
දෙරණ සිනමා සම්මාන උළෙල 2017 එළඹෙන ඔක්තෝබර් 6 වැනිදා පැවැත්වීමට සියල්ල සුදානම් බව සිනමා රසික ඔබ හොඳින්ම දන්නවා. ඒ වගේම මේ සිනමා සම්මාන රාත්‍රියට සමගාමිව මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් තවත් කටයුතු රැසක් සංවිධාන කෙරෙනවා. හෙට දවසේ සිනමාව “Cinema of Tomorrow” නමින් සිනමා උළෙලක් පැවැත්වීමට මේ යටතේ කටයුතු සුදානම් කොට තිබෙනවා. අලුත්ම සිනමා නිර්මාණ 5 ක් මේ සිනමා උළෙලේදී නරඹන්නට සිනමා රසිකයින්ට අවස්ථාව හිමිවෙනවා. ඒ ඔක්තෝබර් 01 සහ 02 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.
සිනමා උළෙලේදී ඇගයීමට ලක්කෙරෙන සිනමා නිර්මාණ පිලිබඳ රසික ඔබ දැනුවත් කිරීමට cinema.lk කටයුතුකළා. එහි තුන්වැනි පියවර යටතේ තවත් සිනමා නිර්මාණ හතරක තොරතුරු අදත් ඔබවෙත ගෙන එන්න අපි සුදානම්.
උසාවිය නිහඬයි – ලෝකය පුරාම සත්‍ය සිදුවීම් ඇසුරු කරගත් සිනමාපට බිහිවෙලා තිබෙනවා. ශ්‍රී ලාංකීය සිනමාවේත් මෙවන් නිර්මාණ අපට හමු වුනා. උසාවිය නිහඬයි චිත්‍රපටයත් එයින් එක නිර්මාණයක්. වාර්තා චිත්‍රපට එහෙමත් නැත්නම් Documentaries ගණයට අයත්වන මේ නිර්මාණය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල සිදුවූ සිදුවීමක් පිළිබඳව කළ පර්යේෂණාත්මක නිරාවරණයක් ඇසුරින් සකස් කොට තිබෙනවා. මෙරට අධිකරණ විනිසුරු වරයකු වූ ලෙනින් රත්නායක නැමැත්තා විසින් අධිකරණයට ඉදිරිපත් කොට සිරගත කෙරුණු සැකකරුවකුගේ බිරිඳක් දුෂණයට ලක් කිරීම සහ ඒ ආශ්‍රිත සිදුවීම් මේ පර්යේෂනාත්මක වාර්තා චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරෙනවා. උසාවිය නිහඬයි චිත්‍රපටය තිරගත වීම වළක්වන ලෙස ඉල්ලා ලෙනින් රත්නායක අධිකරණයේ අපහාස නඩුවකද ගොනුකොට තිබුනත් චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඉන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එච්. ඩි. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ උසාවිය නිහඬයි චිත්‍රපටයට තිලක්ශනී රත්නායක රංගනයෙන් දායක වුනා. මේ චිත්‍රපටයත් මෙවර දෙරණ සිනමා සම්මාන සඳහා නිර්දේශිත ලයිස්තුවේ තිබෙනවා.
හොරා පොලිස් – මෙරට සිනමාවට විවිධ තේමාවන් නියෝජනය කරන චිත්‍රපට නිර්මාණය වීම නිසා එහි විවිධත්වයක් දකින්න ලැබෙනවා. කොමඩි නැත්තන් හාස්‍ය රසය සහිත චිත්‍රපට කිහිපයක්ම වසරකට නිර්මාණය වෙන්නේ ඒ සඳහා ඉල්ලුමක් පවතින නිසාමයි. හොරා පොලිස් චිත්‍රපටයත් එවැන්නක්. සුරංග ද අල්විස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. සංගීතා ෆිල්ම්ස් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය සරත් ද අල්විස්ගේ සංගීතයෙන් වර්ණවත් වුනා. මහේන්ද්‍ර පෙරේරා, ගංගු රොෂානා සහ ප්‍රියන්ත සෙනවිරත්න රංගනයෙන් දායකත්වය සැපයු මේ චිත්‍රපටයත් මෙවර දෙරණ සිනමා සම්මාන ඇගයීම් සඳහා ඇතුළත් වෙනවා.
ආදරණිය කතාවක් – නමින් කියවෙන අකාරයටම ආදරය ගැන කියවෙන කතාවක් සහිත ආදරණිය කතාවක් තිත්රපටයත් පසුගිය වසරේ තිරගත වී අවසන් වුවක්.සුන්දර ආදර කතාවක් සහිත කතා තේමාවක් මේ චිත්‍රපටයට පදනම් වුනා වගේම ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලැබුණු ගීත මේ චිත්‍රපටයට ඇතුළත් වුනා. දිනේෂ් කොළඹගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසුරිය, බිමල් ජයකොඩි සහ අරුණි රාජපක්ෂ ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වුනා. ආදරණිය කතාවක් චිත්‍රපටයත් මෙවර සම්මාන සඳහා ඇගයීමට සලකා බැලෙනවා.
මායා- විදෙස් සිනමා පටයක් ඇසුරින් ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්ෂණය කළ මායා චිත්‍රපටයත් මෙවර නිර්දේශිත නම් අතර වෙනවා. වෙනස් කතා තේමාවක් සහිත මේ චිත්‍රපටයත් විශාල රසික ප්‍රසාදයක් දිනාගනිමින් තිරගත වූවක්. රන්ජන් රාමනායක සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් ලෙස රංගනයේ යෙදුනු මේ චිත්‍රපටයෙන් සංක්‍රාන්ති ලිංගික සමාජභාවය සහ ඔවුන්ජිවිතයේ මුහුණදෙන ඛේදවාචක තත්වයන් පිළිබඳව කතාබහ කෙරෙනවා.රන්ජන් රාමනායක, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, නිල්මිණි කෝට්ටගොඩ ඇතුළු රංගන ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වුනා.
මේ චිත්‍රපට අතුරින් විශිෂ්ටයින් ලෙස අභිෂේක ලබන්නේ කවුරුන්දැයි දැනගැනීමට ඔක්තෝබර් 06 වැනිදා දෙරණ සිනමා සම්මාන උළෙල සමග එකතු වන්නටත් සිනමාලෝලි ඔබට අපි ආරාධනා කරනවා. ඒ වගේම දෙරණ සිනමා සම්මාන උළෙල සජීවීව නරඹන්න ප්‍රවේශපත්‍ර දිනාගන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. ෆේස්බුක් පිටුවට වීමෙන් ඒ සඳහා එකතු වන්නට සිනමාලෝලි ඔබට ඉදිරි දිනවලදී හැකියාව ලැබේවි.
සටහන : නිසංක වෙහෙරදුව