
සිකුරු හතේ – සුහද කොකා සිනමා නිර්මාණවලට පසුව ගිරිරාජ් කෞෂල්‍ය විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිංහල චිත්‍රපටය, “කතුරු මිතුරු” අද සිට (සැප්තැම්බර් 22) දිවයින පුරා සිනමා හල් ගණනාවකදී ප්‍රදර්ශනය ඇරඹෙනවා.
මුල සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයාව සිනහවෙන් ඇඳ බැඳ තබා ගන්නා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මෙරට ප්‍රවීණතම රංගන ශිල්පීන් දෙපළක් වන ජයලත් මනෝරත්නයන් සහ මහේන්ද්‍ර පෙරේරා විසිනුයි.
සැම්සන් නැමැති ඇඳුම් මසන්නෙකු සහ විල්සන් නැමැති කරණවෑමියෙකු වටා ගෙතෙන “කතුරු මිතුරු” චිත්‍රපටය, හාස්‍යමය ශානරයට අයත් අපූරු නිර්මාණයක් ලෙසින් හඳුන්වන්නට පුලුවන්.
කතුරු මිතුරු චිත්‍රපටය ගෙතෙන්නේ සැම්සන් සහ විල්සන් නැමැති වසර ගණනාවක් තිස්සේ හඳුනන අතිජාත මිත්‍රයින් දෙදෙනා වටායි. සැම්සන් පරණ තාලයේ, සාම්ප්‍රදායික ඇඳුම් මසන්නෙකු වන අතර විල්සන් ද කරණවෑමියෙකු ලෙසින් සිය ජීවිකාව කරගෙන යන සාම්ප්‍රදායික පන්නයේ පුද්ගලයෙක්. සැම්සන්ට පුතෙකුත් විල්සන්ට දුවෙකුත් සිටිනවා. ඔවුන් දෙදෙනාම විශ්ව විද්‍යාල ගමන අවසන් කර නැවතත් ගමට පැමිණ සිටින්නේ සිය අධ්‍යාපනික සුදුසුකම්වලට සරිලන රැකියාවක් සොයා ගැනීමට බැරි වූ නිසායි.
අවසානයේදී ඔවුන් දෙදෙනාත් ඇඳුම් මසන්නෙකු සහ කරණවෑමියෙකු වන්නට සිය පියාගේ වෘත්තියට සහාය වන්නට පටන් ගත්ත ද සැම්සන් සහ විල්සන් ඊට එකඟ වන්නේ නැහැ. සිය දරුවන් දෙදෙනා උසස් ආයතනයක හොඳ රැකියාවක් කරනු දැකීමටයි ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වන්නේ.
නමුත් සියලු බාධක මඟ හරිමින් පියාගේ අඩිපාරේ යන දරුවන් දෙදෙනා විල්සන් සහ සැම්සන්ගේ වෘත්තියේ සාම්ප්‍රදායික මාදිලියට වඩා වෙනස් නව තාලයක ගමනක් යෑමටයි සූදානම් වන්නේ…
කතුරු මිතුරු චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ මෙම අතිජාත මිතුරන් දෙදෙනාගේ ඒ අපූරු කතා පුවතයි.
මෙය ගිරිරාජ් කෞෂල්‍යගේ තුන්වන චිත්‍රපට අධ්‍යක්ෂණයයි. නලුවෙකු, තිර පිටපත් රචකයෙකු, සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් දශක ගණනාවක් පුරාවට මෙරට කලා ලොවට සම්බන්ධව කටයුතු කරන ගිරිරාජ් කෞෂල්‍ය පළමු වරට චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ 2007 වසරේදී සිකුරු හතේ චිත්‍රපටය හරහායි. ඉන්පසුව 2015දී ඔහුගේ දෙවන අධ්‍යක්ෂණය වන ‘සුහද කොකා’ තිරගත වුනා. එම චිත්‍රපට ද්විත්වයම ලාංකීය රසිකයින් ආදරයෙන් වැළදගත් අතර එය අදටත් මෙරට ජනප්‍රියම ප්‍රහසන චිත්‍රපට ද්විත්වයක්.
වසර 07ක නිහැඬියාවකින් පසු මෙලෙස එළි දක්වන ඔහුගේ තුන්වන චිත්‍රපටය වන ‘කතුරු මිතුරු’, අද (සැප්තැම්බර් 22) සිට දිවයින පුරා සිනමා ශාලා ගණනාවකදී ඔබට නැරඹිය හැකියි. මෙතෙක් ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ ප්‍රහසන චිත්‍රපටය ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.
කතුරු මිතුරු චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය:
ජයලත් මනෝරත්න – මහේන්ද්‍ර පෙරේරාට අමතරව රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනවිරත්න විසින් චිත්‍රපටයේ උපප්‍රධාන චරිත රඟ දක්වනවා. රොඩ්නි වර්ණකුල නිරූපණය කරන්නේ විල්සන් නැමැති කරණවෑමියාගේ සහායකයාගේ චරිතයයි. සැම්සන්ගේ ඇඳුම් සාප්පුවේ සහායකයාගේ චරිතය රඟපාන්නේ රොඩ්නි වර්ණකුලයි.
