Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

වසංගත සමයේ එන, මග නොහැරිය යුතු චිත්‍රපට – #2

$
0
0

කෝවිඩ් වසංගතයත් සමඟ මුලු ලෝකයම පෙරදාට වඩා අඩාළ වෙද්දි සිනමා කර්මාන්තයටත් ඒ බලපෑම හොඳින්ම දැනුණා. ඇතැම් සිනමාපට දින නියමයක් නොමැතිවම කල් දැමුණා. ඇතැම් සිනමාපටවල නිෂ්පාදන කාර්යයන් පවා බොහෝ සෙයින් ඇණ හිටියා. නමුත් මේ බාධක සියල්ලත් සමඟම, ලෝක සිනමාව අදත් ඉදිරිය කරා ගමන් කරනවා. 2021 වසර තුළ විශාල සිනමාපට ප්‍රමාණයක් නිකුත් වූයේ නැතත්, සැලකිය යුතු තරමේ ගුණාත්මක සිනමාපට රැසක්ම මේ වනවිටත් අපට නරඹන්න පුලුවන්. 2021 වසරේ ගුණාත්මක සහ ජනප්‍රිය සිනමාපට පිළිබඳව ඔබව දැනුවත් කරන ලිපි මාලාවේ මෙම දෙවන දිගහැරුම මගිනුත් ඒ ගැන කියන්න අපි සූදානම්.

Vellam (Malayalam)

මෙම වසර මුල භාගයේදී තිරගත වුණු Vellam මලයාලම් සිනමාපටය නිපදවෙන්නේ සත්‍ය සිදුවීම් කිහිපයක් ඇසුරින්. මුරලි නම්බියාර් නැමැති මත්පැන් ලෝලියාගේ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ Jayasurya විසිනුයි. මත්පැන්වලට ඇති ඇබ්බැහිය නිසාම මුරලි ක්‍රම ක්‍රමයෙන් සමාජයෙන් සහ පවුලෙන් කොන් වන ආකාරයත්, ඔහු ඊට පිළිතුරු සොයමින් තම ඇබ්බැහියෙන් මිදෙන්නට ගන්නා උත්සාහයත් Vellam චිත්‍රපටයේ දැක්වෙනවා. සිනමාපටයට මුල් වුණු සත්‍ය පුද්ගලයා වන Murali Kunnumpurath අද වන විට රටවල් විසි ගණනක් පුරාවටම තම ව්‍යාපාරය දියුණු කළ සාර්ථක ව්‍යවසායකයෙක්.

Godzilla Vs Kong (English)

මෙම වසරේ නිකුත් වුණු දැවැන්තම සිනමාපට කිහිපයෙන් එකක් වන Godzilla Vs Kong චිත්‍රපටය, Monster-Verse විශ්වයේ සිව්වන දිගහැරුමයි. ගොඩ්සිලා සහ කින්-කොන්ග් කියන්නේ ලෝක සිනමාව විසින් බිහි කළ දැවැන්තම Icons ද්විත්වයක්. එකිනෙකාගෙන් කිසි විටෙකත් දෙවෙනි නොවන මේ Alfa Monsters දෙදෙනාගේ සටන නැරඹීටම කෝවිඩ් මධ්‍යයේ වුවද අතිශය ඉහළ ආකර්ෂණයක් ප්‍රේක්ෂකයින් අතරේ ගොඩ නැඟී තිබුණා. Adam Wingardගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු මෙම සිනමා අත්දැකීම විඳගන්නට ඔබට තවමත් නොහැකි වුණා නම්, මේ ඒ සඳහා කාලයයි!

Wish Dragon (Chinese)

හිතන පතන සෑමදෙයක්ම මවන්න පුලුවන් මිතුරු මකරෙක් හිටියොත් මේ ජීවිතේ කොයි තරම් දුරට වෙනස් වෙයිද? Wish Dragon නමෙන්ම කතාව ගැන දළ අදහසක් දැනෙන්න ඇති. මේ වසරේ මුල ඉඳන්ම Animated සිනමාපට සඳහා විශාල ඉඩක් වෙන්වුණේ නැහැ. නිකුත් වුණු සීමිත ඇනිමේෂන් නිර්මාණ අතරිනුත් ප්‍රමාණවත් රසික ආකර්ෂණයක් දිනාගන්නට හැකි වුණේ කිහිපයකට පමණයි. නමුත් පසුගියදා Netflix හරහා නිකුත් වුණු Wish Dragon චිත්‍රපටයට නම් ඒ කතාව වලංගු වෙන්නේ නැහැ. Monster House, City of Ember, Puss in Boots වැනි ප්‍රසිද්ධ ඇනිමේෂන් නිර්මාණ රාශියක් නිර්මාණයට දායක වූ Chris Appelhans තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නේ. ලෝක ප්‍රසිද්ධ සටන් නලු Jackie Chan පවා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට එකතු වෙලා ඉන්නවා.

