
සටහන : ගයාන් ගුණසේකර
Amar Kumar කියන්නෙ මැදිවිය ගෙවමින් ඉන්න ජනප්‍රිය සිනමා තරුවක්. ඔහු Mumbai නගරයේ තනිවම ජීවත් වනවා. ඔහුගේ එකම දියණියත් වෙනම ජීවත් වන ස්වාධීන තරුණියක්. රියදුරෙක් විතරක් සේවයට තියාගෙන ඉන්න Amarගේ කෑම සපයන්නෙ නගරයේ තියන රසට කෑම හදන සාමාන්‍ය අවන්හලකින්. අවන්හලේ හිමිකාරිය Tara Shetty. සාම්ප්‍රදායික කෑම වර්ග ඉතාම රසවත්ව හදන්න පුළුවන් කාන්තාවක්. ඒ වගේම වැන්දඹුවක්. තමන්ගේ පුතාගේ සහය ඇතුව අවන්හල පවත්වාගෙන යන ඇය Amarගේ කෑම ඔහුගේ ගෙදරට යවන්නෙ තමන්ගේ පුතා මාර්ගයෙන්. නමුත් තිරයෙන් මිස ඈ සැබෑවට ඔහුව දැක තිබුනේ නැහැ. එත් දවසේ වැඩකටයුතු ඉවර කරන මේ දෙන්නා රෑට දවස අවසන් කරන්නේ දිග දුරකථන සංවාදයකින් පස්සෙයි. දෙන්නටම මේ ඇමතුම ජීවිතය ජිවත් කරවන මොහොතක් වෙලා තිබුනා. දවසක් Amar හදිසියේ Tara හමුවෙන්න තීරණය කරනවා. මේ හමුව මේ දෙන්නගෙම සම්පූර්ණ ජීවිතය උඩු යටිකුරු කරනවා. ආදරය කරන්න වයසක් තියනවද..? කොන්දේසි තියනවද..? වැඩිහිටි දරුවන් ඉන්න මවකට හෝ පියෙකුට තවත් කෙනෙකු ගැන හැඟීමක් ඇතිවීම, ආදරය කිරීම නොවටිනා වැඩක්ද..? මේ සියළු ප්‍රශ්නත් එක්ක ඔබටත් මටත් මිනිත්තු 101ක් ගෙවා දමන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ Once Again චිත්‍රපටයත් එක්කයි. Kanwal Seti අධ්‍යක්ෂණය කරන මේ අපූරු චිත්‍රපටයට Shefali සමගින් Neeraj Kabi, Rasika Dugal, Bidita Bag, ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා. Talvin Singh චිත්‍රපටයේ අපූරු සංගීත නිර්මාණය සිදුකොට තිබෙනවා.
2018 වසරෙදි තිරගත වූ මේ “Once Again” චිත්‍රපටය මෑතකදී මට ඇස ගැටුනේ “Ajeeb Daastaans ” නැරඹුවාට පසු Shefali Shahගෙ රංගනය මගේ ප්‍රියතම රංගනයන් අතර ඉහල තැනක තිබුන නිසාමයි. ලෝකයට එරෙහිව තමන්ට දැනෙන තැනක තැනක ජීවිතය විඳිය යුතුමයි කියලා හිතන අයට මේ Film එක ගොඩක් දැනෙන චිත්‍රපටයක් වෙයි. Shefaliගෙ තාත්වික රංගනය මුලු Film එක පුරාම ඇගේ ආධිපත්‍යය පතුරවාගෙන තිබූ අතරම, කනට මියුරු වූ වෙනස්ම ආරක සංගීතය චිත්‍රපටයේ හැගීම් වැඩිපුර ඉස්මතු කරන්න සමත් වුනා කියුවොත් නිවැරදියි. සියලුම දවසේ කටයුතු හමාර කළ පසු දුරකථන ඇමතුමකින් පමණක් ඒ විඩාව නිවාගන්නා අපූරු පුද්ගලයින් දෙදෙනෙක් අවසානයේ හමුවීමට තීරණය කිරීමත් සමග ඔවුන් දෙදෙනා මුහුණ දෙන ගැටලු ඔස්සේ දිවෙන මෙම සිනමා කෘතිය ඇතැම් අවස්ථාවලදී The great Indian kitchen චිත්‍රපටිය ඔබේ මතකෙට ගෙනේවි. මෙහි ප්‍රධාන චරිතය Tara Shetty ආපන ශාලාවක හිමිකාරියක් ලෙස කටයුතු කළත්, මුලු චිත්‍රපටිය පුරාම ඈ එහි ආහාරපාන සැකසීමේ කටයුතු වගේම රෑ වනතුරු ඊලග දවසේ ආහාර කල්තියා සකසා ඇගේ දවස නිමාකිරීමේ කටයුත්ත ඉතාමත් ලස්සන කැමරා කෝණ වලින් ඉදිරිපත් කර තිබීම ඔබේ ඒ මතකයට හේතු වේවි.
රොබෝවරු වගේ වගකීම් ඉටුකිරීම වෙනුවෙන් හැගීම් දැනීම් යටපත් කරගෙන එහෙමෙහෙ දුවන ඕනම කෙනෙකුට තමන්ට දැනෙන එක කටහඬක් වුවත් ජීවිතයේ විඳවන මහන්සිය සුලු වෙලාවකට හරි අමතක කරවන ආකාරය ඉතාමත් සංයමයකින් යුතුව අපට දනවන මේ කතා තේමාව, මට නම් හැගුනේ Sir චිත්‍රපටිය නරඹද්දී දැනුන වෙනස්ම හැගීමමයි. හැගීම් මියැදී ඇතැයි සිතා හැගීම් දැනීම් නැති අයුරින් ජීව්ත් වුවත්, හදිසියේ මුණගැහෙන ඇතැම් පුද්ගලයින් ඒ මියැදුණු හැගීම් නැවතත් ජීවිතයට ලං කරන්නේ ඇතැම්විට නමක් ලබා දිය නොහැකි ආදරණිය සම්බන්ධයක් තුළින් වන බව මේ චිත්‍රපටිය පුරාවටම අපට මතක් කරවනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස. ලෝකය හැමදාමත් කලේ එක රාමුවක සිරවී යමක් දෙස බලා ඒ ගැන නිගමන වලට එලඹීම මිසෙක අන් වෙන කිසිවක් නොවෙයි. තමන්ට දැනුන යමක් තිබෙනවද, ලෝකයම එරෙහි වුවත් අපි ඒ හැඟීම් මියැදීමට නොදී ඒවා විඳිය යුතුමයි. ඒ සම්බන්ධයට නමක් තබා හෝ නොතබා එය විඳිය හැකියි සහ විඳිය යුතුයි. ඔබට මේ චිත්‍රපටය මගහැරුනා නම්, ඒක රසවිඳින්නත් අමතක කරන්න එපා. Netflix ඔස්සේ ඔබට මේ චිත්‍රපටය බලන්න හැකියාව තිබෙනවා.
ගයාන් ගුණසේකර.