින්ද ගමගේ විසිනි.
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකරුවන් ලෙස කටයුතු කරන්නේ ද මෙරට වර්තමාන සංගීත ලෝකයේ දැවැන්තම යුගලක් වන භාතිය සන්තුෂ් දෙදෙනායි.
නිමල් විජයසිරි නිෂ්පාදන කළමනාකරණයෙන් සහ ඉන්දික උදාර අංග රචනයෙන් මීට එක්වනවා. සූරිය සුළඟ නිෂ්පාදනය කරන්නේ ප්‍රියන්ත කොළඹගේ – චමින්ද ගමගේ – චම්මික ද සිල්වා එකතුවෙනි. චිත්‍රපටයේ රූපගත කිරීම් සියල්ලම මෙම වසර තුළ නිමා කිරීමට නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වන අතර එළඹෙන 2024 වසරේ මුල භාගයේදී දිවයින පුරා සිනමාහල් වලට මෙය මුදා හැරීමට නියමිතයි.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>