Mortal Kombat (English)

තරමක අයහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත්තත් Mortal Kombat හැඳින්වෙන්නෙත් වසරේ වැඩිම hype එකක් ගොඩ නැඟිලා තිබුණු සිනමාපටයක් විදිහට. Mortal Kombat විශ්වයට ආදරය කරන රසිකයින් බොහෝ දෙනෙක් මේ සිනමාපට ගැන නම් පළ කරලා තිබුණේ තරමක සෘණාත්මක අදහස් වීමත් විශේෂත්වයක්. ලෝකයේ අතිශය ජනප්‍රිය වූ Mortal Kombat: පරිගණක ක්‍රීඩා මාලාවේ සාර්ථකත්වය නිසාම ඔවුන් ඇනිමේටඩ් කාතාමාලාවක් ලෙසටත්, Live Action කතාමාලාවක් ලෙසටත් මෙහි දිගුවන් නිර්මාණය කරනවා. කෝල් යන්ග් නැමැති වෘත්තිමය බොක්සිං ක්‍රීඩකයා පෘථිවියෙන් තෝරාගත් රණ ශූරයෙක් වීමත් සමඟ, ඔහු ඇතුළු පිරිස පිටත ලෝකයන්ගෙන් පෘථිවිය ආරක්ෂා කරගන්නා අන්දම Mortal Kombat සිනමාපටයෙන් විස්තර වෙනවා. ක්‍රියාදාම සහ සටන්වලට කැමැත්තක් දක්වන අයෙක්ට නම් මෙය හොඳම තෝරාගැනීමක් වන්නට පුලුවන්.

Uppena (Thelegu)

මේ සිනමාපටය වෙන්වෙන්නේ මාස් මාසාලාවන්ට කැමති ඉන්දීය සිනමා රසිකයින් වෙනුවෙන්. 2021 වර්ෂය මුල සිටම ඉන්දියාවට කෝවිඩ් බලපෑම දරුණුවටම දැනුනත් වසරේ මුල් භාගයේදී රටේ සිනමා කර්මාන්තය නම් එතරම් අඩපණ වුණේ නැහැ. වැල නොකැඩී සිනමා ශාලාවල ප්‍රේක්ෂකයින් රොක් වුණා. වසර මුලදී තෙළංගානා ප්‍රාන්තයේ ප්‍රදර්ශනය කරපු සිනමාපට රාශියක්ම ඉහළ Box-Office ආදායම් ලබන්නත් සමත් වුණා. Uppena සිනමාපටයේ පෙම්වතාගේ චරිතයට එකතු වෙන්නේ නවක නළු Panja Tej. අධ්‍යක්ෂක Bucci Babuගේ පලවෙනි සිනමාපටය වෙන්නෙත් Uppena. නමුත් චිත්‍රපටයට ගොඩ නැඟිලා තිබුණු හයිප් එක නිසාම කෝටි 100කට ආසන්න අති විශාල ආදායමක් ලබා ගන්න පවා නිෂ්පාදකවරුන් සමත් වුණා. සාම්ප්‍රදායික රොමෑන්ටික් ජවනිකා, දුෂ්ටයාගේ මැරකම්, ආදර දෙබස්වලින් අඩුවක් නැති Uppena චිත්‍රපටයේ ගීත ඇල්බමය ලංකාවේත් අතිශය ජනප්‍රියයි. කතා දිව යන්නේ ඉහළ කුලයේ ධනවත් තරුණියක හා පෙමින් බැඳෙන දුප්පත් මසුන් මරන්නෙකුගේ පුත්‍රයෙකු ගැනයි. මේ ඔවුන්ගේ ප්‍රේම කතාවයි….

Nizhal (Malayalam)

ජෝන් බේබි නැමැති මහේස්ත්‍රාත්වරයාට අහම්බයෙන් මෙන්, නිතින් නැමැති කුඩා දරුවෙක් මුණ ගැසෙනවා. මේ කුඩා දරුවා ඔහුට මිනීමැරුම් ගැන කතාන්දර පැවසීමට පටන් ගන්නවා. පුදුමය වන්නේ නිතින් පවසන සෑම කතාවක්ම මීට වසර විස්සකට පමණ පෙර කේරළයේ සිදු වුණු සත්‍ය මිනීමැරුම් වීමයි. නමුත් ඒවායේ මිනීමරුවා හෝ අභිරහස හෙළි කරගැනීමට කිසිවෙකුටත් හැකි වී නැහැ. Nizhal චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා සෘජුවම බැඳී තිබෙන්නේ මේ මිනීමැරුම් දාමය සමඟයි. Kunchako Boban රඟ දක්වන ජෝන් නැමැති මහේස්ත්‍රාත්වරයා, නිතින්ගේ උදව්වෙන් මේ මිනීමැරුම් පිළිබඳව සොයා යන්නට පටන් ගන්නවා. මේ දාමයේ අවසානය කෙසේ වේවිද? අවුරුදු දොළහක කුඩා ළමයෙක් මීට වසර විස්සකට පමණ පෙර සිදු වුණු මිනීමැරුම් ගැන දැනගන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට පිළිතුර අවශ්‍ය නම් ඔබට Nizhal බලන්නම වෙනවා. කුන්ඩාකෝ බොබන්ට අමතරව දමිළ නිළි Nayantharaද මෙම සිනමාපටයෙන් රංගනයෙන් දැකගත හැකියි.

මේ ලිපි මාලාවේ තුන්වන දිගහැරුම සමඟින් මුණ ගැසෙමු.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>