එමෙන්ම මොරින් චාරුණී, ජයනි සේනානායක, මිහිර සිරිතිලක, ඩී බී ගංගොඩතැන්න, ගිහාන් ප්‍රනාන්දු, සහන් රන්වල, වසන්ත විට්ටච්චි, ආනන්ද අතුකෝරළ, සම්පත් ජයවීර, ලලිත් ජයකාන්ත, චන්ද්‍රසෝම බිංදුහේවා, දයා වයිමන්, නිමල් යටිවෙල, එස් අයි සමරක්කොඩි, සමන් හේමරත්න, උපතිස්ස බාලසූරිය, ශිරෝමිකා ප්‍රනාන්දු, සුදාර රන්දෙනි, ගාමිණි අම්බලන්ගොඩ, රංග ජයකොඩි, රූපා පතිරණ සහ නිමල් ජයසිංහ ද මෙම චිත්‍රපටය තුළින් දැක බලාගත හැකියි.
විල්සන්ගේ දියණිගේ චරිතයට සඳනි හෙට්ටිආරච්චි රඟපාන අතර සැම්සන්ගේ පුතාගේ චරිතය නිරූපණය කරන්නේ මෙරට සිටි ජනකාන්ත නලුවෙකු වූ විජය නන්දසිරිගේ පුත්‍රයා වන රසාංජන නන්දසිරි යි. මෙය රසාංජන නන්දසිරි සහ සඳනි හෙට්ටිආරච්චි දෙදෙනාගේම පළමු සිනමා රංගනයයි.
ඇත්තෙන්ම, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ‘කරණවෑමි විල්සන්’ව නිරූපණය කිරීමට මුලදී තෝරාගෙන තිබුනේ විජය නන්දසිරි මහතාවයි. නමුත් ඔහුගේ හදිසි අභාවය නිසා එම අවස්ථාව මෙරට සිටින තවත් දක්ෂ රංගධරයෙකු වන මහේන්ද්‍ර පෙරේරාට හිමි වූවා.
කතුරු මිතුරු චිත්‍රපටය නිකුත් වන තෙක් මෙරට සිනමා රසිකයින් බලා සිටියේ බොහොම නොඉවසිල්ලෙන්! විශේෂයෙන්ම චිත්‍රපටයේ Promo වීඩියෝපට කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල ජනප්‍රියත්වයක් ලැබීමත් සමඟ, කතුරු මිතුරු චිත්‍රපටය මෙරට තරුණ රසිකයින් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා.
මේ වනවිට චිත්‍රපටය නැරඹීමට වැඩිම ආකර්ෂණයක් දක්නට ලැබෙන්නේ ද මෙම තරුණ ප්‍රජාව අතරේ යි.
අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපටයේ තිර පිටපත රචන කළේ ද ගිරිරාජ් කෞෂල්‍ය විසින්මයි. රුවන් ද කොස්තා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයායි. ජයන්ත අබේරත්න, අමිල ප්‍රේමරත්න සහ ආලෝක සම්පත් මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා. සංස්කරණය කළේ අජිත් රාමනායක විසිනි. මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රියන්ත කස්තුරිආරච්චි ශබ්ද පරිපාලනයෙන් කතුරු මිතුරු චිත්‍රපටයට එක්වුනා.
අංග රචනය ප්‍රීති විජේසිංහගෙනි. යසිත් සිරිවර්ධන මෙහි විධායක අධ්‍යක්ෂකවරයායි.
විශාරද රෝහණ වීරසිංහගේ සුමියුරු නාද රටාවන්ට අමරසිරි පීරිස්, තාරක ගුණරත්න, අමන්ද්‍යා උත්පලී ඇතුළු පිරිසක් ගීත ගායනා කරනවා. ගී පද රචනය බණ්ඩාර ඇහැළියගොඩ – අචල සොලමන්ස් සහ නිලාර් එම් කාසිම්ගෙනි. නිෂ්පාදන සැලසුම්කරණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි.
කතුරු මිතුරු නිෂ්පාදනය කරන්නේ ආලංකුලම ෆිල්ම්ස් (Alankulama FIlms) වෙනුවෙන් බාසුරු සිරිවර්ධනයි. ආසයි මං පියාඹන්න, කුසපබා, සුවඳ දැනුනා ජීවිතේ, රෝස කැලේ වැනි ජනප්‍රිය සිංහල සිනමාපට රැසක්ම ආලංකුලම ෆිල්ම්ස් විසින් මීට පෙර නිෂ්පාදනය කළා. මෙය ඔවුන්ගේ හත්වන සිනමා නිර්මාණයයි.